පොත් මිලියන ගණනකට සිංහල අකුරු දුන් 'එෆ් එම් අභය' ෆොන්ට් නිර්මාතෘ

ඡායාරූප මූලාශ්‍රය, Pushpananda Ekanayake
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 44කගේ පෙළ පොත් මුද්‍රණය වන්නේ, ඔහුගේ අකුරුවලිනි. පෙළ පොත් මිලියන ගණනක් හරහා දැනුම සපයන අකුරු බිලියන ගණනක් ඔහු නිර්මාණය කළ ඒවා ය. ඔබ කියවන පත්තර, පොත් සියල්ල පමණක් නොව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂයේ සිට වචන භාවිත කරන සියලු වෙළෙඳ දැන්වීම් දක්වා ම භාවිත වන්නේ, ඔහුගේ අතින් නිර්මාණය වූ අකුරු ය.
එපමණක් නොව, උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පතේ සිට මරණ සහතිකය දක්වා වූ රජයේ සියලු ලේඛන සඳහා ද, තාප්පවල දකින දැන්වීම්, මරණ දැන්වීම්, පෝස්ටර් ආදී සියල්ල සඳහා ද භාවිත වන්නේ ඔහුගේ අකුරු ය.
මුද්‍රණය සඳහා භාවිත කරන FM Abhaya ෆොන්ට් එක ගැන අප කවුරුත් දන්නා නමුදු, එය නිර්මාණය කළ නිහඬ දැවැන්තයා ගැන දන්නා පිරිස අල්ප ය.
එෆ්එම් අභය ෆොනුරුවේ රිදී ජුබිලිය හෙවත් 25 වන සංවත්සරය අඟහරුවාදාට (සැප්: 26) යෙදී තිබිණි. ඒ අනුව, සිංහල පරිගණක අක්ෂර භාවිතයට නිහඬ මෙහෙවරක් කළ FM Abhaya නිර්මාතෘ පුෂ්පානන්ද ඒකනායක පිළිබඳව බීබීසී සිංහල පාඨකයින් වෙනුවෙන් සටහනක් තැබීමට අපට අවශ්‍ය විය.
ආරම්භය
මහනුවර උපත ලැබූ පුෂ්පානන්ද ඒකනායක කුඩා කල පටන් සිතුවම් කලාවට දක්ෂයෙකු වුව ද, ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙනි.
1979 වසරේදී ශිෂ්‍යයෙකුව සිටි අවධියේ ඔහු මහනුවර, සිංහාසන මන්දිරයේදී ලෝකයේ විවිධ පුද්ගලයින්ගේ රූප ඇතුළත් 'සෙවණැලි' නමැති සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීය.
එවකට සිනමාකරුවෙකු වූ පරාක්‍රම ද සිල්වා නමැති තවත් ධර්මරාජ ආදි ශිෂ්‍යයෙකු ඔහුගේ අකුරු ඇඳීමේ දක්ෂතාව දැක ඩී.බී. නිහාල්සිංහ වෙත අඳුන්වා දී තිබිණි.
පුෂ්පානන්ද, මෙරට දැන්වීම් කලාවේ දැවැන්ත සමාගමක් වන ෆීනික්ස් ආයතනයේ අක්ෂර ශිල්පියෙකු ලෙස 1981 වසරේදී සේවය ඇරඹුවේ, ඩී.බී. නිහාල්සිංහයන්ගේ මග පෙන්වීම තුළිනි.
ඔහුගේ පළමු වැටුප වූයේ, රුපියල් 750කි.
"ඒක ඒ කාලේ හැටියට ලොකු වැටුපක්. මම බෝඩිං ගාස්තුත් ගෙවලා, මාසයක් ජීවත් වෙලා, ගෙදර යද්දි අම්මලාට තෑගිත් අරගෙන ගියා ඒ සල්ලිවලින්," ඔහු පවසයි.
1982 වසරේදී ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයට පැමිණි අතර, එහිදී, විවිධ වැඩසටහන්වල නාමාවලි සහ ප්‍රධාන තේමා අකුරු නිර්මාණය කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Pushpananda Ekanayake
1993 වසරේදී 'ද ෆොන්ට් මාස්ටර්' නමින් තමන්ගේ ම ආයතනයක් ආරම්භ කළ අතර, ඔහු පරිගණක අකුරු නිර්මාණය සඳහා පිවිසුණේ ඉන් පසුව ය.
