'ඇඳුමේ අත් නොතිබූ නිසා' මවකට ජාතික අධ්‍යාපන ආයතනයේ ගේට්ටුව වැසෙයි

ඡායාරූප මූලාශ්‍රය, Krishna Lewke Bandara
පාසල් විෂය නිර්දේශයන්ට අදාළ පොත් කිහිපයක් මිල දී ගැනීම සඳහා මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයේ අලෙවිසැලට දියණිය සමග ගිය මවක මුහුණදුන් සිද්ධියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිවී තිබේ.
ඇය ඇයට මුහුණදීමට වූ සිද්ධිය පිළිබඳව ෆේස්බුක්හි සටහනක් තැබීම නිසා මේ කතාබහ ඇතිවිය.
ඇය එම සටහන හරහා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබිණි:
1. අවුට්ලට් එකක් කියන්නේ අවුට්ලට් එකක්. අලෙවිසැලක් තියෙන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනය ඇතුළේ කාටවත් යන්න බැරි තැනක ද?
2. අපි යන්නේ පාරිභෝගිකයන් ලෙසින් භාණ්ඩයක් මිල දී ගන්න නං ඒකට සාරිය, ඔසරිය හෝ විශේෂිත ඇඳුමක් තිබිය යුතු ද?
ඇය "සංස්කෘතික මූලධර්මවාදය" යන මාතෘකාව සමගින් ෆේස්බුක්හි තැබූ සටහන මෙසේ ය:
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
ගාල්ලේ පදිංචි ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර නමැති ඇය, එම සිද්ධිය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් පළ කළා ය.
"මම ඇඳගෙන ගිය ඇඳුමේ කිසි ම අසංවරකමක් තිබුණෙ නෑ. ඒක මගේ බෙල්ල ළඟ ඉඳලා යටි පතුල වෙනකම් දිග ඇඳුමක්. ඒක එහෙන් මෙහෙන් පලලා තිබුණෙත් නෑ. ආරක්ෂකයෝ පෙන්වපු එක ම වරද තමයි, ඒක අත් නැති ඇඳුමක්වීම. ඒකෙත් අත් නැහැ කිව්වාට ඇතුළට කපලා ඇඟ පේන විදිහට මහපු එකක් නෙවෙයි," ක්‍රිෂ්ණා පැවසුවා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මම ගාල්ලේ ඉඳලා ගොඩක් දුර ගෙවාගෙන තමයි මහරගමට ගියේ. ඒගොල්ලෝ එහෙනම් කලින් ජනතාව දැනුවත් කරන්න ඕන. පාසල් හරහාවත් එහෙම දැනුවත් කිරීමක් කරලා නෑ. හොඳ වෙලාවට මම දුව එක්ක ගියේ. තනියම ගියා නම් මට එක්කෝ අලුතින් ඇඳුමක් ගන්න වෙනවා. නැත්නම්, පොත් නොගෙන ආපහු ගාල්ලට යන්න වෙනවා."
ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර ඇගේ ෆේස්බුක් සටහනේ මෙසේ ද සඳහන් කර තිබිණි:
"අපි අධ්‍යාපනය අතින් කොතන ද ඉන්නේ? අපේ අධ්‍යාපනය නවීන ලෝකෙට ගැලපෙනව ද? සංස්කෘතිය කියන කඩතුරාවෙන් වහලා අපි මොනව ද බලාපොරොත්තු වෙන්නේ? මම අනිවාර්යෙන් පිළිගන්නවා සෑම පුද්ගලයෙක් ම තමන්ගේ වයසට, තමන්ගේ තරාතිරමට, ස්ත්‍රීපුරුෂභාවයට, තමා යන ස්ථානයට ගැලපෙන විදිහට තමන්ගේ ඇඳුම පැළඳුම තිබිය යුතු බව. ඒ වගේ ම අපි ඝර්ම කලාපයක සමකාසන්න අධික ලෙස දහඩිය දාන හිරු එළියට නිරාවරණය වෙන රටක්. අපේ රටේ අත්දිග ෂර්ට් ඇඳලා ටයි දාලා සාරි ඔසරි පොරවගෙන අමාරුවෙන් ඇදගෙන යන සංස්කෘතිය දැක්ක ම හැම දා ම දැනුණේ ලොකු අනුකම්පාවක්."
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ක්‍රිෂ්ණා තවත් තර්කයක් මතු කළා ය.
"දැන් එතනින් කියන්නේ සාරි ඇඳල යන්න ඕන කියලා නම්, අත් නැති හැට්ට ඇඳපු ගුරුවරියෝ ඕන තරම් ඉන්නවා. ඒ අයට අධ්‍යාපන ආයතනය ඇතුළට යන්න දෙන්නේ නැද්ද? අනික් අතට අලෙවිසැලක් ඇයි ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රය ඇතුළේ හදන්නේ? එහෙනම් ඒක හදන්න තිබුණා පිටතින් අලෙවිසැලට ඇතුළු වෙලා පොත් ගන්න පුළුවන් විදිහේ තැනක."
