විදෙස්ගත වූ වෛද්‍යවරුන්ගෙන් රජයට රු. බිලියනයකට අධික 'පොලු': විගණනයකින් හෙළි වූ කරුණු

Young female doctor in surgical scrubs with a stethoscope

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් සහ සේවා ගිවිසුම් උල්ලංඝනය කළ වෛද්‍යවරුන්ගෙන් රජයට රුපියල් බිලියනයකට වැඩි මුදලක් අය වීමට ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණනයකින් හෙළිදරව් වී තිබේ.

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා, විදේශ රැකියා වෙනුවෙන් මෙන් ම අනෙකුත් හේතු මත විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාමේ සහ සේවය අතහැර යාමේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය වන බව විගණන වාර්තාව පවසයි.

මේ නිසා ම මෙම වෛද්‍ය නිලධාරීන් රජයට ගෙවිය යුතු ඇප මුදල් සහ දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවක් ද එහිදී නිරීක්ෂණය කර තිබේ.

අනුමත අධ්‍යයන නිවාඩු සහ වැටුප් රහිත නිවාඩු ක්‍රමවේදය

පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන් මණ්ඩල සහතිකය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් එක් වර්ෂයක විදේශ පුහුණුවක් සම්පූර්ණ කළ යුතු ය.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මේ සඳහා වෛද්‍යවරුන්ට අවස්ථා සොයා දෙනු ලබන අතර, අදාළ පුහුණුවට යොමු කරන විදේශීය රෝහල හෝ ආයතනය මගින් ඔවුන්ට වැටුප් ගෙවීමට හෝ නොගෙවීමට ඉඩ තිබේ.

එලෙස විදේශීය පුහුණුව සඳහා තෝරා ගන්නා වෛද්‍යවරුන්ට අමාත්‍යංශය උපරිමය වර්ෂ දෙකකට යටත්ව වැටුප් සහිත විදේශ නිවාඩු අනුමත කරන බවත්, වැටුප් රහිත පුහුණුවකට තෝරාගනු ලබන වෛද්‍ය නිලධාරියෙකුට වර්ෂයක කාලයක් සඳහා මාසික යැපීම් දීමනාවක් අදාළ රටේ මුදල් ඒකකයෙන් ගෙවීම සිදු කරන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම මෙලෙස ලබා ගන්නා අධ්‍යයන නිවාඩුව සම්පූර්ණ වැටුප් සහිතව හෝ වැටුප් රහිතව ලබා ගැනීමේ හැකියාව පවතියි.

මීට අමතරව රැකියාවක් සඳහා පමණක් අඛණ්ඩ කාල පරිච්ඡේදය වර්ෂ පහක කාල සීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ හැකියාව පවතින අතර, රජයේ නිලධාරියෙකුට සිය සේවා කාලය තුළ දිය හැකි එවැනි නිවාඩුවල මුළු ගණන වර්ෂ 5කට සීමා වේ.

විදේශ රැකියාවක් සඳහා හෝ කාර්ය පැවරුමක් සඳහා වැටුප් රහිත නිවාඩු මත විදෙස්ගත වන වෛද්‍ය නිලධාරීන් ගිවිසුමක් අත්සන් කළ යුතු ය.

වැටුප් සහිතව අධ්‍යයන නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් බැඳුම්කරයක් අත්සන් කළ යුතු ය.

අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් නියමිත කාලයේදී සිය පාඨමාලාව අවසන් කර නැවත සිය රාජකාරී කටයුතු ආරම්භ කළ යුතු ය.

ඔවුන් එලෙස රාජකාරී නැවත බාරගත් දින සිට සිය වැටුප් සහිත නිවාඩු කාලය මෙන් හතර ගුණයක කාලයක් රජය යටතේ සේවය කළ යුතු ය.

දඩ මුදල් ගෙවීමට සිදු වන්නේ කුමන අවස්ථාවලදී ද?

එලෙස නිවාඩු ලබා ගන්නා වෛද්‍යවරුන්ට පහත සඳහන් අවස්ථාවලදී රජයට දණ්ඩන මුදලක් ගෙවීමට සිදු වේ.

