ශ්‍රී ලංකාව: ඉංග්‍රීසි දැනුම අවශ්‍ය ද? භාෂාව මනින මිනුම් දණ්ඩක් තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
"කඩ්ඩ පුළුවන් සෙට් එක... අපිට ඉතින් කඩ්ඩ බෑනේ"
ඉංග්‍රීසි භාෂාව දන්නා - නොදන්නා අය ලෙස විවිධ බෙදීම් නිර්මාණය කිරීම මෙන්ම, එම භාෂා දැනුම අනුව පුද්ගලයන් විනිශ්චය කිරීම අප සමාජය තුළ අදටත් දැකිය හැකිය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ඉංග්‍රීසි භාෂාව 'කඩ්ඩ' නැත්නම් 'කඩුව' ලෙස හැඳින්වූව ද, ඔවුන් වැඩිහිටියන් වීමත් සමග බොහෝ විට එය 'වීදි භාෂාවේ' වචනයක් ලෙස හඳුන්වමින් භාවිතයෙන් වැළකෙති.
නමුත් ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස හැඳින්වීම පිටුපස ඇති ඉතිහාස කතාවක් ගැන ද පොත්පත්වල සඳහන් වේ. මෙම පැරණි යටත් විජිත භාෂාව ශ්‍රී ලංකාවේ සමාජ පන්ති සලකුණු කරන්නක් ලෙස පවතින අතර, එය ඉංග්‍රීසීන් අත තිබුණු කඩුවට සමාන කර තිබේ.
කඩුව පසු කලෙක මුවට හුරු වචනයක් ලෙස කඩ්ඩ ලෙස වෙනස් වී තිබෙන බවට මත ඉදිරිපත් වී තිබේ.
කෙසේනමුත්, පාසලේ සිට රැකියාව දක්වා දිවියේ සෑම අවධියකම ඉංග්‍රීසි භාෂාව මත ඇතිවන බෙදීම්වල කොටස්කරුවෙකු වූ බව බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම්, අදහස් බෙදා ගත් පුද්ගලයෝ පැවසූහ.
"මම ගියේ කොළඹින් පිට රජයේ පාසැලකට. ඉංග්‍රීසි අතවශ්‍ය දෙයක් හැටියට අපිට ඒ කාලේ දැනුණේ නැහැ. මම එන්නේ ඉංග්‍රීසි කතා කරන පවුල් පසුබිමකිනුත් නෙමෙයි, ඒ වගේම පාසලෙන් අපිට ඒ ගැන හරි දැනුමක් ලබා දුන්නෙත් නැහැ. ගුරුවරු ප්‍රමාණවත් ගණනක් හිටියෙත් නැහැ," පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරියක වන චතුරි දුලන්කා පැවසුවාය.
"උසස් පෙළ ඉංග්‍රීසි පාඩම අපි සැලසුම් කරලාම මඟ හැරියා. නමුත් සමාජයට ගිය ගමන් ඉංග්‍රීසි භාෂාව නිසා වෙනස්කොට සැලකීම දැනෙන්න ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් හැදෑරුවා. දැන් මම ටික දෙනෙකුට පෞද්ගලික ඉංග්‍රීසි පංති පවත්වනවා," ඇය පැවසීය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල සහ දෙමළ නිල හා ජාතික භාෂාවන් වන අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ. රටපුරා සියලු වීදි සංඥා, නාම පුවරුවල භාෂා තුනම දක්නට ඇති අතර, රජයේ දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන මෙන්ම අධිකරණ කටයුතු පවා බොහෝ විට ඉංග්‍රීසියෙන් සිදු කෙරේ.
නමුත් එම ආයතනවල ද ඉහළ තනතුරු හොබවන්නන් බොහෝ විට අන් අයට වඩා පුළුල් ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන ආකාරය දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙයට හේතුවක් තිබේ ද?
