රැකියා සහ අධ්‍යාපනය සඳහා කොපමණ පිරිසක් එක්සත් රාජධානියට යනවා ද? අලුත් වැටුප් නීති මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් රාජධානියේ කම්කරු පක්ෂය විසින් යෝජනා කරන ලද දැඩි ප්‍රතිපත්ති යටතේ සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව "සැලකිය යුතු ලෙස" පහත වැටෙනු ඇතැයි අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පවසයි.
යෝජිත වෙනස්කම් අතරට සියලු ම වීසා අයැදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතා පරීක්ෂණය මෙන් ම ස්ථිර පදිංචි තත්ත්වයට අයැදුම් කිරීම සඳහා වන ප්‍රවේශය ද අසීරු කර තිබේ.
ඒ පිළිබඳ සංඛ්‍යා දත්ත වෙනස් වී ඇත්තේ කෙසේ ද? පවතින නීති මොනවා ද?
සංක්‍රමණිකයින් කී දෙනෙකු එක්සත් රාජධානියට පැමිණෙනවා ද?
ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලයේ (ONS) තාවකාලික සංඛ්‍යා ලේඛනවලට අනුව, 2024 ජූනි මාසය දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව, එනම්, එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව ඉන් පිටවන සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන් ලැබුණු අගය 728,000කි.
එය 2023 ජූනි දක්වා මාස 12ක කාලයක් තුළ පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 20%ක පහත වැටීමකි. එම කාලය සඳහා අලුතින් සංශෝධිත මුළු සංඛ්‍යාව 906,000ක් වූ අතර එය පෙර ඇස්තමේන්තුගත අගය වූ 740,000ට වඩා බෙහෙවින් වැඩි අගයකි.
2024 ජූනි මාසය දක්වා වසර තුළ අවම වශයෙන් වසරක කාලයක් රැඳී සිටීමට අපේක්ෂා කරන පුද්ගලයින් මිලියන 1.2ක් එක්සත් රාජධානියට පැමිණ ඇති බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ. තවත්, 479,000 දෙනෙකු එක්සත් රාජධානිය හැර ගිය බව ඇස්තමේන්තු කර ඇත.
සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන ආකාරයට 2024 ජූනි දක්වා මාස 12ක කාලය තුළ එක්සත් රාජධානියේ පදිංචියට පැමිණි මිලියන 1.2ක ජනතාවගෙන්:
- 5%ක් (58,000) බ්‍රිතාන්‍ය ජාතිකයෝ වූහ.
- 10%ක් (116,000) යුරෝපා සංගමයේ රටවලින් හෝ නෝර්වේ, අයිස්ලන්තය, ලිෆ්ස්ටන්ටයින් සහ ස්විට්සර්ලන්තයෙන් පැමිණි අය වූහ.
- 86%ක් (ලක්ෂ 10ක්) යුරෝපා සංගමයට අයත් නොවන රටවල්වල අය වූහ.
යුරෝපා සංගමයට අයත් නොවන රටවල්වලින් පැමිණි අයගෙන්:
- 82%ක් (845,000) රැකියා කළ හැකි වයස් සීමාවේ අය (අවු. 16 - 64 අතර) වූහ.
- 17%ක් (179,000) දරුවන් (වයස අවු. 16ට අඩු) වූහ.
- සාමාන්‍ය ගමන් මාර්ගයක් ඔස්සේ පැමිණීමෙන් පසුව හෝ නිදසුනක් ලෙස ඉංග්‍රීසි ඕඩය හරහා කුඩා බෝට්ටුවලින් පැමිණීම වැනි සාමාන්‍ය නොවන ක්‍රම හරහා පැමිණීමෙන් පසුව 8%ක් (84,000) දේශපාලන සරණාගතභාවයට හිමිකම් කීහ.
යුරෝපා සංගමයට අයත් නොවන රටවල්වලින් පැමිණි සංක්‍රමණිකයන් අතර රැකියා සඳහා (116,000) සහ අධ්‍යාපන කටයුතු සඳහා (127,000) යන හේතු දෙක ම මත එක්සත් රාජධානියට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දීය ජාතිකයන් ය.
ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඇති නීති මොනවා ද?
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලයේ තවත් සංඛ්‍යා ලේඛනයක දැක්වෙන්නේ, 2024 දෙසැම්බර් මස අවසාන වන විට විදෙස් සිසුන් 393,125කට ශිෂ්‍ය වීසා නිකුත් කර තිබූ බව ය.
එය ඊට පෙර මාස 12ක කාලයට වඩා 14%කින් අඩු නමුත් තවමත් 2019ට වඩා 50%කින් පමණ (46%) වැඩි අගයක් වේ.
2024 දෙසැම්බර් දක්වා වසර තුළ යැපෙන්නන් ලෙස සිටින ශිෂ්‍යයන් සඳහා වීසා 21,978ක් නිකුත් කර ඇති අතර එය 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යාවට වඩා 85%ක අඩුවීමකි.
2024 ජනවාරි මාසයේ සිට ජාත්‍යන්තර පශ්චාත් උපාධි සිසුන්ට ඔවුන්ගේ පාඨමාලාවට පර්යේෂණයක් ඇතුළත් නොවන්නේ නම් යැපෙන්නන් රැගෙන ඒමට නොහැකි වී තිබේ.
දැනටමත් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්ට උපාධි වීසා බලපත්‍රයක් යටතේ වැඩ කිරීම සඳහා වසර දෙකක් ද, ආචාර්ය උපාධියක් ඇති අයට වසර තුනක් ද, එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකි ය.
එක්සත් රාජධානියේ වීසා අයැදුම්කරුවන් සඳහා වැටුප් නීති වෙනස් වී ඇත්තේ කෙසේද?
එක්සත් රාජධානියේ සේවය කිරීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට දැනටමත් ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය (PBS) හරහා වීසා අයැදුම් කිරීමට සිදුව තිබේ.
කෙසේ නමුත්, 2024 අප්‍රේල් 11 සිට ඔවුන්ට ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීම අවශ්‍ය වී තිබිණි.
අයැදුම්කරුවන් අවම වශයෙන් පවුම් 38,700ක් උපයා ගත යුතු අතර, එය පෙර පැවති අවම වැටුප වූ පවුම් 26,200ට වඩා 50%කට ආසන්න වැඩිවීමකි.
සෞඛ්‍ය හා සමාජ සේවා සහ ජාතික වැටුප් පරිමාණයන්හි ගුරුවරුන් වැනි සමහර රැකියා සඳහා මෙම සීමාව අදාළ නොවේ.
පවුල් සඳහා නිකුත් කරන වීසා බලපත්‍ර පිළිබඳ නීති මොනවා ද?
ඔබට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඥාතියෙකු සමග හෝ මාස හයකට වඩා වැඩි කාලයක් එක්සත් රාජධානියේ සිටීමට අයිතිය ඇති අයෙකු සමග ජීවත් වීමට අවශ්‍ය නම්, ඔබට පවුල් සඳහා ලබා දෙන වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ.
ස්වදේශ කටයුතු කාර්යාලයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, 2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ පවුල් සඳහා නිකුත් කරන වීසා 86,000ක් ලබා දී ඇති අතර එය 2023ට වඩා 7% ක වැඩිවීමකි.
පහත දැක්වෙන ඥාතීන් සමග ජීවත් වීමට ඔබට අයැදුම් කළ හැකි ය:
- කලත්‍රයා හෝ සහකරුවා
- විවාහ ගිවිසා ගත් හෝ ගිවිසා ගැනීමට නියමිත සහකරුවා
- දරුවා
- දෙමව්පියන්
- ඔබට දිගුකාලීන රැකවරණය ලබා දෙන ඥාතියෙකු
ඒ සඳහා, ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ ප්‍රවීණතාවක් පෙන්නුම් කළ යුතු ය. ඔබේ එක්සත් රාජධානියේ ජීවත් වන ඥාතියා අවම ආදායම් සීමාව සපුරාලිය යුතු ය.
