රජයේ පාසල්වල සියලු දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය?: මතවාද සහ අභියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල සේවය
"රට ගොඩ නැගීමට සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත් කර සෑම පාසලක ම ඉගැන්වීමේ කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂගෙන් ඉල්ලීමක් කරන," බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී විජේසිංහ පසුගිය දා ප්‍රකාශ කළේය.
පෙබරවාරි 05 වන දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, "නිදහස ලැබීමෙන් පසු සිංහල සහ දෙමළ ජාතික භාෂා ලෙස නම් කිරීම මගින් ජාතීන් අතර අසමගිය හටගැනීම ආරම්භ වූ" බවය.
"සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් හැටියට ප්‍රකාශ කළාම මේ රටේ ස්ථර දෙකක් ඇති වුණා. තල දෙකක් ඇති වුණා. ඉංග්‍රීසි භාෂාව කතා කරන ඉහළ තලයක්. සිංහල සහ දෙමළ භාෂාව කතා කරන පහළ තලයක් නිර්මාණය වුණා. එතන තමයි මේ රටේ ඇති නැති පරතරය පටන් ගත්ත දවස. ඒක මේ රටේ සංවර්ධනයට බාධාවක් වුණා," යනුවෙන් එහිදී කීර්ති ශ්‍රී විජේසිංහ සඳහන් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.
අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානයේ මෙම යෝජනාව සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් පැන නැගුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ එම අදහස් සමාජගත විය.
ඇතැමෙකු ප්‍රකාශ කළේ, "ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පවා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොමැති රටක මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති" බවය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අතිශය යහපත් බවට තවත් පිරිසක් තර්ක කරති.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2030 වසර වන විට ජය ගත යුතු ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක 17 යටතට දරුවන්ගේ අධ්‍යාපනය තුළින් ගෝලීය පුරවැසියන් නිර්මාණය කිරීමේ ඉලක්කය ද ඇතුළත් කර තිබේ.
2017 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සංගණන වාර්තාව අනුව රජයේ සමස්ත පාසල් සංඛ්‍යාව 10194ක් වන අතර ඉන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ පාසල් 778ක පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 7.6%කි.

ඊට අමතරව, 2017 වසර වන විට ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 4165964 දෙනෙකු ඉගෙනුම ලබා ඇති අතර ඉන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ලබා ඇත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 84720 දෙනෙකු පමණි. එය ප්‍රතිශතයක් ලෙස 1.8%කි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අධ්‍යාපනඥයෙකු මෙන් ම ජාත්‍යන්තර පාසල් නිර්මාතෘවරයෙකු ද වන ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු පැවසුවේ, "රජයේ පාසල්වල ඉංග්‍රීසි හැර වෙනත් විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම නොකළ යුතු," බවය.

