යුරෝපයේ කුප්‍රකට ම මිනිස්-ජාවාරම්කරුවා සොයා අප ගිය ගමන

Scorpion aka Barzan Majeed
    • Author, සූ මිචෙල් සහ බෙන් මිල්න්
    • Role, බීබීසී පුවත්

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් තුළ, යුරෝපයේ කුප්‍රකට ම මිනිස් ජාවාරම්කරුවෙකු සමග මම මුහුණට මුහුණ බලා හිඳගෙන සිටිමි.

ඔහු නමින් බර්සාන් මජීඩ් වන අතර ඔහු එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක පොලිසිය සහ ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටින පුද්ගලෙයකි.

එහිදී සහ පසු දා ඔහුගේ කාර්යාලයේදී සිදුවූ අපගේ සංවාදය අතරතුර ඔහු පැවසුවේ ඉංග්ලිෂ් ඇළ හරහා කොපමණ සංක්‍රමණිකයන් පිරිසක් ඔහු ප්‍රවාහනය කර ඇත් ද යන්න නොදන්නා බව ය.

"සමහර විට දාහක්, සමහර විට 10,000ක්. මම දන් නෑ . මම ගණන් කරන්නේ නැහැ."

මීට මාස කිහිපයකට පෙර අපිට කළ නොහැකි කාර්යයක් ලෙස දුටු දෙයෙහි කූටප්‍රාප්තිය මෙම හමුවීමයි.

සරණාගතයින් සමග කටයුතු කරන හිටපු සෙබළෙකු වන රොබ් ලෝරි සමග මම 'ස්කෝපියන්' ලෙස හඳුන්වන මෙම පුද්ගලයා සොයා ප්‍රශ්න කිරීමට පිටත්ව ගියෙමි.

වසර ගණනාවක් පුරා, ඔහු සහ ඔහුගේ කල්ලිය ඉංග්ලිෂ් ඇළ හරහා බෝට්ටු හා ලොරි මගින් සිදුවන මිනිස්-ජාවාරම් වෙළඳාමේ ආධිපත්‍යය දැරූහ.

2018 වසරේ සිට සංක්‍රමණිකයන් 70කට වැඩි පිරිසක් බෝට්ටු මගින් ඇළ තරණය කිරීමට ගොස් මිය ගොස් තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රංශ වෙරළට ඔබ්බෙන් හත් හැවිරිදි දැරියක් ඇතුළු පස් දෙනෙක් මිය ගියහ.

About 60 migrants cross the English Channel on a small boat, on 06 March 2024.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම වසරකම සංක්‍රමණිකයෝ දස දහස් ගණනක් ඉංග්ලිෂ් ඇළ තරණය කිරීමට උත්සාහ කරති

මෙය භයානක ගමනක් නමුත් ජාවාරම්කරුවන්ට එය මුදල් උපදවන මාර්ගයක් විය හැකි ය.

බෝට්ටු මගින් කිරීම සඳහා ඔවුන්ට පුද්ගලයෙකුගෙන් පවුම් 6,000ක් අය කළ හැකි ය. 2023 වසරේදී පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ඒ සඳහා උත්සහ කිරීමත් සමග ඔවුන් ලද ලාභය කෙතෙක් දැයි පැහැදිලි ය.

ස්කෝපියන් ගැන අපගේ උනන්දුව ඇති වූයේ උතුරු ප්‍රංශයේ පිහිටා ඇති කැලේයි නගරය අසල සංක්‍රමණික කඳවුරකදී අපට හමු වූ කුඩා දැරියක හේතුවෙනි.

සුළං පිරවූ ඩිංගි යාත්‍රාවකින් ඉංග්ලිෂ් ඇළ හරහා යාමට ඇය තැත් කර තිබුණේ මරණයට අත වනමිනි.

එම ඩිංගි යාත්‍රාව මුහුදු යාමට තරම් සුදුසු නොවීය. එය බෙල්ජියමේ භාවිත කර අඩු මිලට මිල දී ගත් යාත්‍රාවක් වූ අතර එහි ගමන් කරමින් සිටි 19 දෙනාට ජීවිතාරක්ෂක ජැකට් පවා නොතිබිණි.

