'දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ' වකුගඩු අලෙවි කරන ගම්වැසියන්

- Author, බීබීසී බුරුම සේවය
"මට මගේ ම කියල ගෙයක් ගන්න සහ මගේ ණය ගෙවලා ඉවර කර ගන්න ඕන වුණා. ඒ නිස යි මම මගේ වකුගඩුවක් විකුණන්න තීරණය කළේ, මියන්මාරයේ ගොවි කම්කරුවෙකු වන සෝයි පවසයි.
සිවිල් යුද්ධයක් ඇති වීමට තුඩු දුන් 2021දී සිදු වූ කුමන්ත්‍රණයකින් අනතුරුව මියන්මාරයේ ජීවන වියදම දරුණු ලෙස ඉහළ ගියේ ය. ඔහුට තම දරු පවුල පෝෂණය කිරීමට අපහසු වූ අතර ඔහු දැඩි ණය බරකින් පෙළිණි.
ඔවුන් සියලු දෙනා ම ජීවත් වූයේ, ඔහුගේ නැන්දම්මාගේ නිවසේ ය. එය රටේ විශාලතම නගරය වන යැංගොන් සිට පැය කිහිපයක් දුරින් පිහිටි ගුරු පාරවල් සහිත පිදුරු සෙවිලි කළ නිවාස සහිත ගම්මානයකි.
සෝයි [අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා සඳහා නම වෙනස් කර ඇත] තම වකුගඩුවක් විකුණා දැමූ ප්‍රදේශවාසීන් ගැන දැන සිටියේ ය. "මට එයාලව නිරෝගීව පෙනුණා," ඔහු පවසයි. ඒ අනුව, ඔහු ඒ පිළිබඳව විපරම් කර බලන්නට විය.
ඔහු ඉන්දියාවට ගොස් වකුගඩුවක් විකුණා දැමූ බව බීබීසී බුරුම සේවයට පැවසූ එම ප්‍රදේශයේ අට දෙනාගෙන් කෙනෙකි.
නීති විරෝධී අවයව වෙළෙඳාම ආසියාව පුරා පවතින ගැටලුවක් වන අතර, සෝයිගේ කතාව එය සිදුවන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙයි.
අවයව වෙළෙඳාමට අවශ්‍ය මග සකසා ගැනීම
මියන්මාරයේ සහ ඉන්දියාවේ මිනිස් අවයව මිල දී ගැනීම හෝ විකිණීම නීති විරෝධී ය. නමුත් ඔහු පවසන්නේ තමාට වැඩි මහන්සියකින් තොරව "තැරැව්කරුවෙකු" ලෙස හඳුන්වන මිනිසෙකු හමු වූ බව ය.
ඔහු පවසන්නේ එම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර දුන් බව ය. අනතුරුව සති කිහිපයකට පසු, වකුගඩුවක් අවශ්‍ය කෙනෙකු, එනම්, බුරුම කාන්තාවක හමු වූ බවට ත් ඔවුන් දෙදෙනාට ම සැත්කම සඳහා ඉන්දියාවට යා හැකි බවට ත් ඔහු තමා වෙත පැවසූ බව සෝයි පවසයි.
ඉන්දියාවේ, පරිත්‍යාගශීලියා සහ ලබන්නා සමීප ඥාතීන් නොවේ නම්, ඔවුන් චේතනාව පරාර්ථකාමී බව පෙන්නුම් කර ඔවුන් අතර සම්බන්ධතාව ගැන පැහැදිලි කළ යුතු ය.
සෝයි පවසන්නේ, තැරැව්කරු විසින් මියන්මාරයේ සෑම නිවසක ම තිබිය යුතු පවුලේ සාමාජිකයින්ගේ විස්තර ලැයිස්තුගත කර ඇති ලියවිල්ලක් ව්‍යාජ ලෙස සකස් කරන ලද බව ය.
"තැරැව්කරු මගේ නම ලබන්නාගේ පවුල් ගසට ඇතුළත් කළා," ඔහු පැහැදිලි කරයි.