  • වෛද්‍ය නිලධාරියා නියමිත සුදුසුකම ලබා ගැනීමට අසමත් වීම
  • වැටුප් සහිත නිවාඩුව අවසන් වූ පසුව ශ්‍රී ලංකාවට පැමිණීම පැහැර හැරීම
  • ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු නියමිත දිනයේදී නැවත වැඩ භාර ගැනීමට අපොහොසත් වීම
  • වැඩ භාර ගැනීමෙන් පසුව වැඩ භාර ගත් දින සිට සේවය කළ යුතු අනිවාර්ය සේවා කාලයේ සේවය කිරීමට අපොහොසත් වීම
  • අනිවාර්ය සේවා කාලය අවසන් වීමට පෙර පත්වීමෙන් ඉල්ලා අස් වීම
  • අනිවාර්ය සේවා කාලය අවසන් වීමට ප්‍රථම අකාර්යක්ෂමතාව හෝ වියදම් අඩු කිරීම හැර වෙනත් හේතුවක් නිසා සේවයෙන් පහ කිරීම හෝ ධුරයෙන් ඉවත් කිරීම
  • ගිවිසුමේ කොන්දේසි අතරින් කිසිවක් පිළිපැදීමට අපොහොසත් වීම

අසම්පූර්ණ පෞද්ගලික ලිපිගොනු

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආයතන සංග්‍රහයට අනුව සෑම වෛද්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් ම විධිමත් පරිදි පෞද්ගලික ලිපිගොනුවක් නඩත්තු කළ යුතු අතර, ඒවා යාවත්කාලීනව පවත්වාගෙන යා යුතු ය.

මෙම විශේෂ විගණනයට අදාළව අමාත්‍යංශ ලේකම්වරයාගෙන්, අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තොරතුරු කැඳවීම් ලිපි 46ක් යොමු කර ඇති අතර, එයින් ලිපි 16ක් සඳහා 2025 ජූලි 15 දක්වා තොරතුරු ලබා දී නොමැති බවට විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම පුහුණුව සඳහා යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් පිළිබඳව යොමු කළ ලිපියකට සෞඛ්‍ය ලේකම්වරයා පිළිතුරු ලබා දී නොමැති අතර, වෙනත් අභ්‍යන්තර සටහනක් සෞඛ්‍ය ලේකම්වරයා විගණනයට යොමු කර තිබී ඇත.

එම සටහනේ, දේශීය සහ විදේශීය පුහුණුව සඳහා යොමු කරන ලද වෛද්‍ය නිලධාරීන් සම්බන්ධව ඉල්ලා ඇති තොරතුරු ඒ ඒ විෂයභාර නිලධාරීන් විසින් විධිමත් ලෙස යාවත්කාලීන කර නොමැති බවත් එනිසා ඒ සම්බන්ධ තොරතුරු විස්තරාත්මක වශයෙන් නොමැති බව සඳහන්ව තිබී ඇත.

පසුව විගණනයට අදාළව සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන් 1,437 දෙනෙකුගේ ලියාපදිංචිය සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවෙන් ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතර, එයින් 860ක් ලියාපදිංචිය 2024 දක්වා යාවත්කාලීනව පවත්වාගෙන ගොස් ඇති නමුත්, නිලධාරීන් 270 දෙනෙකු ලියාපදිංචිය යාවත්කාලීන කර තිබී නොමැත. එමෙන් ම තවත් වෛද්‍ය නිලධාරීන් 288කගේ ලියාපදිංචි තොරතුරු නොමැති බවට වෛද්‍ය සභාව වාර්තා කර ඇති අතර එක් වෛද්‍ය නිලධාරියෙකු මිය ගොස් සිටි බව ද පවසා තිබේ.

එලෙස විදෙස්ගත වන වෛද්‍ය නිලධාරීන් සඳහා ඇපකරුවන් ලෙස අත්සන් කළ වෛද්‍ය නිලධාරීන් 230කගේ පෞද්ගලික ලිපිගොනු විගණනය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති නමුත් 2024 නොවැම්බර් 28 දින දක්වා විගණනයට ඉදිරිපත් කර තිබී ඇත්තේ, ලිපිගොනු 132ක් පමණි.

