HPV එන්නත මඟින් ගැබ්ගෙල පිළිකාව 90%ක්ම වළකනබවට හෙළිවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මානව පැපිලෝමා වෛරසයට (human papillomavirus-HPV) එරෙහි එන්නත මඟින් ගැබ්ගෙල පිළිකා රෝගීන් සංඛ්‍යාව 90%කින් පමණම අඩුකර දමනබව, සැබෑ ලෝකයේ දත්ත හරහා පළමු වරට පෙන්නුම්කර ඇත.
එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයක් මෙය "ඓතිහාසික" සොයාගැනීමක් ලෙස විස්තර කළ අතර, එන්නතෙන් මිනිස් ජීවිත රැකෙනබව පෙන්නුම් කරන්නේයැ යි ද පැවසීය.
ගැබ්ගෙල පිළිකා සියල්ලම පාහේ ඇතිවන්නේ වෛරස මඟිනි. ඊට එරෙහි එන්නත හරහා විෂ බීජය බොහෝදුරට තුරන් කළ හැකිබව බලාපොරොත්තුව යි.
එන්නත ලබාගත් අයට ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සඳහා පැප් පරීක්ෂාවන් සිදුකිරීම ද අඩුකළ හැකියැ යි මෙම සාර්ථකත්වයෙන් අදහස් වනබව පර්යේෂකයින් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, National Cancer Control Programme
එරට ගැහැණු දරුවන්ට, ඔවුන් වාසය කරන ප්‍රදේශය අනුව වයස අවු. 11 - 13 අතර දී මෙම එන්නත ලබාදෙයි. 2019 වසරේ සිට පිරිමි දරුවන්ට ද එන්නත ලබාදීම ආරම්භ කෙරිණි.
ලැන්සට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්වූ අධ්‍යයනයකින්, 2008 වසරේ දී HPV එන්නත එංගලන්තයට හඳුන්වා දීමෙන් පසු සිදුවූයේ කුමක් ද යන්න සොයාබලනු ලැබුණි.
එකල එන්නත ලබාගත් සිසුන් දැන් වයස අවරුදු විස්ස පසුකල වැඩිහිටියෝ ය. අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ පූර්ව පිළිකා වර්ධනයෙහි අඩුවීමක්, සහ ගැබ්ගෙල පිළිකාවල 87%ක අඩුවීමක් ඇතිබව යි.
"මේකෙ බලපෑම ඉතාම විශාල යි," ලන්ඩනයේ කින්ග්ස් කොලෙජ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන්ගෙන් අයෙකු වන මහාචාර්ය පීටර් සසියෙනි පවසයි.
අතපසු වූ එන්නත් ලබාදෙන ක්‍රියා මාලාවක කොටසක් ලෙස වයසින් වැඩි යෞවනයන් ද එන්නත්කරණය කළ නමුත්, එහි බලපෑම මෙතරම් සාධනීය නොවීය. එන්නත ලබාගැනීමට තීරණයකර තිබුණු වැඩි වයස් යෞවනයන් ප්‍රමාණය අඩුවීම සහ මෙම එන්නත ලිංගික ක්‍රියාශීලීත්වය ඇරඹීමට පෙර ලබාදිය යුතු එකක් වීම මෙම ප්‍රතිඵලයට හේතු විය.
සමස්තයක් වශයෙන් ගත්කල, HPV වැඩසටහන මඟින් පිළිකා 450ක් හා පූර්ව පිළිකා 17,200ක් පමණ වළකා ඇතිබව අධ්‍යයනය විසින් ඇස්තමේන්තු කෙරෙයි.
මහාචාර්ය සසියෙනි පවසන්නේ එය "පාවෙන අයිස් පර්වතයේ තුඩ පමණක් පිටතට පෙනීම වැනි" බව යි. එන්නත ලබාගත් පිරිසට තවමත් පිළිකා වැළඳීමට වයස් මඳ බැවින්, කාලයත් සමග මෙම සංඛ්‍යාව වර්ධනය වනු ඇතිවීම ඔහු ඊට හේතු ලෙස පෙන්වා දෙයි.
ගැබ්ගෙල පිළිකාව ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දක්නට ලැබෙන දෙවැනියට බහුලතම පිළිකාව යි. සෑම වසරකම කාන්තාවන් 1407කට පිළිකාව ඇතැ යි හඳුනාගන්නා බවට ගණන් බලා ඇති අතර, ඉන් 780ක් මියයයි.
නමුත් ගැබ්ගෙල පිළිකාව යනු වළක්වාගත හැකි රෝගී තත්ත්වයකි.
පිළිකාවක් එන්නතක් මඟින් වළකන්නේ මෙහෙම යි
සාමාන්‍යයෙන් රෝගකාරක වෛරස සහ බැක්ටීරියා අප තුළ ඇති කරන්නේ කෙටිකාලීන ආසාදන සහ රෝගාබාධයන් වුව ද, ඇතැම් රෝගකාරකයන් මිනිස් සිරුර තුළ දිගුකලක් පැවතිය හැකිවා මෙන්ම කලක් ගතවීමේ දී පිළිකා තත්ත්වයන් කරා ද වර්ධනය විය හැකි ය.
මෙම ඇතැම් රෝගකාරකවලින් වැළඳෙන කෙටිකාලීන රෝගයන් වැළකීමේ පියවරක් ලෙස එන්නත්කරණය බොහොකොටම සිදුකෙරුන ද, පෙර කී අන්දමේ දිගුකාලීන රෝගාබාධයන් වැළක්වීම ද එන්නත් හරහා සිදුකළ හැකි ය.