මේ ආකාරයට මිනිසුන් මුහුදට යවන්නේ කවු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් රාජධානියේ පොලිසිය නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන යන විට, ඔවුහු ඔවුන්ගේ ජංගම දුරකතන රැගෙන පරීක්ෂා කරති.

2016 වසරේ සිට එක ම දුරකතන අංකයක් එන්න එන්න ම පෙනෙන්නට තිබුණි.

බොහෝ අවස්ථාවලදී එය "ස්කෝපියන්" යන නමින් දුරකතනයේ ගබඩා කර තිබේ. තවත් අවස්ථාවලදී එය ගෝනුස්සෙකුගේ රූපයක් ලෙස ගබඩා කර ඇත.

එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සියේ (NCA) ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙකු වන මාර්ටින් ක්ලාක් අපට පැවසුවේ “ස්කෝපියන්” යනු බර්සාන් මජීඩ් නම් කුර්දි ඉරාක ජාතිකයෙකු බව නිලධාරීන්ට වැටහී ගිය බව ය.

2006 වසරේදී 20 හැවිරිදි තරුණයෙකු ලෙස මජීඩ් ලොරියක පිටුපසට නැග එක්සත් රාජධානියට හොර රහසේ ඇතුළු වී තිබේ. ඉන් වසරකට පසු එක්සත් රාජධානියේ රැඳී සිටීමට ඔහුට අවසර නොලැබුණ ද ඔහු තවත් වසර කිහිපයක් එහි රැඳී සිටියේ ය. ඒ අතර වසර කිහිපයක් ගිනි අවි සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඔහු සිරගතව සිටියේය.

අවසානයේ ඔහු 2015 වසරේදී එක්සත් රාජධානියේ සිට ඉරාකයට පිටුවහල් කෙරිණි. මෙයින් ටික කලකට පසු, මජීඩ් වෙත බෙල්ජියමේ සිර දඬුවම් විඳිමින් සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාගෙන් මිනිසුන් ජාවාරම් කිරීමේ ව්‍යාපාරයක් “උරුම” වූ බව විශ්වාස කෙරේ.

මජීඩ් ස්කෝපියන් ලෙස ප්‍රසිද්ධයට පත් විය.

2016 සහ 2021 අතර කාලය තුළ ස්කෝපියන්ගේ කල්ලිය යුරෝපය සහ එක්සත් රාජධානිය අතර මිනිස්-ජාවාරම් වෙළෙඳාම් බොහොමයක් පාලනය කර ඇති බවට විශ්වාස කෙරේ.

Barzan Majeed leans on a car he is working on

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මජීඩ් 2012 දී නොටින්හැම් හි මෝටර් රථ කාර්මිකයෙකු ලෙස සේවය කරමින්

වසර දෙකක ජාත්‍යන්තර පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස කල්ලියේ සාමාජිකයින් 26 දෙනෙක් එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ බෙල්ජියමේ අධිකරණවලදී වරදකරුවන් වූහ.

නමුත් ස්කෝපියන් අත්අඩංගුවට පත් වීමෙන් මිදී පළා ගියේ ය.

ඔහු නොමැතිව ඔහුට එරෙහිව බෙල්ජියම් අධිකරණයක නඩුවක් විභාග වූ අතර එහිදී ඔහු මිනිස් ජාවාරම් 121කට වරදකරු විය. 2022 ඔක්තෝබර් මාසයේදී ඔහුට වසර 10ක සිරදඬුවමක් සහ යුරෝ මිලියන 10ක (පවුම් මිලියන 8.58) දඩයක් නියම විය.

එතැන් සිට, ස්කෝපියන් සිටින ස්ථානය ගැන දැන සිටියේ නැත. අපට විසඳීමට අවශ්‍ය වූ අබිරහස මෙයයි.

රොබ් හඳුනන පුද්ගලයෙක් අපට ඉරාන ජාතිකයෙකු හඳුන්වා දුන්නේ ය. ඇළ මාර්ගය හරහා යාමට ගත් උත්සාහයේදී ස්කෝපියන් සමග ගනුදෙනු කළ බව ඔහු පැවසීය. ස්කෝපියන් මෙම ඉරාන ජාතිකයාට පවසා තිබුණේ ඔහු තුර්කියේ සිටින බව ත්, එහි සිට දූරස්ථව තම ව්‍යාපාර කටයුතු සම්බන්ධීකරණය කරන බව ත් ය.

