සරම්ප ගෝලීය වසංගතයක් වෙයි ද? ඉන් වැළකෙන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2023 වසර අවසානයේ සිට සරම්ප රෝගයෙන් දරුවන්ට ඇති වන තර්ජනය අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන ඇමෙරිකානු මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරෙන්නේ, එම රෝගයට එරෙහි එන්නත්කරණය වසර ගණනාවක් තිස්සේ බිඳ වැටී ඇති මොහොතක ය.
රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන ඇමෙරිකානු මධ්‍යස්ථානය (CDC) සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, වර්තමානයේ ලෝකයේ සෑම කලාපයක ම සරම්ප වසංගත තත්ත්වය පවතින බව ය. වැඩි ම ජනගහනයකට සරම්ප වෛරසය ආසාදනය වී ඇති රටවල් වන්නේ යේමනය, ඉන්දියාව සහ කසක්ස්ථානය යි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රෝග පාලනය සඳහා වන ඇමෙරිකානු මධ්‍යස්ථානයේ අලුත් ම ඒකාබද්ධ වාර්තාවක දැක්වෙන්නේ, 2021 වසරට සාපේක්ෂව, 2022 වසරේදී ගෝලීය වශයෙන් සරම්ප ආසාදනය වූවන්ගේ ප්‍රතිශතය 18%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ ප්‍රතිශතය 43%ක් දක්වා ඉහළ ගොස් තිබේ යන්නයි. මෙය ඇස්තමේන්තුගත සරම්ප රෝගීන් සංඛ්‍යාව - විශාල වශයෙන් ළමුන්, මිලියන 9 දක්වා සහ මරණ 136,000 දක්වා ඉහළ දැමීය.
පසුගිය වසරේ යුරෝපය තුළ සරම්ප රෝගීන්ගේ 30 ගුණයක "භයානක" වැඩිවීමක් පැවති බව WHO පවසයි. 2022 වසරේ මුළු කාලය තුළ යුරෝපා මහද්වීපය පුර සරම්ප රෝගීන් 941 දෙනෙකුට සාපේක්ෂව, 2023 වසරේදී පුද්ගලයින් 30,000කට වඩා සරම්ප ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.

සරම්ප රෝග ලක්ෂණ මොනවා ද?
සාමාන්‍ය සරම්ප රෝග ලක්ෂණ මෙසේ ය:
- තද උණ
- ඇස් ඉදිමීම, රත් පැහැ වීම සහ කඳුළු ගැලීම
- කැස්ස සහ කිවිසුම් යාම
- තෙහෙට්ටුව
- මුඛය තුළ කුඩා සුදු පැහැති ගැටිති හට ගැනීම
- රතු හෝ දුඹුරු පැහැති දද, සාමාන්‍යයෙන් කැසීමක් ඇති නොවන අතර මූලික රෝග ලක්ෂණවලින් පසුව මතු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිරුර පුරා ව්‍යාප්ත වීමට පෙර මූලික වශයෙන් මුහුණ සහ කණ පසුපස ප්‍රදේශවල කුෂ්ට හට ගනී.
කළු සහ දුඹුරු සම මත එම කුෂ්ඨ පැහැදිලිව නොපෙනේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පොදු සංකූලතා වන්නේ, කණ ආශ්‍රිත ආසාදන සහ පාචනය යි.
ඇතැම් පුද්ගලයෝ න්‍යුමෝනියාව, එන්සෆලයිටිස් (මොළය ඉදිමීම) සහ අන්ධභාවය වැනි බරපතළ සංකූලතාවලට ලක්වෙති.
සරම්ප ව්‍යාප්ත වන්නේ කෙසේ ද?
ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් යවන විට පිටවන කුඩා දියර බිඳිති තුළ වෛරසය තිබිය හැකි ය.
එම දියර බිඳිති ආශ්වාස කිරීමෙන් සරම්ප ආසාදනය විය හැකි ය. එසේ නැතහොත්, එම දියර බිඳිති ස්පර්ශ කර ඔබේ දෑත් නාසය හෝ මුඛය ප්‍රදේශයේ ස්පර්ශ කිරීමෙන් ද එය ආසාදනය විය හැකි ය.
සරම්ප වැළඳුණු පුද්ගලයින්ට, කුෂ්ඨය මතු වී දින හතරක් ගත වන තෙක් ආසාදිත තත්ත්වය බලපානු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
MMR එන්නත
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝග පාලනය සඳහා වන ඇමෙරිකානු මධ්‍යස්ථානය, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සහ ලෝකය පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, සරම්ප යනු අතිශයින් ම ස්පර්ශයෙන් වැළඳෙන රෝගයකි. රෝග පාලනය සඳහා වන අමෙරිකානු මධ්‍යස්ථානය පවසන්නේ, ආරක්ෂිත නොවන පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ම සරම්ප වෛරසයට නිරාවරණය වූ පසු එය ආසාදනය වන බව ය.
සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (MMR) එන්නතෙන් මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් සරම්ප ආසාදනය වළක්වා ගත හැකි ය.
සරම්ප රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති රටවල දරුවන්ට MMR එන්නතේ පළමු මාත්‍රාව මාස 9යේදී ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. එම සංවිධානය පවසන්නේ, දෙවන මාත්‍රාව සාමාන්‍යයෙන් මාස 15-18 පසුවද්දී ලබා දිය යුතු බව ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කියයි: "1963 වසරේදී සරම්ප එන්නත හඳුන්වා දීමට පෙර සහ එන්නත්කරණය පුළුල් කිරීමට පෙර, දළ වශයෙන් සෑම වසර දෙක තුනකට වරක් වසංගත තත්ත්වයන් ඇති වූ අතර සෑම වසරක ම පුද්ගලයින් මිලියන 2.6 ක් මිය ගිය බව ගණන් බලා තිබේ."
ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පවසන්නේ, එන්නත් කිරීම සිදු නොකළ කාලයට වඩා වර්තමානයෙහි සිදුවන මරණ සංඛ්‍යාව බෙහෙවින් අඩු බව ය: "2021 වසරේදී සරම්ප රෝගයෙන් මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 128,000යි."
"ආරක්ෂිත සහ ලාභදායී එන්නතක් තිබියදීත්, මරණවලින් බහුතරයක් වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන් බව එම සංවිධානය පවසයි.
MMR එන්නත පිළිබඳ වැරදි මත
MMR එන්නත ඔටිසම් රෝගයට හේතු වන බවට කුමන්ත්‍රණකාරී න්‍යායවාදීන් අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇත.
එම එන්නත සහ ඔටිසම් රෝගය අතර සම්බන්ධයක් ඇති බවට බ්‍රිතාන්‍ය පර්යේෂකයෙකු වූ ඇන්ඩෲ වේක්ෆීල්ඩ් 1998 වසරේදී වැරදි මතයක් ඉදිරිපත් කළේ ය.
ඔහුගේ පර්යේෂණය පසුව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, වේක්ෆීල්ඩ් 2010 වසරේදී එක්සත් රාජධානියේ මහා වෛද්‍ය සභාවෙන් නෙරපන ලදී.
MMR එන්නත ඔටිසම් රෝගයට හේතු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එන්නත පිළිබඳ දෙගිඩියාව
MMR එන්නත මෙතෙක් ලබා නොගත් නව යොවුන් වියේ පසුවන්නන් සහ වැඩිහිටියන් ද එන්නත ලබා ගත යුතු ය.
කෙසේ වෙතත්, අමෙරිකාවේ රෝග පාලනය සඳහා වන මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේ සිට සරම්ප එන්නත්කරණය ක්‍රමයෙන් අඩු වී ඇති බව ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසයි: "කොවිඩ්-19 වසංගතය නිසා ප්‍රතිශක්තිකරණ සහ නිරීක්ෂණවල පසුබෑමට හේතු විය. ප්‍රතිශක්තිකරණ සේවා අත්හිටුවීම සහ ලොව පුරා පැවති නිරීක්ෂණ සහ ප්‍රතිශක්තිකරණ අනුපාත පහත වැටීම හේතුවෙන් මිලියන ගණනක් ළමුන් සරම්ප වැනි වළක්වා ගත හැකි රෝගවලට ගොදුරු විය."
2021 වසරේදී, මිලියන 40කට ආසන්න ළමුන් සංඛ්‍යාවක් වාර්තාගත ලෙස සරම්ප එන්නත් මාත්‍රාවක් හෝ මග හැරියහ: ළමුන් මිලියන 25කට ඔවුන්ගේ පළමු මාත්‍රාව මග හැරුණු අතර තවත් ළමුන් මිලියන 14.7කට ඔවුන්ගේ දෙවන මාත්‍රාව මග හැරිණි.
සිය පළමු මාත්‍රාව මග හැරුණු ළමුන්ගෙන් අඩක් වෙසෙන්නේ, රටවල් 10ක් තුළ ය: එම රටවල් වන්නේ, ඇන්ගෝලා, බ්‍රසීලය, කොංගෝ ජනරජය, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැඩගස්කර්, නයිජීරියාව, පකිස්ථානය සහ පිලිපීනය යි.
වැඩිහිටියන්ට සරම්ප වැළඳෙනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සරම්ප එන්නත ලබාගෙන නොමැති හෝ සරම්ප වෛරසය ආසාදනය නොවුණු ඕනෑ ම අයෙකුට සරම්ප වැළඳිය හැකි ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝග පාලනය සඳහා වන අමෙරිකානු මධ්‍යස්ථානය, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සහ ලෝකය පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, සෑම වයස් කාණ්ඩයක ම පසුවන්නන් සරම්ප වැළඳීමෙන් බරපතළ අතුරු ආබාධවලට ගොදුරු විය හැකි ය.
කෙසේ වෙතත්, සරම්ප රෝගයේ සංකූලතාවලින් වැඩි වශයෙන් පීඩාවට පත්විය හැකි කාණ්ඩ කිහිපයක් පවතී:
- වයස අවුරුදු 5ට අඩු දරුවන්
- වයස අවුරුදු 20ට වැඩි වැඩිහිටියන්
- ගර්භණී කාන්තාවන්
- ලියුකේමියාව හෝ HIV වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සරම්ප දෙවරක් වැළඳෙන්නේ ද?
එය සිදුවිය හැකි නමුත්, ඉතා දුර්ලභ තත්ත්වයක් බව ඇමෙරිකාවේ රෝග පාලනය සඳහා වන මධ්‍යස්ථානය, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය සහ Mayo Clinic (ඇමෙරිකාවේ ලාභ නොලබන අධ්‍යාපනික වෛද්‍ය මධ්‍යස්ථානයක්) වැනි ආයතන පවසයි.
Mayo Clinic ආයතනය පවසන්නේ, MMR එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගන්නා පුද්ගලයින්ගෙන් 93%කට වඩා ප්‍රතිශතයකට සරම්ප වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් වර්ධනය වන බව ය. දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ආරක්ෂිත ප්‍රතිශතය 97%කි.
සරම්ප එන්නත ලබාගෙන ඇත්දැයි තහවුරු කර ගත නොහැකි පුද්ගලයින් සඳහා, පෙර ලබා ගත් එන්නතකින් ප්‍රතිශක්තියක් තිබේ දැයි රුධිර පරීක්ෂණයකින් තහවුරු කර ගත හැකි ය.
ඇමෙරිකාවේ, නිසි ප්‍රතිශක්තිකරණයක් නොමැති වැඩිහිටියන් අවම වශයෙන් MMR එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා ගත යුතු බවට උපදෙස් දී තිබේ.
එක්සත් රාජධානියේ, 1970 වසරට පෙර උපත ලැබූ වැඩිහිටියන්ට කුඩා කාලයේදී සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා වැළඳී තිබිය හැකි අතර එසේ නැතහොත් සරම්ප හෝ රුබෙල්ලා යන රෝගවලට එරෙහි තනි එන්නත් ලබාගෙන ඇත. එම තනි එන්නත් ලබා දී ඇත්තේ, 1988 වසරේ MMR එන්නත හඳුන්වා දීමට පෙර ය.
පූර්ව ආසාදනය වීමක් සිදු නොවූ හෝ එන්නත් ලබා නොගත් පුද්ගලයින් මාස දෙකක පරතරයක් සහිතව එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත යුතු ය.












