පාසල්වලට ඇතුල් වන කාන්තාවන්ට 'ඇඳුම් නීතියක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Press Eye
පාසල්වලට ඇතුළුවන කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබෙන සියලුම නීති ඉවත් කරන මෙන් සියලුම පාසල්වලට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
පාසල් තුලට යන කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් ඇතැම් පාසල් විශේෂ නීති පනවා ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව නව නියෝගය ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කළ බවයි, අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.
අදාළ නීතිය පිළිබඳව මුලින්ම බීබීසීයේ අයේෂා පෙරේරා අනාවරණය කිරීමෙන් අනතුරුව දෙමාපියන්ගෙන් පැමිණිලි ගණනාවක් ලැබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
"පාසල් තුලට යන දෙමාපියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට විධිමත් ඇඳුමකින් සැරසී පැමිණීම පමණයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කාන්තාවන්ට ඇඳුම් ඇඳීම පිළිබඳව නිර්ණායක අවශ්‍ය නෑ," ඇමතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Smriti Daniel
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලය 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම්.
"විශේෂයෙන්ම නගරබද ප්‍රදේශවල ඉන්න කාන්තාවන් රැකියාවට නිරන්තරයෙන් සාරිය අඳින්නේ නැහැ. සමහරුන්ට ඔවුන්ගේ නිල ඇඳුම් තියෙනව. ඒ අවස්ථාවේදී සමහර අවස්ථාවල පාසල්වල මුරකරුවන් ගේට්ටුවෙන් ඇතුලට යාන්න දෙන්නේ නැති බව අපිට දැනගන්න ලැබිල තියෙනව," අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
"සංස්කෘතියට ගැලපෙන්නේ නෑ වගේ බාධක දාල ප්‍රශ්නයක් ඇතිකරගත යුතු නෑ. ලෝකේ වෙනස් වෙනව."