පිළිතුරු ඒවා නොමැති ලිපි

ඡායාරූප මූලාශ්‍රය, NATIONAL AUDIT OFFICE

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම විශේෂ විගණනයට අදාළව අමාත්‍යංශ ලේකම්වරයාගෙන්, අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තොරතුරු කැඳවීම් ලිපි 46ක් යොමු කර ඇති අතර, එයින් ලිපි 16ක් සඳහා 2025 ජූලි 15 දක්වා තොරතුරු ලබා දී නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වේ

'අයවිය යුතු දඩ මුදල් අය කර නොගත් අවස්ථා විශාල සංඛ්‍යාවක්'

මෙම විගණන වාර්තාවේ කොන්දේසි කඩ කරමින් මෙතෙක් දඩ මුදල් රජයට ගෙවා නොමැති වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් ද පළ කර තිබේ.

එහි බරපතළ කරුණු රැසක් අනාවරණය කර ඇති අතර, එවැනි සිදුවීම් රැසක පසුබිම් ද වාර්තාවේ සඳහන් කර තිබේ.

අංක 14070 යන අංකය දරන වෛද්‍ය නිලධාරියෙකු 2005 අගෝස්තු 01 දින සිට මාස තුනක වැටුප් රහිත නිවාඩු අනුමත කරගෙන ඇති අතර ඔහු එම නිවාඩුව අවසන් වූ පසුව නැවත සේවයට වාර්තා කර නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යංශයට 2005 නොවැම්බර් 22 වන දින දැනුම් දී තිබුණු නමුත් ඔහුගේ සේවය හැරයාමේ ලිපිය නිකුත් කර තිබෙන්නේ එයින් වසර 11කට පසු එනම් 2016 අගෝස්තු 20 වන දින ය. එම කාලය තුළ අදාළ වෛද්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර 11ක් සේවය කර ඇති අතර, විධිමත් අනුමැතියකින් තොරව ඔහු එලෙස කටයුතු කර තිබියදීත් එම කාලය වැටුප් රහිත නිවාඩුවක් ලෙස සලකා ඔහුව නැවත සේවයේ පිහිටුවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.

ඇතැම් ලිපිගොනු තුළ අදාළ වෛද්‍ය නිලධාරීන් තවමත් සේවයේ යෙදී සිටින්නේ ද නැද්ද? යන්න බවට කිසිදු සාක්ෂියක් ඇතුළත්ව තිබී නොමැත.

තව ද දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉල්ලුම් කරන ලද තොරතුරු නිසි පරිදි නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඇතැම් ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව විසින් වසා දමන ලද අවස්ථා සම්බන්ධයෙන් ද වාර්තාවේ සඳහන් වේ.

එමෙන් ම දඩ මුදල වැරදි ලෙස ගණනය කළ අවස්ථා රැසක් ද විගණන වාර්තාවේ පෙන්වා දී තිබේ.

Male Doctor listening heart beat and breathing of Elderly Woman with Stethoscope with First Aid Medical Box.Community Health and Development Hospital In Remote Areas Development Fund Concept.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 අගෝස්තු 12 වන දිනට සේවයේ සිටින බවට දත්ත පද්ධතියේ සඳහන් වන වෛද්‍ය නිලධාරීන් 65 දෙනෙකු සත්‍ය ලෙස ම එදිනට සේවයේ යෙදී සිටින්නේ ද යන්න තහවුරු කිරීමට නොහැකි බව විගණනයට දන්වා තිබේ

නිසි ක්‍රමවේදයට පිටින් යමින් සිදු කළ නිවාඩු ලබා ගැනීම් අතරතුර තවත් වෛද්‍යවරයෙකු විදේශගත වී සිටියදී ඔහුට උසස්වීමක් ද ලබා දී ඇති බවද විගනන වාර්තාවේ දැක්වෙයි.

තවත් වෛද්‍යවරයෙකු නිසි පරිදි නිවාඩු අනුමත නොකරගෙන සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2016 ජූනි මාසයේදී සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර තිබියදී ඔහුට එම මාසයේ වැටුප ගෙවා ඇත.

එම වැටුප ඔහුගෙන් නැවත අය කර ගත යුතු නමුත් එය අය කර ගත් බවට සාක්ෂියක් විගණනය ඉදිරිපත් නොවූ බව විගණන වාර්තාවේ දැක්වේ.

