රුසියාව: බොරු කොරෝනා එන්නත් සහතික පෙන්වමින් පිටරට සවාරි යාමේ සිහිනයක්

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ගැන දැක්වෙන ප්‍රචාරක දැන්වීමක් අසලින් ගමන්ගන්නා තැනැත්තෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ රුසියානුවන් තුළ එන්නත් පිළිබඳව අවිශ්වාසයක් පවතින බව මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙයි
    • Author, අලෙග් බොල්දිරෙෆ් සහ ෂේන්යා චුර්මනෝවා
    • Role, බීබීසී රුසියානු සේවය

"එකම එක සරල හේතුවක් නිසා මට කොවිඩ් එන්නත ගන්න උවමනාවක් නැහැ. එන්නතෙන් මට ලැබෙන පල ප්‍රයෝජනයක් මට පෙනෙන්නේ නැහැ," වික්තෝරියා පවසන්නීය. එය ඇයගේ සැබෑ නම නොවේ. කෙසේවුවද,එම ප්‍රකාශය කරන තැනැත්තිය මොස්කව් නගරයේ රෝහලක හෘදරෝග විශේෂඥවරියකි.

ඇය රුසියාවේ පාවිච්චිකෙරෙන කිසිදු එන්නතක් කෙරෙහි විශ්වාසය නොතබයි. රට තුළ මහජනයා එන්නත්කරනු ලැබීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුනත් එහි පළමු හය මාසය තුළ එය මඟහැරීමට වික්තෝරියා සමත්වූවාය.

එහෙත් මොස්කව් නගරාධිපතිවරයා පසුගියදා නියෝගයක් නිකුත්කරමින් මහජනයා සමඟ ගැවසෙන විශේෂ වෘත්තිකයන් එන්නත ලබාගත යුතුව ඇතැයි නිවේදනය කළ අතර වෛද්‍ය වෘත්තියත් ඊට ඇතුළත් වෙයි.

වික්තෝරියාගේ විසඳුම කුමක්වීද? පුරා දින දෙකක් කල්පනා කළ ඇය තමා එන්නත ලබාගත් බව දැක්වෙන සහතිකයක් මිලට ගැනීමට තීන්දු කළාය. එය ව්‍යාජ එන්නත් සහතිකයකි.

මේ වනවිට කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය මොස්කව් නගරයෙහි වේගයෙන් පැතිරයමින් දිනපතා වාර්තාවෙන මරණ සංඛ්‍යාව වැඩිවෙමින් ඇතත් වික්තෝරියා වැඩිවශයෙන් කණස්සල්ලට පත්ව සිටින්නේ එන්නත ලබාගත්තොත් එමගින් තමා අතුරු ආබාධවලට ගොදුරුවේද? යන්න සම්බන්ධයෙනි.

A Russian woman receives a coronavirus vaccination

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂ වෘත්තීන්හි නිරතවෙන්නන් එන්නත අනිවාර්යයෙන් ලබාගත යුතුව ඇතැයි රුසියාවේ බලධාරීන් විසින් නිර්දේශ කරනු ලැබ ඇත

වික්තෝරියා යනු සියලු ආකාරයේ එන්නත් බැහැරකරන්නියක් නොවේ; ඇය සහ ඇයගේ දරුවන් වෙනත් ව්‍යාධීන්ගෙන් වැලකීමට පාවිච්චි කරනු ලබන සෙසු සියළුම එන්නත් වර්ග ලබාගෙන ඇත.

එහෙත් ඇයගේ විශ්වාසය වී තිබෙන්නේ රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් තුන කඩිමුඩියේ ලියාපදිංචි කරගන්නා ලද ඒවා වන බවය. එසේම කොවිඩ් වෛරසය සඳහා පාවිච්චි කරනු ලබන විදේශීය එන්නත් සම්බන්ධයෙන් ද වික්තොරියාට සහතිකයක් නැත.

ඇය සේවය කරන රෝහලේ කළමනාකාරිත්වය එහි නිරත සියළු කාර්යමණ්ඩල එන්නත ලබාගතයුතුව ඇතැයි දැනුම් දුන් අවස්ථාවේ වික්තෝරියා සිදුකරන ලද්දේ තම ප්‍රදේශයේ පිහිටි එන්නත් මධ්‍යස්ථානයක් සම්බන්ධකර ගනිමින් තමා 'ස්පුත්නික්' එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බවට ලේඛනගත කරගැනීමය. ඇය එන්නත ලබාගත් බව ඉන් පැය විසිහතරක කාලයක් ඇතුළත ආණ්ඩුවේ අන්තර්ජාල ලියාපදිංචි ලේඛනය මගින් සහතික කරනු ලැබ තිබුණි. ඇය ඒ සඳහා රූබල් 5000ක් ගෙවා ඇත.

එයින් සති තුනකට පසු එහි දැක්වුණේ වික්තෝරියා කොවිඩ් එන්නතෙහි දෙවන මාත්‍රාවත් ලබාගත් බවය. එහෙත් වික්තෝරියා එන්නතෙහි එකම මාත්‍රාවක්වත් ලබාගෙන නොතිබුණි.

තමා සහ තම මිතුරන්ගෙන් අඩක්ම එන්නත පිළිබඳව සැක පහළ කරන බව ඇය පවසන්නීය.

"මෙය තත්වය නොදන්නා අය අතර පවතින බියක්," වික්තෝරියා පවසන්නීය.

"ආණ්ඩුවේ භූමිකාව ගැනත් මහජනයා අතර අවිශ්වාසයක් පවතින බව මට නිසැකයි."

එහෙත් රුසියාවේ බලධාරීන් අවධාරණයෙන් කියාසිටින්නේ, ඔවුන්ගේ රටේ නිෂ්පාදනය කරනලද පළමු සහ වඩාත් බහුලව පාවිච්චියට ගැනෙමින් පවතින 'ස්පුත්නික්' එන්නත සායනික පරීක්ෂණ වටතුනක් සම්පූර්ණකර ඇති අතර එය පලදායීතාව සහ සුරක්‍ෂිතභාවය අතින් ප්‍රමුඛවෙන බවය. වෛරසයට එරෙහිව ප්‍රතිචාරය දැක්වීම අතින් එහි ඵලදායීතාව 91 ඉක්මවයි.

Syringes in front of a poster for Sputnik

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ස්පුත්නික්' එන්නත පලදායීතාව සහ සුරක්‍ෂිතභාවය අතින් ප්‍රමුඛබව මොස්කව් බලධාරීහු අවධාරණය කරති

එහෙත් එම සහතිකවීම් විශ්වාස නොකරන රුසියාවේ වෙසෙන බොහෝදෙනා ව්‍යාජ එන්නත් සහතික මිලට ගැනීමට යොමුවෙමින් සිටිති.

වික්තෝරියාට මෙන් චිකිත්සාගාර සමඟ සම්බන්ධයක් නොමැති පුද්ගලයන් සිදුකරනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේ පිහිටක් පැතීමය.

එවැනි තත්වයක් යටතේ අන්තර්ජාලය ඔස්සේ කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා කෙරෙන සෝදිසි කිරීම් පසුගිය සතිවල ඉහළගොස් තිබුනේ 'රොකට් වේගයෙනි'.

කිරිල් (Kirill) ආපනශාලාවක සේවකයෙකි. තම ආයතනයේ කළමනාකරු එන්නත ලබාගන්නා ලෙස බලකරනු ඇතැයි ඔහු කලක පටන් කණස්සල්ලෙන් පසුවිය. එහෙත් කිරිල් එන්නතට මනාප නැත.

"මමත් මගේ බිරිඳත් ඉක්මණින් පවුල් ජීවිතයක් පටන්ගන්න සැලසුම්කරමින් ඉන්නවා," ඔහු පැහැදිලි කළේය.

"ඒත් කවුද දන්නෙ, මොනවගේ අතුරු ආබාධවලට මුහුණදෙන්න සිද්ධවේවිද? කියලා."

'සෙර්ගේයි' (එය ඔහුගේ සැබෑ නම නොවේ) දේපොළ වෙළෙඳාම් ආයතනයක නියෝජිතයෙකි.

"සිද්ධාන්තයක් විධියට මම එන්නතට විරුද්ධ කෙනෙක් නොවෙයි. නමුත් මම රුසියාවේ හදපු එන්නත ගන්න කැමති නැහැ. බටහිර එන්නත් රුසියාව තුළ තහනම් නිසා මම එන්නත් සහතිකයක් මිලට ගන්නවා."

'කිරිල්' සහ 'සෙර්ගේයි' යන දෙදෙනාම එවැනි සහතිකපත් මිලදී ගැනීමට හැකි 'ටෙලිග්‍රෑම්' පණිවුඩ හුවමාරු කණ්ඩායමකට අයත්වෙති.

සෙර්ගේයිට ඔහුගේම ව්‍යාපාරයක් තිබේ. එබැවින් එන්නත ලබාගන්නා මෙන් ඔහුට බලපෑම්කිරීමට කිසිවකු නැත. එහෙත් ඔහුගේ ප්‍රශ්නය වී තිබෙන්නේ කොවිඩ් එන්නත් සහතිකපතක් නැතිවුනොත් ඔහුට පිටරටවලට පියාසර කිරීමට නොහැකිවීමය.

අප දැන් කියන්නට යන්නේ කරීනාගේ කතාවයි. 'කරීනා' (එය ඇයගේ සැබෑ නම නොවේ) මොස්කව් අගනුවර අසබඩ කලාපයක වාසයකරන්නියකි. ඇය 'ස්පුත්නික්' එන්නත කෙරෙහි විශ්වාසය නොතබයි.

A vaccination centre in a Russian village

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් වෛරසය ආසාදනය වූ අළුත් රෝගීන් විශාල වශයෙන් හමුවීමේ අභියෝගයට රුසියාව අමුහුණදෙමින් ඇත

"මම එන්නතට සහමුලින්ම විරුද්ධයි. විශේෂයෙන්ම රුසියාවේ හදපු එන්නතට. මට කාගේවත් උදව් නැතිව පරෙස්සම්වෙන්න පුළුවන්. දොස්තරවරුන්ගේ උදව් නැතිව. කොහොමත් මෙතැනින් පිටවෙලා යන්න මම සලසුම්කරමින් ඉන්නෙ. මේ එන්නත්කරණය මගේ ගමන ඉක්මන් කරනවා. මට වැදගත්වන්නේ මානව අයිතිවාසිකම්. බලහත්කාරයෙන් එන්නත්කිරීම හැරුනාම මට වෙනත් ඕනෑම දෙයක් දරාගන්න පුළුවන්," කරීනා කියාසිටින්නීය.

ආරූඪ නම්වලින් පෙනී සිටින 'අලෙග්' සහ 'අලීනා' යන දෙදෙනාම අනිවාර්ය එන්නත්කරන කාණ්ඩයට ඇතුළත්කරනු ලැබ සිටිති. ඔවුන් එය සලකන්නේ මානව හිමිකම් කඩකිරීමක් හැටියටය.

අලෙග් 'ස්පුත්නික්' එන්නත කෙරෙහි විශ්වාසය නොතබයි. විද්‍යාඥයන් ඔවුන් කියන ඕනෑම දෙයක් නිර්දේශකරන බවට අලෙග් තර්කකරයි.

තමා විද්‍යාගාරයක පරීක්ෂණ සඳහා යොදාගනු ලබන 'මීයකු' නොවන බව 'අලීනා' පවසයි. ඇය පසුගිය වසරේ කොරෝනා වසංගතයට ගොදුරුවූවාය. එමගින් තම සිරුරේ ප්‍රතිදේහ විනාශ වූ බවට කණස්සල්ලක් ද ඇය තුළ පවතී. කෙසේවුවද,එන්නත ලබාගැනීමෙන් බේරීම සඳහා ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයක් ලබාගැනීම අලීනාගේ සැලැස්ම වී තිබේ.