"ඉංග්‍රීසි බැරි සහ පුළුවන් කියන බෙදීමක් සමාජයේ කවදත් තියෙනවා. සාමාන්‍ය වචනයෙන් කියනවනම්, ඉංග්‍රීසි පුළුවන් අය 'පොෂ්' අනික් අය 'ගොඩේ' කියලා කොටස් දෙකකට බෙදිලා ඉන්නවා. මෙය වැඩිපුර දකින්න ලැබෙන්නේ නගරවල. ඒ වගේම ගමේ කෙනෙක් නගරයට ආවාට පස්සේ ඒ කොටස් දෙක අතර දෝලනය වෙමින් ජීවත් වෙනවා," ඉංග්‍රීසි ගුරුවරියක වන දයක්ෂි පෙරේරා පැවසීය.
"ඒ වගේම ලංකාවේ දේශපාලනය හැර වෙන ඕනෑම ආයතනයක රැකියාවෙන් ඉහළට යන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉහළ තනතුරුවල අය ඉංග්‍රීසි කතා කරන්නේ මේ හේතුව නිසයි. ඒක ඔවුන්ට තනතුර ලැබෙන්න තිබුණ එක් සුදුසුකමක්.
අපිට මේ තත්ත්වයට වැරැද්දක් කියන්නත් බැහැ. අපේ භාෂාවෙන් ලෝකය එක්ක ගනුදෙනු කරන තත්ත්වයක් නැහැ. එතකොට විශාල හීන තියෙන කෙනෙකුට ඉහළට යන්න ඕනේ නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නම වෙනවා. හැබැයි පොෂ්, ගොඩේ කියන බෙදීමට නම් මම සම්පූර්ණයෙන් විරුද්ධයි," ඇය පැවසුවාය.
ඉංග්‍රීසි දැනුම මනින මිනුම් දණ්ඩක් තිබේ ද?
පසුගිය දිනක තණමල්විල පැවැත්වූ 'ගම සමග පිළිසඳර' වැඩසටහන අතරතුර සිය ගුරු පත්වීම් ප්‍රමාදය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංහලෙන් කරුණු පැවසූ කාන්තාවකට, ඉංග්‍රීසියෙන් එම ගැටලුව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, YouTube
ඇය ජාතික ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා සහතිකයක් හිමි පුද්ගලයෙකු ලෙස හඳුන්වා දී ගැටලුව 'නොබියව' ඉදිරිපත් කළ නමුත්, ඉංග්‍රීසි වාක්‍යවල ව්‍යාකරණ දෝෂ ද විණි.
මෙම සංවාදය සහිත වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල විශාල ලෙස සංසරණය විය. විශාල පිරිසක් සහ මාධ්‍යය ඉදිරියේ යම් පුද්ගලයෙකු අපහසුතාවට පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් ලෙස ජනාධිපතිවරයාගේ ක්‍රියාවට විරුද්ධ වූවෝ පැවසූහ.
නගරයේ අධ්‍යාපනය ලැබූ කෙනෙකු මෙන් තණමල්විල වන් ඈත ප්‍රදේශයක අධ්‍යාපනය ලැබූ පුද්ගලයෙකු චතුර ලෙස ඉංග්‍රීසි කතා කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි යයි ඔවුන්ගේ ප්‍රධාන තර්කය විය.
තවත් අය පැවසූවේ, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස පත්වීමක් ඉල්ලා සිටින ඇය තමන් දරුවන්ට උගන්වන විෂය නිවැරදි ලෙස දැන සිටිය යුතු බවය.
ශ්‍රී ලාංකිකයෙකුගේ ඉංග්‍රීසි දැනුම මැනිය හැකි මිනුම් දණ්ඩක් තිබේදැයි, මා කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කළ නමුත් ස්ථාවර පිළිතුරක් දීමට කිසිවෙකුටත් නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේනමුත්, ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවයේ කරන චන්දිමා ජයවර්ධන මේ ගැන සිය අදහස් ඉදිරිපත් කළාය.