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විවිධ අදහස් පළ කර තිබිණි. මේ එවන් අදහස් දැක්වීමකි.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිචාරය
මෙම සිද්ධිය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිචාරය කුමක්දැ යි දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය එම ආයතනයේ පරිපාලන සහ මූල්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බී. එම්. පී. විජේසුන්දරගෙන් විමසීමක් කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් බව ත්, ආරක්ෂක අංශයේ නිලධාරීන් මාර්ගෝපදේශ නිසි පරිදි වටහා නොගෙන ක්‍රියාකර ඇතැ යි නිරීක්ෂණය වී ඇති බව ත් ය.
"මම ඒ ගැන හොයලා බැලුවා. ඒ කාන්තාව ෆේස්බුක් එකේ දාලා තිබුණ ඇඳුම ත් මම දැක්කා. ඒ ඇඳුමේ වරදක් නෑ. ඒක අසංවර ඇඳුමක් කියලා කියන්න බැහැ. අපි ඒ ගැන ආරක්ෂක නිලධාරීන්ට පැහැදිලි කරලා දුන්නා. මීට පස්සෙ ඒ වගේ සිදුවීමක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ."
ජාතික අධ්‍යාපන ආයතනය පිහිටවූ කාලයේ සිට ම ඊට ඇතුළුවීමේ දී ඇඳිය යුතු ඇඳුම් පිළිබඳ සීමා පැවති බව ඔහු පැවසුවේ ය.
"මේ නීති දාලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටවපු මුල් කාලේ ඉඳලමයි. දැන් ඒ නීති කාලයට අනුව වෙනස්කළ යුතු යි. අපි මූලිකව ආරක්ෂක නිලධාරීන් දැනුවත් කළා. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී යම් සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා."
මහරගම පිහිටි ජාතික අධ්‍යාපන ආයතනය යනු 'ශ්‍රී ලංකාවේ ප්‍රාථමික, ද්විතීක සහ පශ්චාත්-ද්විතීක අධ්‍යාපනය වෙනුවෙන් පෙළපොත් සැකසීම සහ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා' පිහිටුවන ලද ප්‍රමුඛතම ආයතනය වේ.
එය, 1985 වසරේ අංක 28 දරන පාර්ලිමේන්තු පනත හරහා 1986 වසරේ දී පිහිටුවන ලදී.
සාරි ඇඳීම සහ සංස්කෘතික සීමා
ගුරුවරුන් සාරි ඇඳීම ඇතුළු සංස්කෘතික සීමා පිළිබඳව ශ්‍රී ලංකාවේ වරින් වර සංවාද වර්ධනය වෙයි.
යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍යධුරය දැරූ අකිල විරාජ් කාරියවසම්, ගර්භණී තත්ත්වයේ පසුවන ගුරුවරුන්ට අනිවාර්යයෙන් සාරි ඇඳිය යුතු බවට පැවති සීමා ඉවත් කළේ ය.
පසුව, මෑතකාලීනව සාරි ඇඳ සේවය කිරීම අපහසු බවට ඇතැම් ගුරුවරුන් විරෝධය පළකර තිබිණි. එහි දිගුවක් ලෙස ඇතැම් ගුරුවරියන් දැන් සාරිය හැරුණුකොට වෙනත් සුදුසු ඇඳුම්වලින් සැරසී පාසැල් පැමිණෙයි.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිසුවියක් ඇඳුමක් නිසා යම් අපහසුතාවකට පත්වූ සිද්ධියක් එම විශ්වවිද්‍යාලයයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Liyanage Amarakeerthi/Facebook
"පසුගිය දවසක පේරාදෙණිය විශ්වවිද්‍යාල බලධාරියෙක් මෙම ඡායාරූපවල පෙනෙන වැනි ක්‍රොප් ටොප් එකක් හැඳි ශිෂ්‍යාවකට 'ඔහොම අඳින්න එපා මේක විශ්වවිද්‍යාලයක්' යැයි කියා තිබුණා," මහාචාර්යවරයා සඳහන් කර තිබිණි.
මෙවැනි සංස්කෘතික සීමා සම්බන්ධයෙන් ඔහු සමාජය හමුවේ මෙම ප්‍රශ්නය තබයි: "සාරි හැට්ටයට බොහෝ දුරට සමාන ක්‍රොප් ටොප්වල වැරැද්ද මොකක් ද? මේවා ගැඹුරට මුල් ඇදුණු එහෙත් අතිසරල සංස්කෘතික ජාතිකවාදී ආලංකාරික මාලාවක් අපේ චින්තනය මෙහෙයවීම පිළිබඳ ප්‍රශ්න."