ඔහු පවසන්නේ තැරැව්කරු තමා විවාහයෙන් නෑදෑ වෙන අයෙකුට වකුගඩුව පරිත්‍යාග කරන බවක් පෙනෙන්නට සැලැස්වූ බව ය. "ලේ ඥාතියෙකු නොවන නමුත් දුර ඥාතියෙකු වන කෙනෙක්".

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුව, ඔහු පවසන පරිදි, තැරැව්කරු තමාව යැන්ගොන්හි වකුගඩුව ලබන්නා හමුවීමට රැගෙන ගියේ ය. එහිදී, ඔහු පවසන්නේ, තමා වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා ගත් මිනිසෙක් තවත් ලිපි ලේඛන කිහිපයක් සම්පූර්ණ කළ බව ත්, මෙම ගනුදෙනුවෙන් ඔහු ඉවත් වුවහොත් සැලකිය යුතු ගාස්තුවක් ගෙවීමට සිදුවන බවට අනතුරු ඇඟවූ බව ත් ය.
පසුව බීබීසීය මෙම පුද්ගලයා සම්බන්ධ කර ගත් අතර, ඔහු පැවසුවේ ඔහුගේ කාර්යභාරය වූයේ රෝගියා ශල්‍යකර්මයට භාජනය වීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම මිස පරිත්‍යාගශීලියා සහ ලබන්නා අතර සම්බන්ධතාව පරීක්ෂා කිරීමට නොවන බව ය.
සෝයි පවසන්නේ, තමාට මියන්මාර කියාට් මිලියන 7.5ක් ලැබෙන බව පැවසූ බව ය. පසුගිය වසර කිහිපය තුළ මෙය ඩොලර් 1,700ත් 2,700ත් අතර අගයක් විය. කුමන්ත්‍රණයෙන් පසු නිල නොවන විනිමය අනුපාතය උච්චාවචනය වී ඇත.
සැත්කම සඳහා ඔහු උතුරු ඉන්දියාවට ගුවන් මගින් ගමන් කළ බව ත් එය විශාල රෝහලක සිදු වූ බව ත් ඔහු පවසයි.
ඉන්දියාවේ විදේශීය ජාතිකයන් සම්බන්ධ සියලු ම අවයව බද්ධ කිරීම් රෝහල හෝ පළාත් පාලන ආයතනය විසින් පිහිටුවන ලද 'අවසර දීමේ කමිටුවක්' ලෙස හඳුන්වන මණ්ඩලයක් විසින් අනුමත කරනු ලැබිය යුතු ය.
සෝයි පවසන්නේ පරිවර්තකයෙකු හරහා පුද්ගලයන් හතර දෙනෙකු පමණ තමා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බව ය.
"මගේ වකුගඩුව බලහත්කාරයෙන් ද දෙන්නේ නැත්නම් කැමැත්තෙන් ම ද ඇයට පරිත්‍යාග කරන්නේ කියලා ඔවුන් මගෙන් ඇහුවා," ඔහු පවසයි.
ලබන්නා ඥාතියෙකු බව ත්, පසුව බද්ධ කිරීම සඳහා අනුමැතිය ලැබුණු බව ත් ඔහු පැහැදිලි කළේ ය.
සිහිය නැති වීමට පෙර වෛද්‍යවරුන් නිර්වින්දනය ලබා දුන් ආකාරය සෝයිගේ මතකයේ ඇත.
"ශල්‍යකර්මයෙන් පස්සේ ලොකු ගැටලු කිසිවක් තිබුණේ නැහැ. හැබැයි මට එහෙ මෙහෙ හැරෙද්දී වේදනාවක් ආවා," යැයි ඔහු පවසන්නේ තමා අනතුරුව සතියක පමණ කාලයක් රෝහලේ රැඳී සිටි බව ද පවසමිනි.
' ව්‍යාජ මවක්'
තවත් පරිත්‍යාගශීලියෙකු වන මයෝ වින් [ඔහුගේ සැබෑ නම නොවේ] බීබීසීයට පැවසුවේ, ඔහු ද ආගන්තුකයෙකුට ඥාතියෙකු ලෙස පෙනී සිටි බව ය.
