හදවත වැරදි තැනක පිහිටි මිනිස්සු

Bangladeshi woman Monarani Das after the operation

ඡායාරූප මූලාශ්‍රය, MANIPAL HOSPITAL BROADWAY

ඡායාරූප ශීර්ෂ වැකිය, මොනාරානි දාස් හදවත උරස් කුහරයේ දකුණු පැත්තට යොමු වන සංජානනීය දෝෂයක් වන ඩෙක්ස්ට්‍රොකාඩියා රෝගයෙන් පෙළෙන බව හඳුනා ගන්නා ලදී.
    • Author, අමිතාභා බට්ටසාලි
    • Role, බීබීසී බංගලාදේශ
    • Author, අහමන් ඛවාජා
    • Role, බීබීසී ලෝක සේවය

වසර කීපයකට පෙර බංගලාදේශයේ මොනාරාණි දාස්ගේ හදවත දකුණු පැත්තේ රිදීමක් ඇති වූ විට ඇගේ පවුලේ සාමාජිකයින් සිතුවේ, ඇය ආම්ලිකතාව වැඩිවීමෙන් හෝ පපුවේ දැවිල්ලකින් වේදනාවට විඳිනු ඇති බව ය.

52 හැවිරිදි ඇයට සිය රටේ සිට ප්‍රතිකාර සඳහා ඉන්දියවට යාමට සිදුවන, කලාතුරකින් හමුවන අසමාන්‍ය තත්ත්වයක් ඇති බව ඔවුන් දැන සිටියේ නැත.

බීබීසී බංගලාදේශ සේවය සමග මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී දාස් මෙනවිය ඇගේ රෝග ලක්ෂණ ආරම්භ වූ ආකාරය නැවත ආවර්ජණය කළා ය.

"සමහර දවස්වලට මගේ පපුවේ දකුණු පැත්ත රිදෙන්න ගත්තා ම මට හුස්ම ගන්න අපහසු වුණා," ඇය පැවසීය.

ඉන් මද කලකට පසු, ඇය හෘදයාබාධයකින් පීඩා වින්දා ය. ඇගේ හදවත ආශ්‍රිත යම් වෙනසක් පවතින බව වෛද්‍යවරුන්ට අවබෝධ වූයේ, පසුව ඇයට ලැබුණු ප්‍රතිකාරය අතරතුරේදී ය.

"මගේ හදවත පපුවේ දකුණු පැත්තේ තියෙන්නේ කියලා වෛද්‍යවරුන්ට තේරුම් ගියා," දාස් මෙනවිය පවසයි.

ඇයට ආසන්නතම නගරය වන නිරිතදිග සත්කිරා නගරයේ වෛද්‍යවරුන් විසින් ඇයට ඩෙක්ස්ට්‍රොකාර්ඩියා නම් උපතින් ම එන රෝගයක් ඇති බවට හඳුනා ගනු ලැබූ අතර, එහිදී හදවත වම් පැත්තේ නොව දකුණු පැත්තේ පිහිටා ඇති බව වටහා ගැනිණි.

දාස්ට ඩෙක්ස්ට්‍රොකාර්ඩියා සමග, ප්‍රධාන අත්‍යවශ්‍ය අවයවයන් සාමාන්‍ය ස්ථානයන්ගෙන් වෙනස්ව පවතින තවත් දුර්ලභ තත්ත්වයක් වන, "ශරීර අවයවවල ප්‍රතිලෝම පිහිටීම" ද ඇති බව රෝග විනිශ්චය කර තිබේ.

සාමාන්‍ය මානව ව්‍යවච්ඡේද විද්‍යාව හා සසඳන විට සාර්ථක ලෙස ආපසු හැරී ඇති, ඔවුන්ගේ සාමාන්‍ය දකුණ-වම සැකැස්මේ විරුද්ධ පැත්තෙන් ඇගේ අක්මාව, පෙනහලු, ප්ලීහාව සහ ආමාශය සොයාගෙන තිබේ.

අධ්‍යනයන්ට අනුව, සෑම ගැබ් ගැනීම් 12,000කින් 1කට ම ඩෙක්ස්ට්‍රොකාර්ඩියා හට ගැනීමට හැකි ය.

Graphic illustration of congenital disorder with abnormal positioning of the heart and other organs

දාස්ගේ තත්ත්වය යහපත් නොවන බව දැකීමෙන් පසුව, නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ හෘද රෝග විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට ඇගේ පවුලේ සාමාජිකයෝ තීරණය කළහ.

බොහෝ බංග්ලාදේශ පුරවැසියන් විශ්වාස කරන්නේ ඉන්දියාවේ සෞඛ්‍ය පහසුකම් දියුණු බව ය. එක් එක් වසරේදී මිලියන ගණනක් ප්‍රතිකාර සඳහා එහි යන අතර, ඒ ආකාරයෙන් ම දාස් පවුල ද ඇයව ඉන්දියාවට රැගෙන යාමට තීරණය කළේ ය.

ඇය මනිපාල් රෝහලේදී වෛද්‍ය සිද්ධාර්ත් මුඛර්ජී හමුවූ අතර, මේ වසරේ මැයි මාසයේදී ඇය ශල්‍යකර්මයකට භාජනය විය.

"අපි සාමාන්‍යයෙන් දකුණු අත් පාවිච්චි කරන නිසා සහ රෝගියාගේ දකුණු පසින් ශල්‍ය කර්මය සිදු කරන නිසා, ඩෙක්ස්ට්‍රොකාර්ඩියා සහිත රෝගියෙකුට ශල්‍යකර්මයක් සිදු කිරීම තරමක් අපහසු යි," වෛද්‍ය මුඛර්ජි පවසයි.

"මේ සිද්ධියේදී රෝගියාගේ වම් පසින් අපට ශල්‍යකර්මය සිදුකරන්න වුණ එක තරමක් අලුත් දෙයක් වුණත් අපේ කණ්ඩායම ඒ තත්ත්වයට හුරු වුණා."

ශල්‍යකර්මය සාර්ථකව සිදු වූ අතර, දාස් නැවත ඇගේ බංග්ලාදේශයේ නිවසට ගොස් ඇති නමුත් ඉක්මනින් ම පරීක්ෂණ සඳහා නැවත ඉන්දියාවට ආපසු පැමිණෙනු ඇත.

හදවත පිහිටන ස්ථානය වෙනස්වීම

තවත් අසාමාන්‍ය වෛද්‍ය සිදුවීමක් ද මෑතකදී ඉන්දියානු මාධ්‍යවල අවධානයට ලක්විය. මෙවර අවධානය යොමු වූයේ, උපතින් ම හදවත වම් පැත්තේ පිහිටි නමුත් දීර්ඝ කාලයක් පැවති කැස්ස හේතුවෙන් කාලයත් සමග එහි පිහිටීම වෙනස් වූ ඉන්දියානු පිරිමියෙකු දෙස ය.

බටහිර බෙංගාලයේ පදිංචි 66 හැවිරිදි රේසා-උල් කරීම්ගේ හුස්ම ගැනීමේ අපහසුතා නිරන්තරයෙන් වර්ධනය විය.

"මම පොඩි කාලයේ ගොඩක් ක්‍රීඩා කළා. නමුත් සමහර අවස්ථාවලදී මට හුස්ම ගැනීමේ අපහසුතා වගේ ම නිතර ම ගොඩක් කැස්ස තිබුණා," කරීම් බීබීසී බංග්ලාදේශ සේවයට පැවසීය.

"පස්සේ මම අවුරුදු 25ක් විතර දේශපාලනයේ යෙදී සිටියා, ඒ නිසා මට හැම තැන ම යන්න වුණා," ඔහු පවසයි. "මම නිතර ම වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහින් දිනපතා ම ඔහු මට දුන්න බෙහෙත් බිව්වා."

නමුත් අවුරුදු කීපයකට පෙර, ඔහුට ඉතා දුර්වල බවක් දැනීම ආරම්භ වූ බව කරීම් පවසන අතර එය, ඒ පිළිබඳව සැලකිලිමත් වූ ඔහුගේ දියණිය අවසානයේ ඔහුව කොල්කටාහි මෙඩිකා සුපර් ස්පෙෂලිටි රෝහලේ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගිය බව කරීම් පවසයි.

Reza-ul Karim waiting at hospital

ඡායාරූප මූලාශ්‍රය, MEDICA SUPERSPECIALITY HOSPITAL

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමා කාලයේ තිබූ ක්ෂය රෝගී තත්ත්වය නිසා රේසා-උල් කරීම්ගේ හදවත දකුණු පැත්තට මාරු වී ඇති බව වෛද්‍යවරු සොයා ගත්හ.

"මගේ හුස්ම හිරවීම කොච්චරක් ද කියනවා නම් [දණින් වැටී] යාච්ඤා කරලා නැගිටගන්න බැරි වුණා," කරීම් පැවසුවේ ය. "යාච්ඤා කරද්දි මම දෙතුන් පාරක් ක්ලාන්ත වෙලා වැටුණා."

ඔහුට ළමා කාලයේදී ක්ෂය රෝගය වැළඳීමෙන් පසු, ඔහුගේ හදවත වම් පැත්තේ සිට දකුණු පැත්තට මාරු වී ඇති බව වෛද්‍යවරු සොයාගත් හ. ඔහුගේ හදවත නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට උදවුවීමට සහ ඔහුගේ හුස්ම සිරවීමට ප්‍රතිකාර කිරීම සඳහා පේස්මේකර් උපකරණයක් අවශ්‍ය බව ඔවුහු තීරණය කළ හ.

ජුනි මාසයේදී වැඩිදුර විස්තර කිසිවක් නොපවසා, "හදිසි ශල්‍යකර්මයක්" සිදු කිරීම අත්‍යවශ්‍ය බවට කරීම්ගේ පවුලේ සාමාජිකයින්ට දැනගන්නට ලැබී තිබිණි.

එම සැත්කම කෙතරම් දුර්ලභ එකක්දැයි ඔවුන්ට පවසා ඇත්තේ, ඔහුට පේස්මේකර් උපකරණයක් ඇතුළත් කිරීමට සිදු කළ පැය තුනක ශල්‍යකර්මයෙන් පසුව ය.

පේස්මේකර් උපකරණයක් ඇතුළත් කිරීම යනු, [හදවත] ගැහෙන වේගය රෝගියාට අනතුරුදායක විය හැකි ආකාරයෙන් ඉතා මන්දගාමී නොවීමට සහතික වන, හදවතේ මන්දගාමී විද්‍යුත් සංඥා නියාමනය කිරීම සඳහා පපුව තුළ කුඩා ඉලෙක්ට්‍රොනික් උපාංගයක් තැන්පත් කිරීම ය.

File image of doctors conducting surgery on a patient.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පේස්මේකර් උපකරණ සාමාන්‍යයෙන් වම් පැත්තේ පිහිටන හදවත් සඳහා සකස් වී ඇති නිසා, කරීම්ගේ ශල්‍යකර්මය අසාමාන්‍ය එකක් බව වෛද්‍යවරු පැවසූහ.

කරීම්ට ශල්‍යකර්මය කළ වෛද්‍ය දිලීප් කුමාර් පැවසුවේ, පේස්මේකර් උපකරණ සාමාන්‍යයෙන් සකස් කර ඇත්තේ වම් පැත්තේ පිහිටා ඇති හදවත්වලට නිසා මෙම ශල්‍යකර්මය දුර්ලභ එකක් වූ බව ය.

මීට පෙර දකුණු පැත්තේ පිහිටි හදවතක් සඳහා යොදගෙන නොතිබූ ප්‍රේරණ පද්ධති වේග ක්‍රමවේදය (CSP) වෛද්‍ය කණ්ඩායම යොදාගත් බව ඔහු පැවසුවේ ය.

බ්‍රිතාන්‍ය හෘද සංගමයට අනුව CSP යනු, හදවතේ ම ප්‍රේරණ පද්ධතිය යොදාගනිමින් කාර්යක්ෂමව, කායික විද්‍යාත්මකව කෝෂිකා සක්‍රීය කරමින් හෘද චලන මැනීමේ නව ක්‍රමවේදයකි.

සරලව ම කිවහොත්, CSP යනු පේස්මේකර් උපකරණයක් හරහා හදවතේ සාමාන්‍ය ස්පන්ධන රිද්මය පවත්වාගෙන යාමට උත්සහ කිරීමකි.

කරීම් ද ඔහුගේ ශල්‍යකර්මයෙන් පසුව යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු වන අතර ඔහු යථාතත්ත්වයට පත්වීම පරීක්ෂා කිරීම සඳහා ඔහු ඉක්මනින් ම පරීක්ෂණයකට භාජනය කෙරෙනු ඇත. ඔහුගේ වෛද්‍යවරයා පවසන්නේ, ඔහුට තවදුරටත් හුස්ම ගැනීමේ අපහසුතා නැති බවත්, ක්ලාන්ත වීමකින් තොරව පහසුවෙන් යාච්ඤා කිරීමට හැකි බවත් ය.