මෙය මූලිකව පවුම් 38,700 දක්වා ඉහළ දමා ඇති අතර, එය පෙර පවුම් 18,600 අගයට වඩා බෙහෙවින් වැඩිවීමකි.
නමුත් නව නීති මගින් පවුල් වෙන් කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම්වලින් පසුව, පෙර රජය නව අවම මුදල පවුම් 29,000 දක්වා පහත දැමී ය.
පවතින පවුල් සඳහා ලබා දෙන වීසා බලපත්‍රයක් අලුත් කරන ඕනෑ ම අයෙකුට නව ඉපැයීම් සීමාව සපුරාලීමට අවශ්‍ය නොවේ.
සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රවල සේවය කිරීමට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී තිබේ ද?
2024 දෙසැම්බර් දක්වා මාස 12 තුළ සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ සේවය කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින්ට වීසා 27,000ක් නිකුත් කර ඇති බව ස්වදේශ කටයුතු කාර්යාලයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මෙය කලින් මාස 12 සමග සසඳන විට 81%ක පහත වැටීමකි. සෞඛ්‍ය හා සාත්තු සේවා වීසා නීතිවලට තාවකාලික වෙනස්කම් කිරීමෙන් පසු මෙම අංශයේ රැකියාවට පැමිණෙන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වී තිබිණි.
2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වන වසර තුළ, සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුට ම ආසන්න වශයෙන් යැපෙන්නන් තිදෙනෙක් සිටිය හ.
කෙසේ වෙතත්, පසුගිය කොන්සර්වේටිව් පක්ෂ රජය විදේශීය සාත්තු සේවකයින් තම දරුවන් හෝ හවුල්කරුවන් ඔවුන් සමග රැගෙන ඒම නැවැත්වීමට නීති වෙනස් කිරීමෙන් පසුව එම කාලවකවානුවේ අවසාන මාස 10 තුළ යැපෙන්නන් සංඛ්‍යාව තියුණු ලෙස පහත වැටිණි.
ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
පුහුණු සේවක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අයැදුම්කරුවන් ලකුණු 70ක් සපුරා ගැනීමට අවශ්‍ය වේ. මෙය වසර පහක් දක්වා පැවතිය හැකි අතර පසුව එය දීර්ඝ කර ගත යුතු ය.
අවම කුසලතා මට්ටමට වඩා රැකියා අවස්ථා පවතී නම් සහ ඉංග්‍රීසි කතා කරන්නේ නම් ඔබට ලකුණු 50ක් ලැබේ.
ඉතිරි ලකුණු 20 ඉහළ වැටුපක්, රැකියා හිඟයක් ඇති අංශයක සේවය කිරීම හෝ අදාළ ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් තිබීමෙන් ලබා ගත හැකි ය.
කුසලතා සහිත වීසා බලපත්‍රයක් සඳහා සම්මත ගාස්තුව සාමාන්‍යයෙන් ඔබේ තත්ත්වය අනුව පවුම් 719 සහ පවුම් 1,639 අතර වේ.
වීසා අයැදුම්කරුවන්ට ඔවුන් රැඳී සිටින සෑම වසරක් සඳහා ම සෞඛ්‍ය සේවා අධිභාරයක් ගෙවීමට සිදුවේ.
මුදල වෙනස් විය හැකි නමුත් 2024 අප්‍රේල් සිට, සම්මත ගාස්තුව වසරකට පවුම් 1,035ක් වන අතර එය මීට පෙර පැවතියේ පවුම් 624ක් ලෙස ය.
ආගමන වැටුප් ලැයිස්තුව යනු කුමක් ද?
මීට පෙර හිඟ රැකියා ලැයිස්තුව ලෙස හැඳින්වූ ලැයිස්තුව වෙනුවට ආගමන වැටුප් ලැයිස්තුව හඳුන්වා දී තිබේ.
එය සේවා යෝජකයින්ට ප්‍රධාන රැකියා ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට උපකාරී වේ.
මෙම රැකියා සඳහා අඩු වැටුප් සීමාවක් ඇති අතර එමගින් අයදුම්කරුවන්ට වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීම පහසු කරයි.
එම ලැයිස්තුවට ඇතුළත් වන්නේ:
- සෞඛ්‍ය හා සාත්තු සේවකයින්
- ඖෂධවේදීන්
- ග්‍රැෆික් නිර්මාණකරුවන්
- ඇතැම් කෘෂි සහ ධීවර රැකියා
- ඉදිකිරීම් සේවකයින්
- පශු වෛද්‍යවරුන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය සේවකයින්ට සාමාන්‍යයෙන් "ගෙවනු ලබන අනුපාතයෙන්" 80%ක් ලබා දීමට සේවා යෝජකයින්ට අවස්ථාව ලැබිණි.
එහෙත්, 2024 අප්‍රේල් 4 වන දායින් පසු අයැදුම් කරන පුද්ගලයින් සඳහා මෙම අඩු අනුපාතය අහෝසි කරන ලදී.
තාවකාලික සේවකයින් සඳහා නීති මොනවා ද?
පලතුරු නෙළන්නන් සහ කුකුළු ගොවිපළ කම්කරුවන් වැනි තාවකාලික සේවකයින් වාර්ෂික කෝටාවකට යටත්ව තාවකාලික සේවක වීසා මගින් ආවරණය වේ.
2024 දෙසැම්බර් දක්වා වසර තුළ තාවකාලික සේවක වීසා 35,561ක් නිකුත් කර තිබිණි.
ඉන් හතරෙන් තුනකට වඩා (78%) කිර්ගිස්ථානය, ටජිකිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානය වැනි මධ්‍යම ආසියානු රටවලින් පැමිණි අය වූහ.
2025 සඳහා එම කෝටාව 45,000කි:
- උද්‍යාන අලංකරණ සේවකයින් 43,000
- කුකුළු ගොවිපළ කම්කරුවන් 2,000
තාවකාලික සේවකයින්ට උද්‍යාන වගා කටයුතු සඳහා මාස හයක් දක්වා එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකි අතර, සෑම වසරක ම ඔක්තෝබර් 2 සිට දෙසැම්බර් 31 දක්වා කුකුළු ගොවිපළ වැඩ සඳහා රැඳී සිටිය හැකි ය.
ඔවුන්ට ස්ථිර රැකියාවක් ලබා ගැනීමට හෝ පවුලේ සාමාජිකයන් ඔවුන් සමග රැගෙන ඒමට නොහැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ආගමන සඳහා බලපෑවේ කෙසේ ද?
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පෙර, යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව ඕනෑ ම යුරෝපා සංගමයේ රටක ජීවත් වීමට, වැඩ කිරීමට හෝ ඉගෙනීමට නිදහස තිබිණි.
කෙසේ වෙතත්, මෙම නිදහස 2021 ජනවාරි 1 වන දින එක්සත් රාජධානිය යුරෝපා සංගමය හැර ගිය විට අවසන් විය.
2024 ජූනි දක්වා මාස 12ක් තුළ, සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කළේ, යුරෝපා සංගමයේ රටක නොවන ජාතිකයන්ගේ ශුද්ධ සංක්‍රමණය හෙවත් පැමිණෙන අය සහ පිටවන අය අතර වෙනස 845,000ක් බව ය.
එම කාලවකවානුව තුළ ම, යුරෝපා සංගමයේ රටවල්වලින් පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව සෘණ 95,000ක් වූ අතර, එයින් අදහස් වන්නේ, යුරෝපා සංගමයේ රටවලින් එක්සත් රාජධානියට පැමිණි සංඛ්‍යාවට වඩා පුද්ගලයින් 95,000ක් එක්සත් රාජධානිය හැර ගොස් ඇති බව ය.
බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ශුද්ධ සංක්‍රමණය ඍණ 21,000ක් වූ අතර, එයින් අදහස් වන්නේ ආපසු පැමිණි සංඛ්‍යාවට වඩා වැඩි බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාවක් එක්සත් රාජධානිය හැර ගිය බව ය.