මානව පැපිලෝමාවෛරස (HPV) එන්නත ද එවැන්නකි.
මානව පැපිලෝමාවෛරසය නැතිනම් හියුමන් පැපිලෝමාවෛරස් යනු එකිනෙකට වෙනස් වෛරස වර්ග 100කින් පමණ සමන්විත වෛරස කාණ්ඩයකි. මෙයින් අඩුම වශයෙන් වර්ග 14ක් පිළිකාකාරී ය. මෙම වෛරසය බොහෝවිට ලිංගික හැසිරීම් හරහා සම්ප්‍රේෂණය වේ. ගැබ්ගෙල පිළිකාව ඇතිවන්නේ වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වූ විට ය.

ඡායාරූප මූලාශ්‍රය, National Cancer Control Programme
ගැබ්ගෙල පිළිකාවන්ගෙන් 70%ම ඇතිවන්නේ වර්ග දෙකක HPV නිසා ය. ගැබ්ගෙල පිළිකාවලින් 99.7%ක්ම කුමන හෝ HPV වර්ගයක් නිසා ඇතිවේ.
හියුමන් පැපිලෝමාවෛරසයෙන් ඇතිවන ගැබ්ගෙල පිළිකා ද ඇතුළු රෝග වැළක්වීමට ලබාදෙන HPV එන්නත් වර්ග දෙකක් දැනට ලෝකයේ භාවිතා වේ.
මෙයින් එක් වර්ගයක් HPV වර්ග දෙකකට විරුද්ධවත්, අනෙක වර්ග සතරකට විරුද්ධවත් ප්‍රතිශක්තිය ලබා දෙයි.
වෛරස වර්ග දෙකකට එරෙහි එන්නත 2010 සිටත්, වෛරස වර්ග හතරකට එරෙහි එන්නත 2012 සිටත් ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වලින් ලබාගත හැකිව තිබූ අතර, 2017 දී සෞඛ්‍ය අමාත්‍යංශය වර්ග හතරකට එරෙහි එන්නත ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට ඇතුළත් කළේ ය. මෙමඟින්, වාසය අවු. 10 සම්පූර්ණ කළ ගැහැණු දරුවන්ට (6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන) පාසැල හරහා නොමිලේ එන්නත ලබා දෙනු ලැබේ.
එන්නතේ මාත්‍රා දෙකකි. මේවා සය මසක පරතරයෙන් ලබාගත යුතු ය. මෙය ආරක්‍ෂිතබව තහවුරු කෙරුණු එන්නතකි.
මෙම එන්නත පාසල හරහා ලබාගැනීමට අපොහොසත් වූ දැරියන්ට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී කාර්යයාලය හරහා මෙය ලබාගත හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, National Cancer Control Programme
කෙසේ නමුත්, එන්නත මඟින් ලබාදෙන ආරක්ෂාව කෙතරම් කලකට වලංගුදැ යි තවමත් අනිශ්චිත වන අතර, මැදි වයසේ දී බූස්ටර් මාත්‍රාවක් ලබාදිය යුතුදැ යි යන්න තවමත් අපැහැදිලි ය.
ලිංගික ඉන්නන් ඇතිකරන පැපිලෝමාවෛරසය ද ඇතුළුව HPV වර්ග නවයකට එරෙහි ආරක්ෂාව සලසන එන්නතක් ළඟ දීම හඳුන්වා දීමට එක්සත් රාජධානිය සැරසෙමින් සිටියි.
පිළිකාකාරක HPV වෛරස මඟින් සිරුරේ DNAවල සහ ආසාදිත සෛලවල දරුණු වෙනස්කම් ඇතිකර, ඒවා පිළිකාබවට පත්වීමේ ඉඩකඩ ඇතිකරයි. වෛරසය යෝනි, මුඛ, හෝ ගුද සංසර්ගය මඟින් පැතිරීම සිදුවන අතර, ගුදයේ, ශිෂ්ණයේ මෙන්ම හිසේ හා ගෙලේ ඇතිවන ඇතැම් පිළිකා සමග සම්බන්ධයක් දක්වයි.
ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලසුම පරිදි, රටවල් 100කට අධික සංඛ්‍යාවක් එන්නත භාවිතා කිරීමට පටන්ගෙන ඇත.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ කාර්යාංශයේ සේවය කරන විශේෂඥ වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය වැනෙසා සලීබා පැවසුවේ මෙම සොයාගැනීම් "විශිෂ්ට"බව යි. එමඟින් එන්නත හරහා "කාන්තාවන් අතර ගැබ්ගෙල පිළිකා අනුපාතය විස්මය ඇතිකරවන අයුරින් අඩුකර ඇතැ"යි ඇය පවසයි.
එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණී මිෂෙල් මිචල් මෙසේ පැවසුවා ය: "HPV එන්නත විසින් ගැබ්ගෙල පිළිකා වර්ධනයවීමෙන් දහස් ගණනක් කාන්තාවන් ආරක්ෂාකර ඇතිබවත්, ඉදිරියටත් ආරක්ෂාකරනු ඇතිබවත් පෙන්වන පළමු අධ්‍යයනය දැකීම ඓතිහාසික මොහොතක්."