"තණමල්විල දී ජනාධිපතිවරයා මහා පිරිසක් ඉදිරියේ කෙනෙක්ගේ ඉංග්‍රීසි පරීක්ෂා කරලා බලන්න හදපු එක වැරදියි. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට ඇයට විෂය ගැන දැනුමකුත් නැහැ. හැබැයි මෙතන වැරැද්ද සෑහෙන දුරකට විහිදෙනවා. ඇයට ඉංග්‍රීසි උගන්වපු පිළිගත් ජාතික ආයතන, පාසල් විතරක් නෙමෙයි, A B C උගන්වන පෙර පාසල පවා මේ තත්ත්වයට වග කියන්න ඕනේ.
ඉංග්‍රීසි දැනුම මනින්න කියලා කෙනෙක් ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කිරීම නෙමෙයි කරන්න ඕනේ, එය භාෂාවක් ලෙස ඈත ගම්වලට පවා ගෙනයන අධ්‍යාපන පද්ධතියක් හදන එක. අලුත් ඉගැන්වීමේ ක්‍රම හඳුන්වා දෙන එක, පුංචි දූපතක ජීවත් වෙද්දී ජාත්‍යන්තර භාෂාවක් කොයි තරම් වැදගත් ද කියන එක දරුවන්ට කියා දීම වගේ දේවල් සිදු කළ යුතුයි," ඇය පැවසුවාය.
ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය සැකෙවින්
ලොව පුරා බිලියන 1.30කට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි පළමු හෝ දෙවෙනි භාෂාව ලෙස භාවිත කරන අතර, සමාජ මාධ්‍ය ජාල ඇතුළු ලෝකය හා සම්බන්ධ විය හැකි බොහෝ අවස්ථා ඉංග්‍රීසි භාෂාව හා බද්ධ වී ඇත.
ඉංග්‍රීසි භාෂාවේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ පස් වෙනි සියවසේ දී සිදු වූ බවට ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි. බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළ ජර්මානු ගෝත්‍ර තුනක් වන ඇන්ග්ල්ස්, සැක්සන් සහ ජූට්ස් භාවිත කළ භාෂාවන් පැරණිතම ඉංග්‍රීසි බසෙහි ආරම්භය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැරණිතම ඉංග්‍රීසි භාෂාව එහි නූතන ස්වරූපයට වඩා බෙහෙවින් වෙනස්ය. නමුත් සමහර පැරණි වචන අදටත් භාවිත කරන අතර, යම් වචනවල තේරුම් ද පැරණි ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ වේ.
1066 දී නෝර්මානුවන් එංගලන්තය යටත් කර ගැනීමත් සමඟ ඉංග්‍රීසි භාෂාවට ප්‍රංශ ස්වරූපයක් ද ලැබිණි. බොහෝ ප්‍රංශ වචන සහ සමහර ලතින් වචන ද පැරණි ඉංග්‍රීසි සමඟ මිශ්‍ර වී මධ්‍යතන ඉංග්‍රීසි භාෂාව බිහි විය.
16 වන සියවසේ දී මුද්‍රණ කටයුතු ආරම්භ වීමත් සමඟ ඉංග්‍රීසි ස්ථාවර භාෂාවක් බවට පත් වන්නට විය.
තවත් වචන භාෂාවට එක් වීමට කාර්මික විප්ලවය ද එක් හේතුවක් විය. මේ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයත් සමග බොහෝ විදේශීය වචන ඉංග්‍රීසි භාෂාවට එකතු විය. මෙම සාධක අද අප දන්නා 'නූතන ඉංග්‍රීසි භාෂාව' නිර්මාණය කිරීමට මුල් විය.
ඉංග්‍රීසි දැනගැනීම අත්‍යවශ්‍යද?
"කෙටි පිළිතුර නැහැ. මොකද අපිට සන්නිවේදනය කරන්න පුළුවන් ඉතා පොහොසත් සිංහල භාෂාව තියෙනවා. දෙමළ භාෂාවත් ඒ වගේමයි. නමුත්, යටත්විජිතකරණයේ බලපෑමෙන් බිහි වුණ සංස්කෘතිය නිසා රැකියාවක ඉහළට යන්නත්, ඒ වගේම දූපතෙන් එහාට පය තියන්නත්, තාක්ෂණය දැනගන්නත් ඉංග්‍රීසි දැනගැනීම අවශ්‍ය වෙනවා," චන්දිමා ජයවර්ධන පැවසුවාය.
