ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත: ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් ගත හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දැනට ෆයිසර් එන්නත දෙනු ලබන්නේ, පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබුණු පුද්ගලයන්ට පමණක් බව රජය පවසයි.
ශ්‍රී ලංකාව වෙත සඳුදා (ජුලි 05) ෆයිසර් එන්නත් 26,000 ක් ලැබුණු අතර එම එන්නත ලබා දීම බදාදා (ජුලි 07) සිට ආරම්භ කිරීමට නියමිතය.
ෆයිසර් ලැබෙන්නේ කාටද ?
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත් 600,000 ආසන්න පිරිසකට තවමත් දෙවෙනි මාත්‍රාව ලැබී නොමැත.
කොළඹ මහ නගර සීමාව තුළ වෙසෙන, ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවෙනි මාත්‍රාව වශයෙන් ෆයිසර් ලබා දීම බදාදා (ජුලි 07) සිට ආරම්භ කරන බව ඖෂධ නියාමන සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
මේ අතර සඳුදා (ජුලි 05) හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ෆයිසර් එන්නත් ලබා දීම ත්‍රිවිද හමුදාව හරහා සිදු කෙරෙනු ඇති බවය.
ශ්‍රී ලංකාවට ෆයිසර් කොපමණ ලැබේද?

ඡායාරූප මූලාශ්‍රය, Channa Jayasumana
රජය විසින් මිලට ගනු ලබන ෆයිසර් එන්නත්වලින් මාත්‍රා 200,000 ක් පමණ ජුලි මස ලැබීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍ය මහාචර්ය චන්න ජයසුමන පවසන පරිදි ජුලි මස අග වන විට ලැබීමට නියමිත ෆයිසර් මාත්‍රා තොග:
- ජුලි 2වෙනි සතිය - 28,000
- ජුලි 3 වෙනි සතිය - 60,000
- ජුලි 4 වෙනි සතිය - 90,000
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ෆයිසර් සමාගම එළඹ ඇති ගිවිසුමට අනුව මේ වසර තුළ ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 05 ක් (පනස් ලක්ෂයක්) ලබා ගත හැකි බව ඖෂධ නියාමන සහ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසයි.
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් මිශ්‍ර කළ හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට, දෙවෙනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා දීමට යුරෝපයේ රටවල් ගණනාවක් ද පියවර ගෙන ඇති බව කී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තාක්ෂණික ඇගයීම් පත්‍රිකාවක් මගින් ද එය නිර්දේශ කර ඇතැයි පැවසීය.
ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග පිළිබඳ කමිටුව ද ඒ බව නිර්දේශ කර ඇති බව ඔහු සඳහන් කළේය.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත් ඇතැම් පුද්ගලයන්ට රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමු වීමත් සමග එම එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.


කොවිඩ් එන්නත් මිශ්‍ර කර සැසදීමේ (mix-and-match) ප්‍රවේශය- කොවිඩ්-19 ට එරෙහිව පළමු සහ දෙවෙනි මාත්‍රා වශයෙන් වෙනස් එන්නත් වර්ග භාවිත කිරීම මගින් හොඳ ආරක්ෂාවක් ලැබෙන බව පෙනෙන්නට ඇතැයි එක්සත් රාජධානියේ කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.
Com-Cov අත්හදා බැලීමේ පර්යේෂණය මගින් ෆයිසර් මාත්‍රා දෙකක්, ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා දෙකක් හෝ පළමුව හෝ දෙවෙනුව ඉන් එක බැගින් මාත්‍රා දෙක සම්පූර්ණ කිරීම මගින් ලැබෙන සාර්ථකත්වය පිළිබඳ සොයා බලනු ලැබීය.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින්, ඒ සියලුම සංයෝජනයන් හොඳින් ක්‍රියා කරන බව එහිදී පෙනී ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට ලැබෙන ෆයිසර් එන්නත් ගබඩා කරන්නේ කොහෙද?

ඡායාරූප මූලාශ්‍රය, Channa Jayasumana
ෆයිසර් එන්නත ශරීර ගත කරන තෙක් එය ඉතා අඩු උෂ්ණත්වයක ගබඩා කළ යුතුව ඇත.
සෙල්සියස් අංශක සෘණ 70 ක් (-70 C) තරම් පහළ උෂ්ණත්වයක් ඊට අවශ්‍ය වේ.
ගෙදරදොරේ භාවිත කෙරෙන අධිශීතකරණයක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -20 ත් -25 අතර අගයක් ගනු ලබන බැවින් ඒ සඳහා එයටම විශේෂිත අධිශීතකරණ අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවට ලැබෙන ෆයිසර් එන්නත් ගබඩා කිරීමට නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානය තුළ පහසුකම් සකසා ඇති බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
එම එන්නත් මාත්‍රා මිලියන 02 ක් දක්වා ගබඩා කිරීමට එහි පහසුකම් සකසා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මේ අතර ෆයිසර් එන්නත ලබා දීමේදී වෙනත් එන්නත්වලට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් ඒවා ලබා දෙන හමුදා සාමාජිකයන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ෆයිසර් ලැබෙන්නේ 'ලොක්කන්ට' ද?
මේ අතර ශ්‍රී ලංකාවට ලැබෙන ෆයිසර් එන්නත් ප්‍රභූ පවුල් හෝ දේශපාලන සබඳතා ඇති පුද්ගලයන්ට ලැබීමේ හැකියාවක් ඇති බවට සමාජ ජාල ඔස්සේ සැක පළ වී තිබිණි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන තුළ "ඥාති සංග්‍රහ" සිදුව ඇති බවට අවස්ථා ගණනාවක දී චෝදනා එල්ල විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ෆයිසර් එන්නත් ලබා දීමේදී එවැන්නක් සිදු නොවනු ඇති බවය.
ත්‍රිවිද හමුදාව හරහා ෆයිසර් එන්නත් ලබා දීමට තීන්දු කිරීමේදී එම චෝදනාව ද සැලකිල්ලට ගැනුණු බව ඔහු සඳහන් කළේය.
මේ ගැනත් කියවන්න:










