වාග් විද්‍යාත්මක විමසුමක්:'වේස ගෑනි' යන යෙදුම සිංහල බසට ආවේ කොහොම ද?

ANDHRA PRADESH, INDIA - AUGUST 23: Yellama, 31, wears toe rings which signify that she is married to the goddess she has been named after in her home in this photo taken on August 23, 2005 in Mehbubnagar, in Andhra Pradesh, India. She is a Jogini, or "servant of god" and was married off to the local deity when she was seven years old because her parents did not have a male child to support them . They believed it was better to keep her in their village and the only way to do this is to marry her to the goddess. After the cermony she is unable to marry any man and becomes the property of the men in the village. On the night of her initiation, after reaching puberty, the joginis are offered to an upper caste village elder or landlord. As months and years go by, most of the men in the village end up exploiting these girls. Jogini, Mathamma, Basiviin different regions of Andhra Pradesh they go by different names but they are all variations of a similar tradition of sexual exploitation of poor, illiterate Dalit women in the name of religion. The practice dates back some 2,000 years and is still deeply ingrained in the local Telangana culture. (Photo by Ami Vitale/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාර්ලිමේන්තුව තුළ කුණුහරප හෙවත් අසභ්‍ය වචන භාවිත කළ අවස්ථා කිහිපයක් ම අප අසා දැක තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරට ඔහුගේ සීමාව පාලනය කර ගත නොහැකිව ප්‍රකාශ කළ අසභ්‍ය වචනයක් මීට වසර කිහිපයකට පෙර දැඩි අවධානයට ලක් විය.

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කුණුහරප භාවිත කිරීම පිළිබඳ මෑත ම සිදුවීම වූයේ, ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර අතර ඇති වූ වාග් සංග්‍රාමය යි.

ඩයනා ගමගේ: "වේස ගෑනි කියන්න ලෑස්ති වෙන්න එපා පාර්ලිමේන්තුව ඇතුළෙ"

රෝහණ බණ්ඩාර: "වේස ගෑනු වගේ හැසිරෙන්න එපා කියල කිව්වේ. ඔයාට කවුද වේස ගෑනි කිව්වේ?"

මෙම වාග් සංග්‍රාමයට හේතු වී තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් "වේස ගෑනි" යන වචනය භාවිත කර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට බැන වැදීමේ සිද්ධියකි.

"වේස ගෑනි" යන වචනය කුණුහරපයක් ද? එම වචනය නිර්මාණය වූයේ කෙසේ ද?

'කුණුහරප' යනු මොනවා ද?

'කුණුහරප' යනු ඕනෑ ම භාෂාවක ඇති සුවිශේෂී වචන මාලාවකි. එම වචන නිර්මාණය වී ඇති ප්‍රධාන ආකාර කිහිපයක් තිබේ.

  • ලිංගික අවයව මුල්කර ගෙන නිර්මාණය වූ වචන
  • ලිංගික ක්‍රියා මුල්කර ගෙන නිර්මාණය වූ වචන
  • ලිංගික ක්‍රියාකාරකම්වල දී නිකුත් වන ශ්‍රාවයන් ආශ්‍රයෙන් නිර්මාණය වූ වචන
  • ලිංගිකත්වය ආශ්‍රිත රැකියා මුල් කරගෙන නිර්මාණය වූ වචන

'වේස ගෑනි' යන වචනය නිර්මාණය වූ හැටි

මෙම ලිපියට පාදක වන "වේස ගෑනි" යන වචනය නිර්මාණය වී ඇත්තේ, ලිංගිකත්වය ආශ්‍රිත රැකියාවක් මුල්කර ගෙන ය.

සංස්කෘත බසින් 'වේශ්‍යා' යනුවෙන් ද, පාලි බසින් 'වේසියා' යනුවෙන් ද මෙම වචනය යෙදෙන අතර, එය සිංහල බසට පැමිණියේ 'වේසි' යනුවෙනි.

වෛශ්‍යාව ද? වේශ්‍යාව ද?

"ගොඩක් අය හිතන්නේ වේසි කියන වචනය සංස්කෘත භාෂාවේ වෛශ්‍යා යන වචනයෙන් බිඳුණ එකක් කියලයි. ඒත් වෛශ්‍යා කියන්නේ වෙළෙඳ කාන්තාව කියන එක. වේසි කියන වචනය බිඳිලා තියෙන්නේ සංස්කෘත වේශ්‍යා කියන වචනයෙන්," ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල පැවසීය.