බෙල්ජියමේදී, අපි, දැන් හිරෙන් නිදහස් වී සිටින මජීඩ්ගේ වැඩිමහල් සොහොයුරා සොයා ගියෙමු. ඔහු ද පැවසුවේ, ස්කෝපියන් තුර්කියේ සිටීමට ඉඩ ඇති බව ය.

Barzan Majeed stands with his brothers (whose faces have been blurred)
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කෝපියන් ( බොඳ කර නැත) ඔහුගේ සහෝදරයන් සමඟ - ඡායාරූපයේ දිනය සහ ස්ථානය නොදනී

එක්සත් රාජධානියට යන බොහෝ සංක්‍රමණිකයන් සඳහා, තුර්කිය වැදගත් සංධිස්ථානයකි. එහි පවතින සංක්‍රමණ නීති නිසා, අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග සිට රටට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම සාපේක්ෂව පහසු ය.

ඔත්තුවක් අපව රැගෙන ගියේ මිනිස්-ජාවාරම්කරුවන් නිතර ගැවසෙන ඉස්තාන්බුල්හි ආපන ශාලාවකට ය. බර්සාන් මජීඩ් මෑතකදී එහි සිටිනු දැක තිබිණි.

අප මුලදී සිදු කළ විමසා බැලීම් සාර්ථක නොවීය. වෙළෙඳාම ගැන අපට පැවසීමට හැකිදැයි අපි කළමනාකරුගෙන් ඇසුවෙමු. ආපන ශාලාව ම නිහඬ විය.

වැඩි කල් යන්නට මත්තෙන්, මිනිසෙකු අප සිටි මේසය පසු කර, ඔහු තුවක්කුවක් අතැතිව සිටින බව පෙන්වීමට ඔහුගේ ජැකට්ටුව විවර කළේ ය. එය අප ගනුදෙනු කළේ, භයානක මිනිසුන් සමග බවට වූ සිහිකැඳවීමක් විය.

අපගේ ඊළඟ නැවතුම වඩා ත් යහපත් ප්‍රතිඵල ලබා දුන්නේ ය. ඉන් වීදි කිහිපයක් එහායින් පිහිටි මුදල් හුවමාරු කරන ස්ථානයක මජීඩ් මෑතකදී යුරෝ 200,000ක් (පවුම් 172,000) තැන්පත් කර ඇති බව අපට පැවසී ය. අපි අපේ අංකය ඔවුන්ට ලබා දී පැමිණි අතර මධ්‍යම රාත්‍රියේ රොබ්ගේ දුරකතනය නාද විය.

තිරයේ "දුරකතන අංකය නොපෙන්වන" බව දිස් වූ අතර අනෙක් කෙළවර බර්සාන් මජීඩ් යැයි කියා ගන්නා අයෙක් සිටියේ ය.

බොහෝ රෑ බෝ වී තිබු හෙයිනුත්, එය අනපේක්ෂිත ලෙස පැමිණි හෙයිනුත්, ඇමතුමේ ආරම්භය පටිගත කිරීමට වේලාවක් නොතිබිණි. රොබ් දුරකතනය ඔස්සේ ඇසුණු හඬ සිහිපත් කළේ ය: "ඔහු කියාගෙන ගියා, 'උඹ මාව හොයනවා කියලා මට දැන ගන්න ලැබුණා.' ඊට පස්සේ මම කිව්වා, 'කවු ද මේ? ස්කෝපියන්?' ඔහු කියනවා, 'හා... උඹට මට කතා කරන්න ඕනේ එහෙම ද? ඒක හොඳයි.'"

මේ සත්‍ය බර්සාන් මජීඩ් යැයි පැවසීමට ක්‍රමයක් නොතිබුණ ද ඔහු ලබා දුන් විස්තරය අප දන්නා තොරතුරු සමග ගැළපුණේ ය. 2015 වසරේදී පිටුවහල් කරන තුරු නොටින්හැම්හි ජීවත් වූ බව ඔහු පැවසීය. එහෙත් ඔහු ජාවාරම් ව්‍යාපාරයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළේ ය.