තවද අදාළ නිලධාරියා සිදු කළ බවට සැලකෙන බරපතක අක්‍රමිකතාවන් කිහිපයක් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දන්වා ඇති නමුත් 2024 නොවැම්බර් 28 දක්වා එය අවසන් කර තිබී නැත.

මෙවැනි සිදුවීම් අනුව ගිවිසුම් කඩ කළ වෛද්‍ය නිලධාරීන්ගෙන් ගිවිසුම් ප්‍රකාරව අය කළ යුතු බැඳුම්කර මුදල් සහ දඩ මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා අමාත්‍යංශය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් 2024 ඔක්තෝබර් 31 වන දිනට වෛද්‍ය නිලධාරීන් 705ක ගෙන් රු. බිලියන 1.156ක් අය කරගත යුතුව තිබී ඇති බව වාර්තාවේ දැක්වේ.

ඒ අනුව,

  • වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගතවූ වෛද්‍ය නිලධාරීන් 204 දෙනෙකුගෙන් රු. මිලියන 695.2ක්,
  • වැටුප් රහිත නිවාඩු ලබා ගත් වෛද්‍ය නිලධාරීන් 480 දෙනෙකුගෙන් රු. මිලියන 444.2ක්,
  • වැටුප් සහිත හා රහිත වර්ග දෙකෙන් ම නිවාඩු ලබාගත් වෛද්‍යවරුන් 08 දෙනෙකුගෙන් රු. මිලියන 6.25ක්,
  • වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත් කලත්‍රයා සමග විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ලබාගත් 13 දෙනෙකුගෙන් රු. මිලියන 10.7ක් අය කරගැනීමට ඉතිරිව තිබේ.

විවිධ මූලාශ්‍ර යටතේ සේවය හැරගිය බවට හඳුනාගත් වෛද්‍ය නිලධාරීන් අතුරින් 2024 නොවැම්බර් 28 දක්වා පුද්ගලික ලිපිගොනු ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් 116 දෙනෙකුගෙන් රු. මිලියන 119.4ක බැඳුම්කර/ දඩ මුදල් අය වීමට ඇති බවට ද විගණනයට නිරීක්ෂණය වී තිබේ.

විදේශීය පුහුණුවට ගොස් පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළ වෛද්‍යවරුන්

මෙම විගණන වාර්තාවේ පෙන්වා දී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ ඇතැම් විදේශීය පුහුණුව සඳහා ගිය වෛද්‍යවරුන් පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළ අවස්ථා ද ඇති බව ය.

ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති විගණන වාර්තාවට අනුව විදේශීය පුහුණුව සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් අතුරින් වෛද්‍ය නිලධාරීන් 71ක් පුහුණුව අවසන් කර නැවත සේවයට වාර්තා කර නොමැත.

මොවුන් අදාළ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබේදැයි වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෛද්‍ය නිලධාරීන් 68ක් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කර නොමැති බව ය.

වාර්තාව පෙන්වා දෙන්නේ, මේ නිසා අදාළ වෛද්‍ය නිලධාරීන්ට පශ්චාත් උපාධිය වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නිෂ්කාර්ය වී ඇති බව ය.

තව ද සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන් පිළිබඳව වාර්තා සෑම මාස හයකට වරක් ම රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කළ යුතුව තිබී ඇති නමුත් අමාත්‍යංශය ඒ අනුව කටයුතු කර තිබී නැත.

2024 වර්ෂය දක්වා අමාත්‍යංශ ලේකම්වරයා ලබා දී තිබූ උපදෙස් අනුගමනය නොකිරීමේ තත්ත්වයක් තුළ විශේෂඥ පුහුණුව සඳහා හෝ විදේශ රැකියා සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් එකී අධ්‍යයන හෝ රැකියා නිවාඩුව අවසන් කර සේවයට වාර්තා නොකර සිටීම සහ සේවයට වාර්තා කර කෙටි කාලයකින් පසුව සේවය අතහැර යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, එසේ සේවය හැර යන වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු එහෙත් අය නොවී පවතින ශේෂයන්ගේ ප්‍රමාණයන් සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බව ද විගණනයේදී නිරීක්ෂණය කර තිබේ.