මෙම වචනයට දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ද පවතියි.

"දෙමළ භාෂාවෙන් පාවිච්චි වෙන්නේ දේවදාසි කියන වචනය. දේවදාසි කියන්නේ කෝවිල්වලට කැපවූ කාන්තාවන්. ඔවුන් දෙවියන් වෙනුවෙන් කැප කරලා තියෙන අදහසක් කියවුණාට කෝවිල්වල පූජකවරුන් ලිංගික ක්‍රියාවලට ඔවුන් යොදාගෙන තියෙනවා. කෝවිල් ආශ්‍රිතව වාසය කළ නිසා ඔවුන්ට සමාජයෙන් විශාල ගෞරවයක් හිමි වුණා."

දේවදාසි යන සංකල්පය ක්‍රිස්තු වර්ෂ හයවන සියවස තෙක් ඈතට දිව යයි.

ලිඛිත තොරතුරු

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිංහල පුරාතන සාහිත්‍ය කෘතිවල මෙම වචනය බෝහෝ ස්ථානවල දැකිය හැකි ය. නිකාය සංග්‍රහයෙහි වේශ්‍යා වාස (වෙසඟනන්ගේ නිවාස), වේශ්‍යා වීථි (වෙසඟනන් සිටින වීථි) යන යෙදුම් භාවිත කර ඇති බව මහාචාර්ය රත්නසිරි අරංගල ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව, පන්සිය පනස් ජාතක කතාවලට මෙම වචනය භාවිත කර තිබේ. උදාහරණයක් වශයෙන් වාතමිග ජාතකයේ වෙසඟනකගේ චරිතයක් පිළිබඳව සඳහන් ය.

පද්‍ය සාහිත්‍ය කෘති රැසක ද මෙම වචනය හමුවේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද සැලළිහිණි සංදේශයේ උදා වැනුම් කාව්‍යයක් වන 23 වන පද්‍යය මෙසේ ය:

වෙසඟන තුඟු තන යුග රොන් කොකු මඟර - පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර

ගොස අලුයම පස තුරු සවනතෙහි කැර - ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර

එහි අදහස වන්නේ, "වෙසඟනන්ගේ තුඟු තන යුග රැඳි කොකුමඟර සිපගෙන, විල්ලිහිණි නාදය මැද, මඳ පවන් එන, අලුයම පංච තූර්ය ඝෝෂාව අසමින්, ඇස නිදිගැට හැර නැගී සිටින්න," යන්න ය.

මේ අතර, රහල් හිමියන්ගේ ම කාව්‍යශේඛරයෙහි මියුලු නුවර ගඟ වර්ණනා කිරීමේ පද්‍යයක ද වෙසඟන යන්න සඳහන් වේ.

කලහස ගමන් යුත්

සළෙල නළවන වෙත පත්‍

ළෙල නිල් වරල් නෙත්

එගඟ වෙසඟන වැන්න රසවත්

ඊට අමතරව, පත්තිනි දේවිය පිළිබඳ කතාවෙහි පත්තිනිගේ ස්වාමියා වූ කෝවලන්, මාධවී නමැති වෙසඟනක් ඇසුරු කළ බව කියවේ.

"පුරාතන ඉතිහාසයේ වේශ්‍යාංගනාව සමාජ පිළිකුළට ලක්වෙලා තිබුණෙ නැහැ. සමාජයේ අනුමැතියක් හිමි නොවුණත් ප්‍රතිරෝධයක් තිබිලා නැහැ. ලෝකයේ පැරණි ම වෘත්තිය විදිහට පිළිගන්න ගණිකා වෘත්තිය පසුකාලීනව සමාජීය වශයෙන් ප්‍රතික්ෂේප වීමෙන් පසුව තමයි, මේ වචනය අසභ්‍ය වචනයක් විදිහට භාවිකාර්ථ නැංවුණේ," මහාචාර්ය රත්නසිරි අරංගල පැහැදිලි කළේය.

මේ අතර, මහාචාර්ය ජේ.බී. දිසානායක වරක් ප්‍රකාශ කළේ, "යම් බසක් පූර්ණ වශයෙන් ඉගෙන ගන්නේ නම් එම බසට අයත් කුණුහරප හෙවත් අසභ්‍ය වචන සම්බන්ධයෙන් ද දැනුමක් ලබා ගත යුතු," බව ය.