"මේක ඇත්ත නෙවෙයි!" ඔහු විරෝධය පෑවේ ය. "ඒ නිකන් මාධ්‍ය කියන කථා "

දුරකතන මාර්ගයේ දිගින් දිගටම බිඳවැටුම් සිදු වූ අතර අප ආචාර සම්පන්නව කළ ඉල්ලීම් නොතැකු ඔහු, ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලබා නොදුන්නේ ය.

Istanbul by night

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉස්තාන්බුල්: තුර්කිය යුරෝපයට යන සංක්‍රමණිකයන් සඳහා වැදගත් ස්ථානයකි

ඔහු නැවත කතා කරන්නේ කවදා ද, ඔහු එසේ කතා කරනු ඇති ද යන්න සම්බන්ධයෙන් අපට අදහසක් නොතිබිණි. මේ අතර, එරට රොබ් හඳුනන පුද්ගලයෙකු අපට පැවසුවේ, ස්කෝපියන් දැන් තුර්කියේ සිට ග්‍රීසියට සහ ඉතාලියට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරන බව ය.

අපට අසන්න වූ දේ කම්පනකාරී විය. පුද්ගලයන් 12 දෙනෙකු පමණ ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලත් කුඩා යාත්‍රා වෙත පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 100ක් පමණ නංවා තිබිණි.

මෙම යාත්‍රා බොහෝ විට යාත්‍රා කිරීමේ අත්දැකීමක් නොමැති ජාවාරම්කරුවන් විසින් හසුරුවනු ලබන අතර මුර සංචාරවල යෙදෙන වෙරළාරක්ෂක අංශ මග හැරීමට කුඩා දූපත් පොකුරු අතර අනතුරුදායක මාර්ගයක ගමන් කරනු ඇත.

විශාල මුදලක් ඒ සඳහා අවශ්‍ය විය. මෙම එක් බෝට්ටුවක තැනක් වෙන් කර ගැනීම සඳහා මගීන් යුරෝ 10,000 බැගින් ගෙවන බව පැවසේ. පසුගිය වසර 10 තුළ, 720,000කට වැඩි පිරිසක් නැගෙනහිර මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සහ කර ඇතැයි සැලකේ. ඔවුන්ගෙන් 2,500කට ආසන්න පිරිසක් මිය ගියහ. ඉන් බොහෝ දෙනෙක් දියේ ගිලීමෙන් මිය ගියහ.

SOS Mediterranean පුණ්‍යායතනයේ ජූලියා ෂේෆර්මයර් පවසන්නේ, ජාවාරම්කරුවන් මිනිසුන්ගේ ජීවිත විශාල අවදානමක හෙළන බව ය: "මම හිතන්නේ නැහැ, උන්ට මිනිස්සු ජීවත් වුණත්, නැතත් ගාණක් තියෙනවා කියලා."

මේ වන විට අපට මෙම ප්‍රශ්නය ඍජුව ම ස්කෝපියන් වෙත යොමු කිරීමට අවස්ථාව ලැබිණි. එක්වරම නොසිතු මොහොතක, ඔහු නැවතත් අපට කතා කළේ ය.

Coffins lined up in a gymnasium in Crotone, Italy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 පෙබරවාරි: තුර්කියේ සිට ඉතාලිය දක්වා බෝට්ටුවක් හරහා ගමන් කිරීමේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 95 දෙනෙකු මිය ගියේය.

නැවත වරක් ඔහු ජාවාරම්කරුවෙකු බව ප්‍රතික්ෂේප කළේ ය. ඔහු දුන් අර්ථදැක්වීමට අනුව, 'ජාවාරම්කරුවා' යනු එම ක්‍රියාවලිය භෞතිකව සිදු කරන අයෙකු මිස එය රහසිගතව පාලනය කරන අයෙකු නොවෙයි යන්න ඉස්මතු විය.

"ඔයා එතන ඉන්න ඕනේ," ඔහු අප හා පැවසුවේ, "මේ දැනුත් මම එතන නැහැ," යනුවෙන් ද සඳහන් කරමිනි.