"මට ඒ කාලේ කම්පියුටර් එකක්වත් තිබුණෙ නෑ. ඒ කාලේ කම්පියුටර් ගොඩක් මිල අධික යි. මම කොහොම හරි ඇපල් කම්පියුටර් එකක් ගත්තා, රුපියල් 88,000කට. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. මම ඒකෙ වැඩ කරන්න දැනගෙන හිටියෙ නෑ. අහගන්න කෙනෙක් හිටියෙත් නෑ. මම යාළුවෙකුගෙන් ඒ කම්පියුටර් එකේ කැටලොග් එකක් හොයාගෙන තනියම ඉගෙන ගත්තා. ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණෙත් නෑ. මම කොහොම හරි ඒකෙන් ඉගෙන ගත්තා," පුෂ්පානන්ද ඒකනායක පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Pushpananda Ekanayake
අංගවිකල අකුරු
"කම්පියුටර් එකෙන් සිංහල ටයිප් කරන්න පටන් ගත්ත කාලේ පාවිච්චි කරපු ඥ/ඤ වගේ අකුරුවල සඤ්ඤක කෑල්ල නැතුව තමයි තිබුණේ. ඒ වගේ අංගවිකල අකුරු පාවිච්චි කරන්න වුණා මටත්. මට ඒ ගැන ලොකු අවුලක් තිබුණා. මට හිතුණා ඒ අංගවිකල අකුරු වෙනුවට අංග සම්පූර්ණ අකුරු ටිකක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි පරිගණක අකුරු නිර්මාණය කරන්න පටන් ගත්තේ," ඔහු ආවර්ජනය කළේ ය.
ඒ අනුව, ඔහු නිර්මාණය කළ පරිගණක සිංහල ෆොනුරූ 14ක් සමාජගත කිරීමට 1998 වසරේදී ඔහුට හැකි විය.
ඒ, අභය, අභය බෝල්ඩ්, මලිති, ගංගානි, රශ්මි, සන්ධ්‍යානි, ඉමානි, ගැමුණු, අර්ජුන්, බාසුරු, බින්දුමතී, දෙරණ, රජන්තා සහ සමන්තා යන ෆොනුරූ 14 යි.
මේ සියල්ල නිර්මාණය කර තිබුණේ, යතුරු ලියනයේදී භාවිත කෙරුණු 'විජේසේකර යතුරු පුවරුව' අනුගමනය කරමිනි.
ඔහු මුලින් ම නිර්මාණය කළ ෆොන්ට් එක 'මලිති' ලෙස නම් කරන ලද්දේ, ඔහුගේ දියණියගේ නම එය වූ හෙයිනි.

ඡායාරූප මූලාශ්‍රය, Pushpananda Ekanayake
මුද්‍රණ ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ එෆ්.එම්. අභය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1998 වසරේ සැප්තැම්බර් 26 වන දින එෆ්.එම්. අභය ඇතුළු තවත් ෆොන්ට් 14ක් සමාජගත කරන ලද්දේ, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ, මහාචාර්ය ජේ.බී. දිසානායක, ආචාර්ය සරත් අමුණුගම, ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක ආදී විද්වතුන්ගේ ආශීර්වාදය ද සහිතව ය.
"මට අවශ්‍ය වුණේ නිවැරදි අකුරු සහිත පරිගණක ෆොන්ට් කිහිපයක් නිර්මාණය කරන්න යි. ඒක මම විශේෂඥයින්ගේත් උපදෙස් අරගෙන කළා. ඒ ෆොන්ට් 14න් පොත් මුද්‍රණය කරන්න එෆ්.එම්. අභය ෆොන්ට් එක පාවිච්චි කරන්න ගත්තා."
එහි එෆ්. එම්. යනු පුෂ්පානන්ද ඒකනායක පිහිටවූ ආයතනයේ නම වන 'ෆොන්ට් මාස්ටර්' යන්නෙහි 'එෆ් සහ එම්' අකුරු ය.
"අභය කියලා නම දැම්මේ ඒ ෆොන්ට් එකට ඓතිහාසික ස්වරූපයක් එකතු කරන්න හිතාගෙන. මම ඒ ෆොන්ට් එක හදනකොට සිංහල අකුරුවල පරිණාමය වගේ ඓතිහාසික සිද්ධි අධ්‍යයනය කළා."
එම ෆොනුරුව භාවිත කරමින් මුද්‍රණය කළ පළමු ග්‍රන්ථය වන්නේ, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඊවා රණවීරගේ 'සෙදෝනා' කෘතිය යි.
"මේ වෙනකොට පොත් මිලියන ගාණක් මුද්‍රණය කරලා තියෙනවා මගේ අකුරුවලින්. ඒ පොත්වල මගේ අකුරු බිලියන ගාණක් තියෙනවා. මේ කතා කරන මොහොතේත් මගේ අකුරුවලින් පොත් ලක්ෂ ගාණක් මුද්‍රණය වෙනවා. ඉදිරියටත් වෙනවා. මට ලොකු සතුටක් දැනෙනවා ඒ ගැන මතක් වෙනකොට."
"නීතිය ගැන රහස් පොලිසියට කියල දුන්නෙත් මම"
එෆ්.එම්. අභය ෆොනුරුව සමාජගත කිරීමෙන් පසු විවිධ ආයතන අවසරයකින් තොරව එය භාවිත කිරීමට පටන් ගත් හෙයින්, බුද්ධිමය දේපළ අයිතිය වෙනුවෙන් නීතියේ පිහිට පැතීමට සිදුවූ බව ද ඔහු පැවසීය.
