Mpox ශ්‍රී ලංකාවට ඇතුළු වුණොත් ඉන් වැළකෙන්නේ කොහොමද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන mpox රෝගය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශයට පත් කර තිබේ.
මීට පෙර වඳුරු උණ (මන්කිපොක්ස්) ලෙස හැඳින්වූ අධික බෝ වීමක් පෙන්නුම් කරන මෙම රෝගය වැළඳී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුද්ගලයින් අවම වශයෙන් 450 දෙනෙකු පමණ මිය ගොස් ඇත.
Mpox යනු කුමක් ද සහ රෝග ලක්ෂණ මොනවා ද?
Mpox යනු, වසූරිය බෝ කරන වෛරසය අයත් කාණ්ඩයේ ම වෛරසයකින් වැළඳෙන රෝගයක් වන අතර එය සාමාන්‍යයෙන් වසූරිය තරම් හානි දායක නොවේ.
එය මුලදී සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ නමුත් දැන් මිනිසුන් මඟින් ද සම්ප්‍රේෂණය වෙයි.
මූලික රෝග ලක්ෂණ අතරට උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව සහ මාංශ පේශි වේදනාව ඇතුළත් වේ.

උණ පහව ගිය පසු කුෂ්ඨ ඇති විය හැකි ය. එය බොහෝ විට ශරීරයේ අනෙකුත් කොටස්වලට එනම්, බොහෝ විට අත්ල සහ පාදවලට පැතිර යාමට පෙර මුහුණෙන් ආරම්භ වේ.
දැඩි ලෙස කසනසුලු හෝ වේදනාකාරී විය හැකි මෙම කුෂ්ඨ, අවසානයේ කබොල්ලක් බවට පත්වී හැළී යාමට ප්‍රථම වෙනස් වෙමින් විවිධ අවධීන් පසු කර යයි. ඉන් කැළැල් ඇති විය හැක.
ආසාදනය සාමාන්‍යයෙන් ස්වයංව පහව යන අතර දින 14 සිට 21ක් දක්වා පවතී.
නමුත් ඇතැම් අවස්ථාවලදී, විශේෂයෙන් කුඩා දරුවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා එය මාරාන්තික වේ.
බරපතළ අවස්ථාවන්හිදී, ශරීරය පුරා, විශේෂයෙන් ම මුඛය, ඇස් සහ ලිංගික අවයවවල තුවාල ඇති විය හැකි ය.
Mpox පැතිරෙන්නේ කුමන රටවල ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තරවල පිහිටා ඇති ගම්මානවල, වසර ගණනාවක් තිස්සේ mpox දක්නට ලැබෙන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වැනි රටවල mpox බහුලව හමුවේ.
මෙම කලාපවල, වාර්ෂිකව ආසාදන දහස් ගණනක් සහ මරණ සිය ගණනක් වාර්තා වේ. ඉන් වැඩි ම බලපෑමට ලක්වන්නේ වයස අවුරුදු 15ට අඩු දරුවන් ය.
ප්‍රධාන වශයෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ අසල්වැසි රටවල මේ වන විට උවදුරු කිහිපයක් එකවර පැතිර යමින් පවතී.
සාමාන්‍යයෙන් මෙම රෝගය එතරම් වාර්තා නොවන බුරුන්ඩි, රුවන්ඩා, උගන්ඩා සහ කෙන්යාව යන රටවල ද එය මෑතකදී දක්නට ලැබිණි.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රධාන වශයෙන් mpox වර්ග දෙකකි. බොහෝ විට වඩා ත් බරපතළ වන Clade 1 සහ Clade 2 එම වර්ග වේ.
දශක ගණනාවක් තිස්සේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වරින් වර වාර්තා වුණු රෝග තත්ත්වයන්ට හේතු වුණු Clade 1 වෛරසය දැන් පැතිරෙමින් පවතී.
Clade 1හි ඇතැම් ආකාර වැඩිහිටියන්ට වඩා දරුවන්ට බලපාන බව පෙනේ.
පසුගිය වසරේ ආසාදිතයින් බොහෝ දෙනෙකුට Clade 1b ලෙසින් හැඳින්වෙන, සාපේක්ෂව නව සහ වඩා ත් දරුණු තත්ත්වයේ mpox වෛරසයක් ආදසනය වුණු බැවින් මේ වන විට සැබෑ කනස්සල්ලක් ද පවතී.
විශේෂඥයන් පවසන්නේ, Clade 1b ගැන ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති නමුත් එය වඩා ත් පහසුවෙන් පැතිර යන අතර ම එය ඉන් වඩා ත් බරපතළ ලෙස රෝගී විය හැකි බව ය.
අප්‍රිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) පවසන්නේ, 2024 ආරම්භයේ සිට ජූලි අග දක්වා කාලය තුළ mpox ආසාදන 14,500කට වැඩි ගණනක් සහ mpoxවලින් 450කට අධික මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බව ය. එය 2023 වසරේ එම කාලය හා සසඳන විට ආසාදනවල 160%ක වැඩිවීමක් සහ මරණ 19%ක වැඩිවීමකි.
මීට පෙර 2022දී mpox මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරුණේ සාපේක්ෂ වශයෙන් තරමක් මෘදු Clade 2 හේතුවෙනි.
යුරෝපයේ සහ ආසියාවේ රටවල් කිහිපයක් ඇතුළුව සාමාන්‍යයෙන් වෛරසය දක්නට නොලැබෙන රටවල් 100කට ආසන්න ගණනකට එය ව්‍යාප්ත විය. නමුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් එන්නත් කිරීමෙන් එය පාලනය කෙරිණි.
Mpox පැතිරෙන්නේ කෙසේ ද?
Mpox ආසාදනය වී ඇති අයෙකු සමග ලිංගිකව හැසිරීමේදී, සමෙන් සම ගැටීමේදී සහ රෝගී පුද්ගලයෙකුට සමීපව කතා කිරීම හෝ හුස්ම ගැනීම ඇතුළුව සමීප සම්බන්ධතා පැවැත්වීම හරහා එය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙයි.
තුවාල වුණු සම, ශ්වසන පද්ධතිය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වෛරසය ශරීරගත විය හැකිය ය.
ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් සහ තුවා වැනි වෛරසයෙන් කිළිටි වුණු වස්තූන් ස්පර්ශ කිරීමෙන් ද එය පැතිර යා හැකි ය.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම තවත් මාර්ගයකි.
2022 ගෝලීය උවදුර අතරතුර, වෛරසය බොහෝ දුරට පැතිර ගියේ ලිංගික සම්බන්ධතා හරහා ය.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙම රෝගය පැතිර යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, ලිංගික සම්බන්ධතා සහ වෙනත් සමීප සම්බන්ධතා ය.
කුඩා දරුවන් ඇතුළු අනෙකුත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර ද එය සොයාගෙන ඇත.
වඩා ත් ම අවදානමට ලක්ව ඇත්තේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෞඛ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ඇතුළුව රෝග ලක්ෂණ ඇති අයෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන ඕනෑ ම කෙනෙකුට වෛරසය ආසාදනය විය හැකි ය.
වඩා ත් අවදානමට ලක්ව ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව වැඩි අවබෝධයක් ගැනීම සඳහා විශේෂඥයෝ තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිති.
විශේෂයෙන් ම අවදානමට ලක්වන කණ්ඩායම් අතර කුඩා දරුවන් සිටින්නේ, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින නිසා ත්, කලාපයේ බොහෝ දෙනෙකුට දුර්වල පෝෂණයක් ඇති නිසා ත් හේතුවෙන් රෝගයට එරෙහිව සටන් කිරීම අපහසු වන නිසා ත් විය හැකි ය.
ඇතැම් විශේෂඥයින් යෝජනා කරන්නේ, කුඩා දරුවන් එකිනෙකා සමග සමීපව ක්‍රීඩා කරන ආකාරය සහ ක්‍රියා කරන ආකාරය නිසා අවදානමට ලක්විය හැකි බව ය.
වැඩිහිටියන්ට යම් ආරක්ෂාවක් ලබා දිය හැකි දශක හතරකට පෙර නවතා දැමූ වසූරිය එන්නත සඳහා ප්‍රවේශය ද ඔවුන්ට නැතිවනු ඇත.
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති ඕනෑ ම අයෙකු මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබිය හැකි අතර ගැබිනි කාන්තාවන්ට වැඩි අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් පවතී.
උපදෙස් වන්නේ mpox වැළඳී ඇති ඕනෑ ම අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීම සහ වෛරසය ඔබේ ප්‍රජාව තුළ තිබේ නම් සබන් හා වතුරෙන් ඔබේ දෑත් පිරිසිදු කිරීම ය.
Mpox ඇති පිරිස් ඔවුන්ගේ සියලු ම තුවාල පහව යන තුරු අන් අයගෙන් හුදෙකලාව සිටිය යුතු ය.
සුවය ලැබීමෙන් පසු සති 12ක් යන තුරු ලිංගිකව එක්වීමේදී පූර්වාරක්ෂක පියවරක් ලෙස ලෙස උපත් පාලන කොපුවක් භාවිත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Mpox එන්නතක් තිබේ ද?
එන්නත් පවතින නමුත් සාමාන්‍යයෙන් එන්නතක් ලබා ගත හැක්කේ අවදානමට ලක්ව ඇති හෝ ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ට පමණි.
අවශ්‍ය සියලු දෙනා වෙත ළඟා වීමට එන්නත් සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම පිළිබඳව සැබෑ කනස්සල්ලක් පවතී.
එම එන්නත් විධිමත් ලෙස අනුමත කර නොමැති වුව ද හදිසි භාවිතය සඳහා තම mpox එන්නත් ඉදිරිපත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
දැන් අප්‍රිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන මහාද්වීපය පුරා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, රජයන්ට ඔවුන්ගේ ප්‍රතිචාරය සම්බන්ධීකරණය කිරීමට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට වෛද්‍ය සැපයුම් සහ ආධාර ගලායාම වැඩි කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීය ක්‍රියාමාර්ගයකින් තොරව වත්මන් උවදුරු තත්ත්වය මහාද්වීපයෙන් ඔබ්බට පැතිර යා හැකි බවට සැබෑ සැලකිල්ලක් පවතී.