හැබැයි ඒකෙන් කියන්නේ නැහැ සිංහල මරා දමලා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ වත්, ඉංග්‍රීසි බැරිවීම ලැජ්ජාවට කරුණක් වන තත්ත්වයක් නිර්මාණය කරන එකවත්. ඕනෑම මනුස්සයෙකු භාෂා දෙකක් හෝ තුනක් ඉගෙනගැනීම බොහොම වටිනවා. ඒක අපතේ යන්නේ නැහැ.
හැබැයි භාෂාව අනුව සමාජ ස්ථර තීරණය කරන එක තරම් තවත් මෝඩ කමක් නැහැ. ඕනෑම අවස්ථාවක, තමන්ට හැකි භාෂාවකින් පැහැදිලිව සන්නිවේදනය කරන එකයි වැදගත්, එහෙම නැතුව එක භාෂාවක්වත් හරියට ඉගෙන ගන්නේ නැතුව ඔක්කොම මිශ්‍ර කෑලි භාෂාවක් කතා කිරීම හරිම විහිළුවක්.
ඒ වගේම ඉංග්‍රීසි කතා කළා කියලා සමාජයේ පිළිගැනීමක්, සමාජ තලය උසස් වීමක් වෙන්නේ නැහැ. ඒ දේට බලපාන්නේ තමන්ගේ චරිතය, උනන්දුව, උත්සාහය සහ ආකල්ප. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි උගන්වන, සමාජයට අප්‍රසන්න වුණ හොරු, මිනීමරුවෝ, තක්කඩි කොයි තරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න," ඇය තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇය එසේ සිය අදහස් දැක්වීම අවසන් කරන විට, මා හට එක්තරා අතීත සිද්ධියක් මතකයට නැගිණි.
ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කෙරෙන කොළඹ ඉහළ අධිකරණයක පෙනී සිට නඩුවේ ඊළඟ පියවර සඳහා විනිසුරුගෙන් දිනයක් ලබා ගැනීමට පැමිණි එක්තරා නීතීඥවරියක් ඒ මොහොතේ අධිකරණයේ සිටි මා අසලින් අසුන් ගත්තාය.
තමන්ගේ වාරය එනතෙක් බොහෝ කලබල ගතියක් පෙන්වූ ඇය යමක් 'මතුරමින්' සිටින බව මට ඇසිණි. එම වදන් වෙව්ලන දෑතින්, ඉතා කලබලයෙන් කොළ කැබැල්ලක සටහන් කළ ඇය, "මට හොඳටම බයයි ඉංග්‍රීසි වැරදෙයි කියලා", මා දෙසට හැරී පැවසීය.
විනිසුරුට කිව යුතු වචන කීපය සහ ස්තූති කිරීම පවා ඇය කොළ කැබැල්ලේ සිංහලෙන් ලියාගෙන තිබිණි. පාසලේ වසර 13ක් සහ විශ්වවිද්‍යාලයේ දී පවා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් ඇය වඩාත් බිය වී තිබුණේ සමාජයෙන් එල්ල වන පීඩනයටය, නැතහොත්, සමාජය විසින්ම නිර්මාණය කළ ඉංග්‍රීසි භාවිතයට අනුව පන්ති බෙදීමටය.
ශ්‍රී ලංකාවේ ජාතික භාෂා හා සම්බන්ධ ඉතිහාසය කෙටියෙන්
1815 සිට ශත වර්ෂ එක හමාරක පමණ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ඉංග්‍රීසි භාෂාව දිවයිනේ ප්‍රධාන පරිපාලන භාෂාව විය.
1833 කෝල්බෲක් කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය තුළින් ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගිණි. ඒ සමගම දිවයිනේ ග්‍රාමීය වශයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම සිංහල භාෂාව ද යම් දුරකට යටපත් විය.
ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සිවිල් සේවයට ඇතුළත්වීමේ ප්‍රධාන සුදුසුකමක් බවට පත් වූ අතර, උසස් පාසලක සිංහල වචනයක් කතා කිරීම ද දඩයකට යටත් කරන ලද වරදක් විය.