"තැරැව්කාරයා මට කඩදාසි කෑල්ලක් දුන්නා සහ ඒකේ ලියලා තිබුණු දේ මට කටපාඩම් කරගන්න සිද්ධ වුණා," යැයි ඔහු පවසයි. [වකුගඩුව] ලබන්නා ඔහුගේ ඥාතියෙකු සමග විවාහ වී සිටින බව පවසන ලෙස ඔහුට පැවසූ බව ඔහු තවදුරටත් පැවසීය.
"මගේ වැඩේ තක්සේරු කරන පුද්ගලයා මගේ අම්මටත් කතා කළා. නමුත් තැරැව්කාරයා ඒකට බොරු අම්මා කෙනෙක් සූදානම් කරලා තිබුණේ," ඔහු පවසයි. ඇමතුමට පිළිතුරු දුන් කාන්තාව තම අවසරය ඇතිව ඔහුගේ වකුගඩුව ඥාතියෙකුට පරිත්‍යාග කරන බව තහවුරු කළේ යැයි ඔහු පවසයි.
සෝයිට ලැබුණු මුදල ම තමාටත් පිරිනැමූ අතර එය "පුණ්‍ය පරිත්‍යාගයක්" ලෙස විස්තර කර ඇති බව ත්, එයින් 10%ක් පමණ තැරැව්කරුට ගෙවීමට සිදු වූ බව ත් මයෝ වින් පවසයි.
ඔවුන් දෙදෙනා ම පවසන්නේ තමන්ට එම මුදලින් තුනෙන් එකක් කලින් ලබා දුන් බව ය. ශල්‍යාගාරයට ඇතුළු වන විට තම සිතුවිලිවල තිබුණේ මෙය බව මයෝ වින් පවසයි: "මම එයාලගේ සල්ලි අරන් ඉවර නිසා ඒක කරන්න ම ඕන කියලා මම හිතාගත්තා."
තම ණය සහ බිරිඳගේ වෛද්‍ය ප්‍රතිකාර සමග පොරබදමින් සිටි නිසා "මෙම දුෂ්කර මාර්ගය තෝරා ගත්" බව ඔහු තවදුරටත් පවසයි.
කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ විරැකියාව ඉහළ ගොස් ඇති අතර, විදේශීය ආයෝජකයෝ රටින් ඉවත්ව යමින් සිටිති. 2017දී ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළිණි. නමුත් 2023 වන විට මෙය අඩක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඒජන්සිය වන UNDP පවසයි.
තම වකුගඩුව විකිණීම නීති විරෝධී බව තැරැව්කරු තමාට නොකියූ බව මයෝ වින් පවසයි. "එයා ඒක කිව්වා නම් මම ඒක කරන්නේ නැහැ. දැන් මම හිරේ වැටෙයි කියලා මට බයයි," ඔහු පවසයි.
සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවන්ගේ නිර්නාමිකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා බීබීසී කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයෙකු නම් නොකරයි.
කෙසේ වෙතත්, මියන්මාරයේ තවත් නිර්නාමිකව කතා කරන පුද්ගලයෙකු බීබීසීයට පැවසුවේ ඉන්දියාවේ සැත්කම් මගින් වකුගඩු මිල දී ගැනීමට හෝ විකිණීමට පුද්ගලයින් 10 දෙනෙකුට පමණ උදව් කළ බව ය.
මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේහි "ඒජන්සියකට" එම මිනිසුන් යොමු කළ බවත්, එහිදී අවශ්‍ය දෑ සූදානම් කළ බවත් ඔහු පැවසීය.
"ඒත් පරිත්‍යාගශීලීන් ගැන කරදර වෙන්න එපා," ඔහු පැවසීය. "අපි ගාව වකුගඩු පරිත්‍යාග කිරීමට පෝලිමේ සිටින පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුවක් තියෙනවා."
ආගන්තුකයන් විවාහයෙන් සම්බන්ධ බවට පෙන්වීම සඳහා ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ඔහු ද පැවසීය. ඔහු ලබා දුන් උපකාරයට මුදල් ලැබුණේ දැයි විමසූ විට ඔහු පිළිතුරු ලබා නොදුන්නේ ය.
