'ඉන්සියුලින් හිඟයෙන් රෝගීන්ගේ ජීවිත අවදානමේ': සෞඛ්‍ය ඇමති මොකද කියන්නේ?

රජයේ රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල් හිඟයක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති අනාවරණය කරයි. ඔවුන් පවසන පරිදි ඒ අතර දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ඖෂධයද වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

රජයේ රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති අනාවරණය කරයි. ඔවුන් පවසන පරිදි එම ඖෂධ අතර දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ඖෂධය ද වේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ, "අත්‍යවශ්‍ය ඖෂධ 183ක් හිඟයි. ඉතා අත්‍යවශ්‍ය ඖෂධ 13න් 3ක් හිඟයි, ඔක්කෝ ම 234ක් හිඟයි. ඉන්සියුලීන් වගේ ම ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතිජීවක ඖෂධ ප්‍රධාන ඒවා 6ක් විතර හිඟයි," යනුවෙනි.

අත්‍යවශ්‍ය වැදගත් ඖෂධයක් වන මිස්ටාඩ් ඉන්සියුලින් සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය, රෝගී ජීවිත සඳහා දැඩි අවදානමක් ඇති බව වාර්තා වී ඇතැයි ද රවී කුමුදේශ් සඳහන් කළේ ය.

මෙම ඉන්සියුලින් ඖෂධය සඳහා මාසික අවශ්‍යතාව ඒකක 183,000ක් පමණ වන අතර වෛද්‍ය සැපයීම් අශයෙහි දැනට පවතින සංචිතය ඒකක 111,000ක් සහ රෝහල් හා ආයතනවල සංචිතය ඒකක 119,000ක් පමණ වේ. ඒ අනුව ජාතික වශයෙන් පවතින සම්පූර්ණ ඒකක ගණන ඒකක 231,000ක් පමණ වන බව ඔහු පැවසීය.

මෙය අද දින (අප්‍රේල් 21) වනවිට, තවත් දින 10ක පමණ පරිභෝජනය සඳහා පමණක් ප්‍රමාණවත් බව කියැවෙන අතර, අප්‍රේල් මාසය අවසන් වන විට පවා මූලික අවශ්‍යතාව සපුරාලිය නොහැකි තත්ත්වයක් පවතින බව ද රවී කුමුදේශ් සඳහන් කළේ ය.

ඔහු කියා සිටියේ, මෙය මෙවැනි හිඟයන් සඳහා පිළියම් නොයොදා සිටීම මගින් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව භාවිත කරමින්, ලියාපදිංචි නොවූ බාල ඖෂධ ගෙන්වීම සඳහා පාර කපාගන්නා වෑයමක් බව ය.

කෙසේ වෙතත්, බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා කාන්තාවක වන බී. චන්ද්‍රලතා පැවසුවේ, පසුගිය සායනයට ගිය අවස්ථාවේදී තමන්ට අවශ්‍ය ඖෂධ රජයේ රෝහලේ ඖෂධ හලෙන් ලබා ගැනීමට හැකි වූ බව ය.

'ප්‍රමාණවත් ඉන්සියුලින් රටට ගෙන්වා තිබෙනවා'

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස පවසන්නේ, ප්‍රමාණත් ඉන්සියුලින් තොග රටට ගෙන්වා ඇති බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඉන්සියුලින් හිඟයක් නැහැ. ඉදිරි මාස හතරහමාර සඳහා අවශ්‍ය කරන ඉන්සියුලින් අප්‍රේල් මාසය මැද වෙන කොට අපි බෙදා හැරලා තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. සැප්තැම්බර් මාසය දක්වා ම අවශ්‍ය ඉන්සියුලින් තොග දැන් රට පුරා පවතිනවා," යැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (අප්‍රෙල් 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

"ඉන්සියුලින්වල ප්‍රශ්නයක් පළවෙනි මාසවල තිබුණා. ඉන්සියුලින් මුළුමන්නි ම නතර කරලා තිබ්බෙ නැහැ. වෙනදා මාස 2කකට දෙනවා නම් මාසයකට ලබා දීලා යම් කළමනාකරණයක් කර ගත්තා. ඒ ප්‍රශ්නයත් දැන් නිරාකරණය කරලා ඒ අවශ්‍ය තොග රටට ගෙනල්ලා තියෙනවා."

කෙසේවෙතත්, 2023/24 කාලවකවානුව තුළ ඇතැම් ඖෂධ ඇණවුම් කිරීමේදී ප්‍රමාදයන් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

මේ නිසා ඖෂධවල යම් යම් හිඟයන් මතු වන බව ඔහු සඳහන් කළේ ය.

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ හිඟයක් පැවතුණ ද ප්‍රාදේශීය ඖෂධ ගබඩාවල සහ පර්යන්ත රෝහල්වල එම ඖෂධ පැවතිය හැකි බව ත් මේ හේතුවෙන් එය රට පුරා පවතින ඖෂධ හිඟයක් නොවන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සැපයුම්කරුවන්ගේ දුර්වලතා ද ඖෂධ හිඟයන් ඇති වීමට බලපා ඇති බව ත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

'විසඳුම ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වා ගෙන යාම'

අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, පවතින ගැටළුවට විසදුම ආරක්ෂිත තොග පවත්වා ගෙන යෑම බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පවතින ගැටලුවට විසදුම ආරක්ෂිත තොග පවත්වා ගෙන යාම බව ය

අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, පවතින ගැටලුවට විසදුම ආරක්ෂිත තොග පවත්වා ගෙන යාම බව ය.

ඒ අනුව, දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සහය පවතින්නේ මාස 3-6 අතර ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ගෙන යන බව ද ඔහු සඳහන් කළේ ය.