ඡායාරූප මූලාශ්‍රය, MOhan Lal Grero/Facebook
"අපේ රට ගොඩනගන්න නම් සියලු විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන එක කළ යුතු නැහැ. කරන්න ඕන ඉංග්‍රීසි භාෂාව මීට වඩා හොඳ මට්ටමකට ගේන එකයි. අඩු තරමින් 5 ශ්‍රේණියට යනකොට දරුවන්ට හොඳින් ඉංග්‍රීසි භාෂාව පරිහරණය කරන්න හැකියාවක් ලැබෙන විදියට ඉංග්‍රීසි භාෂාව ඉගැන්විය යුතුයි," ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු පැවසීය.
"1978 වසරෙන් පස්සේ විවෘත ආර්ථිකය හරහා ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයින්, විදෙස් ශ්‍රමිකයින් වගේම රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණීමෙන් පසුවයි ජාත්‍යන්තර පාසල් බිහි වුණේ. ඔවුන්ගේ දරුවන්ට ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍ය පාසල් අවශ්‍ය වුණා. මේ වෙනකොට විවිධ හේතු මත දේශීය දෙමාපියනුත් සිය දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවනවා. ඒත් රජයේ පාසල්වල මව්බසින් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලයි මම හිතන්නේ."
අභියෝග
අධ්‍යාපනඥයින් පෙන්වා දෙන පරිදි දරුවන්ගේ භාෂා කුසලතා වර්ධනය වන අදියර 4ක් වේ.
- ඇහුම්කන් දීම (Listening)
- කතා කිරීම (Speech)
- කියවීම (Reading)
- ලිවීම (Writing)
ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව ඇහුම්කන් දීම සහ කතා කිරීම මග හැර ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමයක් නිර්මාණය වී ඇති බවය.
"මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඉංග්‍රීසි කියවීම සහ ලිවීම විතරක් අරමුණු කරගෙන කරන ඉගැන්වීම නතර කරලා ඇහුම්කන් දීම සහ කතා කිරීම සඳහාත් දරුවන් යොමු කිරීමේ ක්‍රමවේදයක් බිහි කරන්න ගුරුවරුන්ට පුහුණුවක් ලබා දෙන්න ඕන. මේක අභියෝගයක්. ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන් ගොඩක් දෙනෙකුටත් නිවැරදිව ඉංග්‍රීසි උගන්නන්න බැහැ. එවැනි තත්වයක් තුළ මේක ජය ගන්න අසීරුයි."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි පවසන්නේ ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍යය වීමේ වරදක් නැතත්, දරුවන්ට අනිවාර්යයෙන්ම ජාතික භාෂා ඉගැන්විය යුතු බවය.
"සිංහල සහ දෙමළ භාෂා අනිවාර්යයෙන් උගන්වන්න ඕන. ඒ අතරෙ ඉංග්‍රීසි අනෙකුත් විෂයන් සඳහා ඉගැන්වීමේ මාධ්‍යය වීමේ වරදක් නැහැ. ඒත් ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි," යනුවෙන් ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.
"අපට ඒ අභියෝගය භාර ගත හැකි ගුරු පිරිසක් ඉන්නවද? හැම කුඩා පාසලකටම එම වෙනස හඳුන්වා දෙන්නට ප්‍රමාණවත් මානව සම්පත් අපට තියනවද? හැබැයි දැනටමත් මේ ක්‍රමය නාගරික පාසල් බොහොමයක ක්‍රියාත්මක වෙනවනේ. බොහෝ විෂයන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමෙන් සිසුනට වඩා පහසුවෙන් වටහා ගන්නටත් හැකි වේවි. අතිරේක කියවීම් සඳහාද යොමු වේවි. ලෝක ඉතිහාසය, සාහිත්‍යය, දේශපාලනය පවා ස්වයං කියවීමකින් පුළුල් දැනුමක් ලබා ගනීවි. ගුරුවරුන්ගේ ඉංග්‍රීසි දැනුම මෙබඳු බොහෝ තැන්වල පුශ්න කෙරෙනවා. සිංහල හෝ දෙමළ භාෂාවලට ඉන් හානියක්, බලපෑමක් වෙයි කියල හිතන්න අමාරුයි. එම භාෂා ද්විත්වයම සිසුන්ට අනිවාර්ය කළ යුතුයි."
ඉංග්‍රීසියෙන් ඉගැන්නුවොත් සිංහල බස නැසෙයි ද?
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂයයන් ඉගැන්වීම හරහා සිංහල භාෂාවට යම් බලපෑමක් සිදුවේ ද? යන ප්‍රශ්නයට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුමුදු කරුණාරත්න බීබීසී සිංහල සේවයට දැක්වූ ප්‍රතිචාරය මෙසේය.

ඡායාරූප මූලාශ්‍රය, cmb.ac.lk
"ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලබා දීමෙන් සිංහල භාෂාවට බලපෑමක් වෙන්නේ නෑ. සිංහල රාජ්‍ය භාෂාවක් කරන්න කලින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න කාලේ දරුවන් අතර සිංහල භාෂා දැනුම මීට වඩා හොඳ මට්ටමක තිබුණා. උදාහරණයක් විදිහට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් එතුමා සිංහල භාෂාවට කොයිතරම් සේවයක් කළා ද? ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න එක හරහා සිංහල භාෂාවට බලපෑමක් වෙයි කියල හිතන්න බෑ."
ඇය පෙන්වා දුන්නේ, ආසියානු කලාපයේ අනෙකුත් රටවල් සමග සන්සන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව යම් පසුගාමී මට්ටමක පවතින බවය.
"ඉන්දියාව වගේ රටවල උපාධිධාරීන්ගේ ඉංග්‍රීසි දැනුම අපට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ඉන්දියාව ඉංග්‍රීසි භාෂාව මෙවලමක් විදියට භාවිත කිරීමත්, ශ්‍රී ලංකාව ඉංග්‍රීසි භාෂාව ආභරණයක් විදියට භාවිත කිරීමත් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ."
කෙසේ වෙතත්, ඇය පෙන්වා දෙන්නේ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය ලබා දීම ඉතා හොඳ යෝජනාවක් වුව ද, එය නිසි වැඩපිළිවෙළක් හරහා ක්‍රියාත්මක කළ යුතු බවය.
"මේ වගේ දෙයක් පාසල් පද්ධතියට දැම්මට වැඩක් නෑ. ඒකට නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන. අදාළ විෂයයන් හොඳින් දන්න ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දන්න ගුරුවරුන් පිරිසක් පුහුණු කරන්න ඕන. ඒ සඳහා භෞතික යටිතල පහසුකම් වගේම මානව සම්පත් නිර්මාණය කරන්න ඕන. ඒක ජාතික ව්‍යාපෘතියක් විදිහට නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කළොත් විතරයි ඵලදායී වෙන්නේ. මේකට අවුරුදු ගාණක් ගත වෙයි. ඒත් මේක ආරම්භ කළ යුතුයි," ආචාර්ය කුමුදු කරුණාරත්න සඳහන් කළාය.
තවදුරටත් කියවන්න:








