අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කළ ධීවර ව්‍යාපාරිකයා කවුද?

වෙඩි තැබීමට ලක් වූ තැන සළකනු ලැබූ මාර්ගය
    • Author, බීබීසී සිංහල

අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය අසලදී අද (නොවැම්බර් 4 වැනි දා) පෙරවරුවේ ධීවර ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කොට තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වෙඩි තැබීම සඳහා 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඔහු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු යැයි කියන සොබනාහන්දි ජයලත් හෙවත් කරන්දෙණිය සුද්දා නමැති අයගේ මස්සිනා බව පොලිසිය සඳහන් කළේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි වරුෂවිතාන මිරන්ත නමැති 55 හැවිරිදි අයෙකි

මියගිය පුද්ගලයා අද (නොවැම්බර් 4 වැනිදා) පෙරවරුවේ 10.30ට පමණ යතුරු පැදියක යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මොහුට වෙඩි තබා පලාගොස් ඇත.

වෙඩි වැදුන තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ පපු ප්‍රදේශයට වෙඩි පහර තුනක් වැදි තිබූ බවය.

මියගිය පුද්ගලයා අසල බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කරන්දෙණිය එගොඩවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කරන්දෙණිය එගොඩවිල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික වරුෂවිතාන මිරන්ත

අම්බලන්ගොඩ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචි මොහු දෙදරු පියෙකි.

ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදි අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජනබල වේගය පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද අතිරේක නාම යෝජනා ලැයිස්තුවේ සිටි අයෙක් වන අතර ඔහුට අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධිවර යාත්‍රා දෙකක් ඇති බවට ද අනාවරණය වී තිබේ.

මිය ගිය පුද්ගලයා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ද වන අතර ඔහු අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.