ඔහු "මුදල් හසුරුවන පුද්ගලයා" පමණක් බව ඔහු පැවසීය.

මජීඩ් දියේ ගිලී මිය ගිය සංක්‍රමණිකයන් කෙරෙහි එතරම් අනුකම්පාවක් දක්වන බවක් ද නොපෙනිණි.

"දෙවියෝ තමයි [ලියන්නේ] ඔයා මැරෙන්නේ කොහොම ද කියලා. ඒත් සමහර වෙලාවට මේක ඔයාගේ වැරැද්ද," ඔහු පැවසීය. "දෙවියෝ කවදාවත් කියන්නේ නැහැනේ, 'අර බෝට්ටුව ඇතුළට යන්න' කියලා."

අපගේ මීළඟ නැවතුම වූයේ මාමරිස් (Marmaris) සංචාරක නගර යි. එහි ස්කෝපියන් සතුව සුවිසල් නිවසක් තිබුණු බවට තමන් විශ්වාස කළ බව තුර්කි පොලිසිය පැවසුවේ ය. අප ඒ අවටින් තොරතුරු විමසා සිටි අතර එහිදී ඔහුත් සමග මිත්‍රත්වයක් පැවති බව පැවසූ අයෙක් අප ඇමතීය.

Aerial view of Marmaris old town

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කෝපියන්ට තුර්කියේ 'Marmaris' නිවාඩු නිකේතනයේ විලා එකක් ඇති බව විශ්වාස කෙරේ.

මජීඩ් මිනිස් ජාවාරමට සම්බන්ධ බව ඇය දැන සිටි අතර, මෙය ඔහුට ආතතියක් ඇති කළ ද, ඔහුගේ කනස්සල්ල වූයේ මුදල් මිස සංක්‍රමණිකයන්ගේ ඉරණම නොවන බව පැවසුවා ය.

"එයාට ඒ මිනිස්සු ගැන ගාණක් නැහැ - ඇත්තට ම දුකයි නේ ද?" ඇය පැවසීය. "ඒක මම නැවත නැවත හිතන දෙයක් සහ මට ලැජ්ජාවක් දැනෙනවා මොක ද මම... මම අහලා තියෙනව සහ දැනගෙන හිටියා ඒවා හොඳ නැහැ කියලා."

ඔහු ඉරාකයේ සිටිය හැකි බව යමෙකු තමාට පැවසුව ද, මෑතකදී මාමරිස්හි ඔහුගේ නිවසේ ඔහුව දැක නැති බව ඇය පැවසුවා ය.

ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රදේශයේ නගරයක් වන සුලෙයිමානියාහි මුදල් හුවමාරු කරන ස්ථානයකදී ඔවුන් ඇත්ත වශයෙන් ම ස්කෝපියන් දුටු බව පැවසූ තවත් අයෙකු මගින් මෙය සනාථ විය.

අපි පිටත් වීමු. අපිට එහි ස්කෝපියන් සොයා ගැනීමට නොහැකි වුවහොත් උත්සහය අත්හරින බවට අපි තීරණය කළෙමු.

නමුත් රොබ් දැන සිටි පුද්ගලයා ඔහු හා සම්බන්ධතාව පවත්වා ගැනීමට සමත් විය. මුලදී, ඔහු පසු වූයේ ඉතා සැක සහිතව ය. අප කෙසේ හෝ ඔහු ඩැහැගෙන යුරෝපයට ගෙන යාමට සැලසුම් කර ඇතැයි ඔහු කනස්සල්ලට පත්ව සිටියේ ය.

කෙටි පණිවිඩ රැසක් හුවමාරු විය. මුලදී රොබ් දන්නා හඳුනන පුද්ගලයා හරහා සහ පසුව රොබ් විසින් ම පණිවිඩ යොමු කරනු ලැබීය. තමාට ස්ථානය තෝරා ගැනීමට ඉඩ දෙන්නේ නම් පමණක් ඔහු අපව මුණගැසෙන බව ස්කෝපියන් පැවසීය. ඔහු අපව කොටු කර ගනු ඇතැයි යන බිය නිසා අපි එය ප්‍රතික්ෂේප කළෙමු.

එවිට කෙටි පණිවිඩයක් පැමිණ, සරලව මෙසේ අසයි: "ඔයාලා කොහෙ ද ඉන්නේ?"

අප ඒ අසල පිහිටි වෙළෙඳ සංකීර්ණයක් වෙත යමින් සිටින බව ඔහුට පැවසුවෙමු. එහි බිම් මහලේ පිහිටි අවන්හලකදී (coffee shop) අපට ඔහු හමුවන ලෙස ඔහු පැවසීය.

අවසානයේ අපි ඔහු දුටුවෙමු.

Barzan Majeed (Scorpion) sits round a coffee table with Sue Mitchell and Rob Lawrie
ඡායාරූප ශීර්ෂ වැකිය, සූ සහ රොබ් ස්කොපියන්ගේ හමුවීම ඔවුන්ගේ රියදුරු විසින් රහසිගතව රූගත කර තිබේ.

බර්සාන් මජීඩ් ධනවත් ගොල්ෆ් ක්‍රීඩකයෙකු මෙන් දිස් විය. ඔහු නව කළු ඩෙනිම් කලිසමකින්, ලා-නිල් කමිසයකින් සහ කළු පැහැති කබායක් හැඳ ඉතා ආකර්ෂණීය ලෙස සැරසී සිටියේ ය.

ඔහු මේසය මත ඔහුගේ දෑත් තැබූ අතර එවිට ඔහු නියපොතු කපා පිළිවෙලට සකස් කර ඇති ආකාරය මට දිස්විය.

ඒ අතරතුර, තවත් මිනිසුන් තිදෙනෙක් ඒ අසල මේසයක අසුන් ගත්හ. ඒ ඔහුගේ ආරක්ෂක කණ්ඩායම යැයි අපි අනුමාන කළෙමු.

නැවත වරක්, ඔහු අපරාධ සංවිධානයක ඉහළින් ම සිටින ප්‍රබල චරිතයක් වීම ප්‍රතික්ෂේප කළේ ය. අනෙක් කල්ලි සාමාජිකයන් තමා වරදේ පැටලීමට උත්සහ කළ බව ඔහු පැවසීය.

"අත්අඩංගුවට පත් වුණාට පස්සේ මිනිස්සු කියන්නේ, 'අපි වැඩ කරන්නේ එයාට,' කියලා. අඩු දඬුවමක් විඳින්න ඒ අයට ඕනේ."

වෙනත් ජාවාරම්කරුවන්ට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබා දීමත් ඔවුන් ඔවුන්ගේ ජාවාරම් කටයුතු නොනවත්වා ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධයෙන් ඔහු තුළ වූයේ ක්‍රෝධයකි.

"බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් තියාගෙනත්, දවස් තුනකින් එක මිනිහෙක් තුර්කියේ ඉඳලා ඉතාලියට පුද්ගලයින් 170ක් හෝ 180ක් යැව්වා," ඔහු පවසයි. "මට බිස්නස් කරන්න වෙන රටකට යන්න ඕන. මට බැහැ."

සංක්‍රමණික මරණ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම ගැන අපි ඔහුට අවධාරණාත්මකව පැවසූ විට ඔහු දුරකතනයෙන් පැවසූ දේ නැවත කීවේ ය. එනම් ඔහු සිදු කරන්නේ ඔහු මුදල් ලබාගෙන ඒ පුද්ගලයින් සඳහා තැනක් වෙන් කර දීම බව ය.

ඔහුට අනුව, ජාවාරම්කරුවෙකු යනු මිනිසුන් බෝට්ටුවලට සහ ලොරිවලට පටවා ප්‍රවාහනය කරන අයෙකි: "මම කවදාවත් කාවවත් බෝට්ටුවකට දැම්මේ නැහැ, මම කවදාවත් කාවවත් මරන්නේ නැහැ."

සංවාදය අවසන් වූ නමුත් ස්කෝපියන් රොබ්ව වෙත ආරාධනා කළේ ඔහු සුලෙයිමානියාහි මුදල් හුවමාරු කරන ස්ථානය බැලීමට ය.

එය කුඩා කාර්යාලයක් විය. ජනේලයේ අරාබි භාෂාවෙන් යමක් ලියා තිබුණු අතර ජංගම දුරකතන අංක කිහිපයක් ද විය. ගමන් ගාස්තු ගෙවීම සඳහා මිනිස්සු මෙහි පැමිණෙති. රොබ් පැවසුවේ ඔහු එහි සිටිය දී මුදල් පිරවූ පෙට්ටියක් රැගෙන යන මිනිසෙක් දුටු බව ය.

මෙම අවස්ථාවේදී, දහස් ගණනක් මිනිසුන් යුරෝපයට යමින් සිටියදී 2016 වසරේදී ඔහු මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ ආකාරය ගැන ස්කෝපියන් කතා කළේ ය.

"කවුරුවත් ඔවුන්ට බල කළේ නැහැ. ඔවුන්ට තම ඕනේ වුණේ," ඔහු පැවසීය. "ඔවුන් ජාවාරම්කරුවන්ගෙන් අයැද සිටියා, 'අනේ අපි වෙනුවෙන් මේක කරලා දෙන්න,' කියලා. ඇතැම් විට ජාවාරම්කරුවෝ කියන්නේ, ‘දෙවියන්ගේ නාමෙන් මම ඔවුන්ට උදව් කරන්නම් ’ කියලා. ඊට පස්සේ එයාලා පැමිණිලි කරනවා, අරක මේක කියලා...' නෑ, ඒක ඇත්ත නෙවෙයි.

Mugshots of Barzan Majeed, aka Scorpion
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙල්ජියමේ නඩු පවරන්නන්ගේ තොරතුරු පත්‍රිකාව, එහිදී ස්කොපියන් නඩු විභාගයට ලක් වූ අතර ඔහු නොමැතිව දඬුවම් නියම විය.

තමන් 2016 සහ 2019 අතර, බෙල්ජියමේ සහ ප්‍රංශයේ මෙහෙයුම් සිදු කළ ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් කෙනෙකු වූ බව ස්කෝපියන් පැවසූ අතර ඒ වන විට ඔහු ඩොලර් මිලියන ගණනක් හසුරුවා ඇති බව ඔහු පිළිගත්තේ ය.

"මම කළේ ඒ වගේ දේවල්. සල්ලි, තැන්, මගීන්, ජාවාරම්කරුවන්... ඒ සියල්ල අතර මම සිටියා."

ඔහු තවමත් මිනිස් ජාවාරමට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ නමුත් ඔහුගේ ක්‍රියාවන් මෙයට පටහැනි බව පෙනෙන්නට තිබිණි.

ස්කෝපියන් හට එය නොතේරුණ නමුත්, ඔහු තම ජංගම දුරකතනයේ ඉහළ පහළ යන විට ඊට පිටුපස බිත්තියෙන් ඉතා පැහැදිලිව දිස්වුණු දුරකතන තිරය රොබ්ගේ නෙත ගැටුණේ ය.

රොබ්ට දැකගත හැකි වූයේ විදේශ ගමන් බලපත්‍ර අංක ලැයිස්තුවකි. ජාවාරම්කරුවන් මේවා ඉරාක නිලධාරීන්ට යවන බව පසුව අපට දැනගන්නට ලැබිණි. සංක්‍රමණිකයන්ට තුර්කියට යාමට හැකි වන පරිදි ව්‍යාජ වීසා නිකුත් කිරීම සඳහා ඔවුන්ට අල්ලස් දෙනු ලැබේ.

එය අප ස්කෝපියන් දුටු අවසන් අවස්ථාව විය.

සෑම අදියරකදීම අපි අපගේ සොයාගැනීම් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ බලධාරීන් සමග බෙදා ගත්තෙමු.

ස්කෝපියන් වරදකරු කිරීමට සම්බන්ධ වූ බෙල්ජියමේ රජයේ නීතිඥවරයෙකු වන ඈන් ලුකොවියැක් තවමත් බලාපොරොත්තු වන්නේ යම් දවසක ඔහු ඉරාකයෙන් පිටුවහල් කරනු ඇති බව ය.

"ඕන ඕන දේ කරන්න බැහැ කියන සංඥාව යවලා තියෙන එක අපිට වැදගත්," ඇය පවසයි."අවසානයේ අපි කොහොම හරි එයාව අල්ලගන්නවා."