ඉන්දියාවේ සිදුවූ අත්අඩංගුවට ගැනීම්
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, 2010 සිට ලොව පුරා අවයව බද්ධ කිරීම් 50%කට වඩා වැඩි වී ඇති අතර, වාර්ෂිකව 150,000ක් පමණ සිදු කරනු ලැබේ. නමුත් එහි සඳහන් වන්නේ අවයව සැපයුම ගෝලීය අවශ්‍යතාවයෙන් සපුරාලන්නේ 10%ක් පමණ බව ය.
මිනිස් ශරීර කොටස් වෙළෙඳාම් කිරීම සෑම රටක ම පාහේ නීති විරෝධී වන අතර එය තක්සේරු කිරීම දුෂ්කර ය. 2007දී, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කළේ, බද්ධ කරන ලද අවයවවලින් 5-10%ක් කළු වෙළෙඳපොළෙන් ලැබුණු බව ය. නමුත් එම අගය ඊට වඩා වැඩි විය හැකි ය.
දරිද්‍රතාවය නිසා සිදුවන නීති විරෝධී වකුගඩු වෙළෙඳාම මෑත වසරවල දී ආසියාව පුරා එනම් නේපාලය, පකිස්ථානය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල්වලින් වාර්තා වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාව දිගු කලක් වෛද්‍ය සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් වී ඇති අතර, මාධ්‍ය වාර්තා සහ මෑත කාලීන පොලිස් පරීක්ෂණයකින් පසුව, වකුගඩු අලෙවිය පිළිබඳ එරට ගැන ඇති කනස්සල්ල ඉහළ යමින් පවතී.
පසුගිය ජූලි මාසයේදී ඉන්දීය පොලිසිය පැවසුවේ, වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දීය වෛද්‍යවරියක සහ ඇගේ සහායිකාව ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.
පොලිසිය චෝදනා කරන්නේ මෙම කණ්ඩායම දුප්පත් බංග්ලාදේශ ජාතිකයින්ට ඔවුන්ගේ වකුගඩු විකිණීමට කටයුතු සිදු කළ බව ත්, බද්ධ කිරීම් සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි භාවිත කළ බවත් ය.
දිල්ලියේ කීර්තිමත් ඉන්ද්‍රප්‍රස්ථා ඇපලෝ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය විජය රාජකුමාරි, කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි යථාර්ත් නම් වෙනත් රෝහලක බාහිර වෛද්‍යවරියක ලෙස මෙම සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වී විය.
ඇයගේ නීතිඥවරයා බීබීසීයට පැවසුවේ, එම චෝදනා "සම්පූර්ණයෙන් ම පදනම් විරහිත සහ ඒවා සඳහා සාක්ෂි නොමැතිව" බව ය. එමෙන් ම, ඇය සැත්කම් සිදු කළේ, අවසර ලබා දීමේ කමිටු විසින් අනුමත කරන ලද ඒවා පමණක් බව ත්, ඇය සෑම විට ම නීතියට අනුකූලව කටයුතු කළ බව ත් ය.
යථාර්ත් රෝහල බීබීසීයට පැවසුවේ, ඔවුන්ගේ සියලු ම සැත්කම්, බාහිර වෛද්‍යවරුන් විසින් කළමනාකරණය කරනු ලබන ඒවා ද ඇතුළුව, "නීතිමය හා සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා අපගේ ශක්තිමත් ප්‍රොටෝකෝලයන්ට යටත් වේ," යනුවෙනි.
"අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අපි අපගේ ක්‍රියාවලීන් තවදුරටත් වැඩිදියුණු කර තිබෙනවා," රෝහල පැවසීය.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇපලෝ රෝහල පැවසුවේ, වෛද්‍ය රාජකුමාරි ගාස්තු-සඳහා-සේවා පදනම මත සේවය කරන නිදහස් වෛද්‍යවරියක බවත් ඇය සමග සිදු කළ සියලු සායනික කටයුතු නවතා දැමූ බව ත් ය.
වෛද්‍ය රාජකුමාරිට අධිකරණයෙන් චෝදනා එල්ල වී නොමැත.