දත්ත පද්ධතියේ දුර්වලතා

අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නිලධාරීන් පිළිබඳ දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු රැසක් ද විගණනයෙන් හෙළිව තිබේ.

2024 අගෝස්තු 12 වන දිනට සේවයේ යෙදී සිටින බවට දත්ත පද්ධතියේ සඳහන් වන වෛද්‍ය නිලධාරීන් 65 දෙනෙකු සත්‍ය ලෙස ම එදිනට සේවයේ යෙදී සිටින්නේ ද යන්න තහවුරු කිරීමට නොහැකි බව විගණනයට දන්වා තිබේ.

දත්ත පද්ධතියේ සිටින වෛද්‍ය නිලධාරීන් 9,194කගේ පුද්ගලික ලිපිගොනු අංක එයට ඇතුළත්ව නොමැති අතර, වෛද්‍ය නිලධාරීන් 389කගේ වර්තමාන සේවා ස්ථානය හෝ තනතුර සඳහන් ව තිබී නොමැත.

පසුව 2025 මාර්තු 04 වන දින විගණනයට දන්වා ඒවා ඇත්තේ, එදිනට ලිපිගොනු අංක සඳහන් නොවන වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 1,451ක් හා සේවා ස්ථානය හා තනතුර සඳහන් නොවන නිලධාරීන් සංඛ්‍යාව 91ක් වන බව ය.

තවත් නිලධාරීන් 449 දෙනෙකු නිවාඩු ලබාගත් බවට සඳහන් ව තිබී ඇති නමුත් නිවාඩු ලබාගත් දිනය, අවසන් වන දිනය මෙන් ම නිවාඩු අනුමත කළ පදනම යන කරුණු ඇතුළත්ව තිබී නොමැත.

මෙවැනි ආකාරයේ දත්ත පද්ධතියේ පවතින දුර්වලතා නිසා ගිවිසුම් උල්ලංඝනය කරන ලද වෛද්‍ය නිලධාරීන්ගේ ලිපිනයන් සොයාගත නොහැකි වීම මත ඔවුන්ගෙන් අයවිය යුතු බැඳුම්කර වටිනාකම අය කර ගැනීමට නොහැකි වීමේ අවදානමකට ලක්ව ඇති බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

කෙසේවෙතත් එහි පෙන්වා දී ඇත්තේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ තානාපති කාර්යාල හරහා තොරතුරු සොයාගැනීමට අමාත්‍යංශය ඉදිරි පියවර ගත යුතු වුවත් ඒ සඳහා කටයුතු කර නොතිබූ බවට විගණනය නිරීක්ෂණය කර තිබේ.

නිර්දේශ

විගණනය අවසානයේ මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දක්වා තිබේ.

ඒ අතරින් එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අයකරගත යුතුව පවතින රු. බිලියන 1.277ක මුදල ය කරගැනීම සඳහා ගත යුතු පියවර ගන්නා ලෙස ය.

තව ද වෛද්‍ය නිලධාරීන්ගේ පත්වීමේ සිට උසස් කිරීම්, ස්ථාන මාරු වීම්, පුහුණුවීම්, විදේශගත වීම් ඇතුළු සියලු දත්ත ඇතුළත් විධිමත්, කාලීන තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නිර්මාණය කර යාවත්කාලීන කරමින් පවත්වාගෙන යා යුතු බව ද එම නිර්දේශයන්හි ඇතුළත් ය.

එමෙන් ම වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගන්නා වෛද්‍ය නිලධාරීන් නැවත සේවයට නොපැමිණීමේ සැලකිය යුතු තත්ත්වයක් නිරීක්ෂණය වන නිසා ඔවුන් වෙනුවෙන් රජය වැය කරන මුදල් අය කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මෙහි නිර්දේශ කර තිබේ.

සියලු ම වෛද්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කළ යුතු සියලු තොරතුරු ඇතුළත් කර පුද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යන ලෙසට ද වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල විසින් 2025 සැප්තැම්බර් 29 දින නිර්දේශ කරනු ලැබ තිබේ.