ඒ වන විට ද ජනගහනයෙන් වැඩි කොටසක් දැනසිටියේ සිංහල හා දෙමළ පමණක් වන අතර, ඉංග්‍රීසි දැන සිටියේ අතලොස්‌සක් වූ යම් 'වරප්‍රසාද ලත් පිරිස' පමණක් බව ඉතිහාසයේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේනමුත්, රාජ්‍ය අනුග්‍රය මත ස්වදේශී භාෂා අභාවයට යන තත්ත්වයක් මතුවෙමින් තිබුණු අතර, සිංහල සහ දෙමළ ජනතාව මෙයට විරෝධය පළ කළහ. සිය එදිනෙදා කටයුතු විදේශීය භාෂාවකින් සිදු කිරීම ඔවුන්ට හිරිහැරයක් බවට පත් වෙමින් තිබිණි.
මේ විරෝධය හේතුකොට ගෙන 1934 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් සිංහල මහා සභාව ආරම්භ විය. සිංහල බෞද්ධයා, ස්වදේශ මිත්‍රයා, සිංහල බලය වැනි පුවත්පත් මඟින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන ගියේය.
මේ අතර, ජේ ආර් ජයවර්ධන ද 1943 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ගෙන එන ලදී. නමුත් එහි දෙමළ භාෂාව ජාතික භාෂාවක් හැටියට පිළි නොගැනීම ගැන විරෝධතා මතුවිණි.
නමුත් පසුව, සිංහල යන වචනය සඳහන් සෑම තැනකම එය සිංහල හා දෙමළ යනුවෙන් සංශෝධනය විය යුතු යැයි දෙමළ මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත විය.
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ද 1944 දී ගෙනා ස්‌වභාෂා රාජ්‍ය භාෂාව කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව එකඟ වුණු අතර, ඒ සඳහා ඡේ ආර් ජයවර්ධනගේ මූලිකත්වයෙන් කොමිසමක් ද ආරම්භ විය.
බලවත් දේශපාලන ගමනක යෙදුණු බණ්‌ඩාරනායකගේ 1956 මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී පිළිවෙතකට අනුව සකස් වී තිබිණි. සඟ, වෙද,ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එකතු කරමින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමට ඔහුට හැකි විය. මෙහිදී ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් වූයේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය.
ඒ අනුව බලයට පත් බණ්‌ඩාරනායක, 1956 අංක 33 දරන පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කළේය. ඒ වනවිට ද රජයේ බොහෝ කටයුතු කෙරුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම තීරණය දෙමළ ජනයාගේ අප්‍රසාදයට හේතු විය. එයට පිළියමක් ලෙස අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස් ජේ වී චෙල්වනායගම් සමග 1957 දී 'බණ්ඩාරනායක-චෙල්වනායගම්' ගිවිසුම අත්සන් කළේය.
නමුත් 1959 දී චීවරධාරියෙකු විසින් බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කෙරිණි.
වරින් වර සිදු වූ දේශපාලන සහ සිවිල් අරගල මධ්‍යයේ, 1972 වර්ෂයේ ජනරජ ව්‍යවස්ථාව මඟින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කෙරිණි.
මේ අතර, 1956 සිට දිගින් දිගටම මතු වූ අසාධාරණකම් මත දෙමළ ජනතාව අතර නොසන්සුන්තාවක් ගොඩ නැගිණි.
කෙසේනමුත්, විරෝධතා උද්ඝෝෂණ හමුවේ 1978 ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් බවට පත් කළේය. නමුත් මෙම 'භාෂා සටන' මහා මිනිස් සංහාරයක් සහ දේපළ විනාශයක් දක්වා ගොස් 1983 කළු ජූලිය ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයට තවත් කැළලක් එක් කළේය.
භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් වේ:
12 (2) වගන්තියට අනුව 'කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී-පුරුෂ භේදය, දේශපාලන මතය, හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට භාජනය නොවිය යුතුය.