"මම සී.අයි.ඩී. එකට පැමිණිලා කළාට මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් කටයුතු කරන හැටි ඒගොල්ලො දැනගෙන හිටියෙ නෑ. රහස් පොලිසියේ ප්‍රධානියා මගෙන් ඇහුව, ඔයා කොහොම ද මේ අකුරු ඔයාගේ කියලා කියන්නෙ? කියලා. ඉතින් මට ඔප්පු කරන්න වුණා ඒවා මං නිර්මාණය කරපු අකුරු කියලා. මම ඒ අකුරු නිර්මාණය කරපු හැටි එකින් එක පෙන්නලා තමයි ඒක ඔප්පු කළේ. ඊට පස්සෙ ඒ නිලධාරියා තේරුම් ගත්තා අකුරුවල තියෙන වෙනස."
අලුත් මුද්‍රණ අකුරු
පුෂ්පානන්ද ඒකනායකගේ අදහස වී ඇත්තේ, මුද්‍රණ අකුරු ද කාලය අනුව වෙනස් විය යුතු බව ය.
ඒ අනුව, තේජානි ඇතුළු නව ෆොන්ට් කිහිපයක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
"මම හිතන්නේ අපි වෙනස් විය යුතු යි. අභය ෆොන්ට් එකටත් වඩා කියවන්නන්ට පහසු ෆොන්ට් කිහිපයක් මම නිර්මාණය කරලා තියෙනවා. මේ සියල්ල නිර්මාණය කරන්නේ, කියවන අයට කිසි ම අපහසුතාවක් ඇති නොවෙන විදිහට යි."
යුනිකේතකරණය
මේ වන විට බහුලව භාවිත වන යුනිකේත අකුරු ලෙස ද අභය ඇතුළු ෆොන්ට් වැඩිදියුණු කිරීමට පුෂ්පානන්ද පියවර ගෙන තිබේ.
ඒ අනුව, යුනිකේත අක්ෂර බවට පරිවර්තනය කරන ලද ෆොන්ට් 37ක් මේ වන විට ඔහු සතුව තිබේ.
ඔහු 2015 වසරේදී ගූගල් සමාගම වෙනුවෙන් අභය ලිබ්රේ සහ ගැමුණු ලිබ්රේ යනුවෙන් සිංහල යුනිකෝඩ් ෆොන්ට් දෙකක් ද නිර්මාණය කළේ ය.
පුෂ්පානන්ද ඒකනායකගෙන් පසු කුමක් වෙයි ද?
"මේ වෙනකොට මම සිංහල ෆොන්ට් 100ක් නිර්මාණය කරලා තියෙනවා. මගේ දුවලා දෙන්නා මේ ගැන උනන්දුවක් දක්වන්නෙ නෑ. මගේ අදහසක් තියෙනවා, මේක මොකක් හරි ආයතනයකට පවරන්න. ඒ ගැන මම සොයා බලමින් ඉන්නේ," ඔහු සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, පුෂ්පානන්ද ඒකනායක
"ඇන්ඩ්‍රොයිඩ් සිංහල ෆොන්ට් ලංකාවේ හදපු ඒවා නෙවෙයි"
මේ වන විට ජංගම දුරකතනවල භාවිත කෙරෙන ඇන්ඩ්‍රොයිඩ් ෆොන්ට් වර්ග ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ඒවා නොවන බව ඔහු පවසයි.
"ඒවා හදලා තියෙන්නේ එක්කෝ ඉන්දියාවේ, නැත්නම් මැලේසියාවේ. ඔවුන් දන්නෙ නෑ සිංහල අකුරුවල තියෙන නිවැරදි ම හැඩයයන් ගැන. ගොඩක් රටවල් තමන්ගේ භාෂාවල ෆොන්ට් හදන්න වෙනත් රටවල්වලට දෙන්නෙ නෑ. ඒත් අපේ රටේ වගකිව යුතු ආයතන ඒ ගැන කිසි පියවරක් අරගෙන නෑ," ඔහු චෝදනා කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Pushpananda Ekanayake
සම්මාන සහ අගැයීම්
සිංහල අක්ෂර වෙනුවෙන් නිහඬව කළ මෙහෙවර අගැයීම සඳහා ඔහුට විවිධ ආයතනවලින් සම්මාන පිරිනමා තිබේ.
2011 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපහාර ලැබූ ඔහු 2013 වසරේදී පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී උපහාර පුදන ලදී.
2017 වසරේදී ඉන්දියාවේ මූලිකත්වයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවති 'ටයිපෝ ඩේ' අන්තර්ජාතික සමුළුවේදී 'ජීවිත කාලීන මෙහෙවර' සම්මානයෙන් පිදුම් ලැබූ අතර සහ මොරටුව විශ්වවිද්‍යාලය ද ඔහුට උපහාර පිදීය.
2019 වසරේදී ඔහු 'බුද්ධි ගලනයට හසු නොවී ශ්‍රී ලංකාවේ ම වෙසෙමින්, සිය රටට නිහඬව කරන සේවය' උදෙසා පිරිනැමුණු 'යකඩ මිනිසා' සම්මානයෙන් ද පිදුම් ලැබීය.