'කණගාටුවක් නැහැ'
පසුගිය අප්‍රේල් මාසයේදී, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉන්දියානු ප්‍රාන්තවලට ලිපියක් යවමින් විදේශිකයන් සම්බන්ධ අවයව බද්ධ කිරීම් "ඉහළ යාමක්" ගැන අනතුරු අඟවා ඒ සඳහා වඩා හොඳ අධීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ඉන්දියානු නීතිය යටතේ, අවයව පරිත්‍යාග කිරීමට හෝ ලබා ගැනීමට කැමති විදේශීය ජාතිකයින් සතුව, පරිත්‍යාගශීලියා සහ ලබන්නා අතර සම්බන්ධතාව පෙන්වන ලියකියවිලි ද ඇතුළු ලියකියවිලි තිබිය යුතු අතර ඒවා ඉන්දියාවේ ඔවුන්ගේ රටේ තානාපති කාර්යාලය මගින් සත්‍යාපනය කර තිබිය යුතුය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසීය, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික අවයව හා පටක බද්ධ කිරීමේ සංවිධානය මෙන් ම මියන්මාරයේ මිලිටරි රජය ද සම්බන්ධ කර ගත් නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.
මියන්මාරයේ මහජන සෞඛ්‍ය ක්‍රියාකාරිකයෙකු වන වෛද්‍ය තුරයින් හ්ලයිං වින් පැවසුවේ: "නීතිය ක්‍රියාත්මක කිරීම සාර්ථක නැහැ," යනුවෙනි.
ශල්‍යකර්මයේදී රුධිර වහනය වීම සහ අනෙකුත් අවයවවලට හානි වීම ඇතුළු අවදානම් පිළිබඳව පරිත්‍යාගශීලීන් දැනුවත් විය යුතු බව ත්, නිසි පසු විපරම් සත්කාර අවශ්‍ය බව ත් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බීබීසීයට අවසන් වරට සෝයි ගැන අසන්නට ලැබුණේ, ඔහුගේ සැත්කමින් මාස කිහිපයකට පසු ය.
"මගේ ණය පියවන්න මට පුළුවන් වුණා, ඉඩම් කෑල්ලකුත් මිල දී ගත්තා," ඔහු පැවසීය.
නමුත් ඔහුට නිවසක් තැනීමට එය ප්‍රමාණවත් නොවූ බව ත් සැත්කමෙන් සුවය ලබන අතරතුර නිවසක් තැනීමට නොහැකි වූ බව ත් ඔහු පැවසීය. ඔහු පැවසුවේ ඔහු කොන්දේ වේදනාවකින් පීඩා විඳි බව ය.
"මට ඉක්මනින් ම වැඩ පටන් ගන්න වෙනවා. අතුරු ආබාධ නැවත ඇති වුණොත්, මට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට ඒ ගැන කණගාටුවක් නැහැ," ඔහු තවදුරටත් පැවසීය.
ඔහු පැවසුවේ, තමා ටික කලක් [වකුගඩුව] ලබා ගත් කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වූ බව ත්, ඇය ඔහුගේ වකුගඩුව සමග හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බව ඔහුට පැවසූ බව ත් ය.
නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත කතා කරමින් ඇය බීබීසීයට පැවසුවේ, ඇය සම්පූර්ණ වශයෙන් කියාට් මිලියන 100ක් (මෑත වසරවලදී ඩොලර් 22,000ත් 35,000ත් අතර) ගෙවා ඇති බව ය.
සැත්කමෙන් මාස හයකට පසු, මයෝ වින් බීබීසීයට පැවසුවේ ඔහු තම ණයවලින් සියල්ල නැතත් ඉන් බොහොමයක් ගෙවා ඇති බව ය.
"මට රැකියාවක් නැහැ, සතයක්වත් ඉතුරු වෙලත් නැහැ," ඔහු පැවසුවේ සැත්කමෙන් පසු ඔහුට උදරයේ යම් යම් ගැටලු ඇති වූ බව ද පවසමිනි.
ඔහුට කිසිදු පසුතැවිල්ලක් නොමැති බව පැවසූ නමුත් පසුව මෙසේ පැවසීය: "මම අනිත් අයට කියන්නේ මේක කරන්න එපා කියලා. ඒක හොඳ නැහැ."