Vaccination certificates are pictured at a mobile vaccination site at the Yerevan Plaza shopping mall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ වංචාකාරයෝ කඩදාසි සහතික විද්‍යුත් තැපෑලෙන් තොරව විකුණති

එවැනි සහතිකයක් හදාදීමට අය කරන ගාස්තුව ඩොලර් 39ත් 209ත් අතර මුදලකි. වඩාත් වියදම් අධික කාර්යය වන්නේ ගැනුම්කරුගේ නම ආණ්ඩුවේ ලියාපදිංචි ලේඛනයට ඇතුළත්කරනු ලැබීමය. ලාබ මිලට හදාගත හැකි කඩදාසි සහතික වටිනාකමක් නැතිදෙයක් බවට පත්වීමේ ඉඩක් පවතී. ඊට හේතුව වලංගුතාව සහතිකකිරීම කළ හැකිවන්නේ නිල මට්ටමින් නිකුත්කරන ලද QR කේතය මගින් පමණක් බව මෑතදී මොස්කව් බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟය.

එහෙත් කොවිඩ් සහතික ජාවාරමේ නිරතවන්නන් කියාසිටින්නේ අතිරේක වැඩිපුර මුදලක් ගෙවනු ලබන්නේ නම්, තමන්ට එම සහතිකපත් ආණ්ඩුවේ අන්තර්ජාල අඩවියට ඇතුළත්කළ හැකි බවය.

'රොමාන්' කොවිඩ් එන්නත් සහතික විකුණන්නෙකි. තමා විකුණන්නේ කඩදාසි සහතික පමණක් බවත් තමාට ඩිජිටල් පහසුකම් නැතිබවත් ඔහු පිළිගනියි. මෙම ජාවාරමේ නිරතවෙමින් සිටින නමුත් රොමාන් එන්නත්කරණයට සහයෝගය දක්වන්නෙකි.

"ඔබට අවස්ථාවක් ලැබුනොත් එන්නත ලබාගන්න!" ඔහු පවසයි.

සමහර අවස්ථාවල මිනිස්සු මගෙන් උපදෙස් ඉල්ලනවා. මම හැමවිටම ඔවුන්ට කියන්නේ එන්නත ලබාගන්න කියලයි. සෝවියට් පාලන කාලයේදී මෙය වුනානම්, අපි ඔක්කෝම එන්නත ලබාගෙන වෛරසයට මුහුණදෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය සහ කතාකිරීමේ නිදහස! ඉතින් අපි ටිකෙන් ටික මියයමින් ඉන්නවා වෙන්න පුළුවන්. විශාල සංඛ්‍යාවලින්."

රොමාන් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

ව්‍යාජ එන්නත් සකසන කළු වෙළෙඳපොල රුසියාවේ වැඩීම ආරම්භවන්නේ පසුගිය මාර්තු මාසයේ පටන්ය. එම වෙළෙඳපොල පණලද්දේ එන්නත්කරනු ලැබීම ඇතුළත් කරන ලද විදේශ ගමන් බලපත් සහිත පුද්ගලයන්ට පමණක් තම රටවලට ඇතුල්විය හැකි බව ඇතැම් රටවල් නිවේදනය කරනු ලැබීම සහ නිවාඩු ගතකිරීම සඳහා විදේශගතවීම ගැන රුසියාවේ ජනතාව සිතන්නට පටන්ගැනීමත් සමඟය.

නමුත් නව තහංචි ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එය විශාල වශයෙන් පැතිරයන ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

A man receives a shot of the EpiVacCorona vaccine against COVID-19 in the village of Talovka, Kamyshin District.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ ඇතැමුන්ට එන්නත ලබාදෙන්නේ නිවෙස්වලදීය

"ව්‍යාජ එන්නත් සහතික සැපයීම සම්බන්ධයෙන් ප්‍රචාරක දැන්වීම් පළකරන අයගෙන් නියත අතිබහුතරය රාජ්‍ය ලියාපදිංචිකිරීමේ ක්‍රමයට ප්‍රවේශවිය නොහැකි වංචාකාරයන්," යයි 'කැස්පර්ස්කි ලැබ්' සයිබර් ආරක්‍ෂණ ආයතනයේ දිමිත්‍රි ගලොෆ් පවසයි.

"සමහරුන් මේවගේ ජාවාරම් මගින් මුදල් උපයනව. ඒ අතරවාරයේ තවත් සමහරුන්ට රාජ්‍ය දත්ත ගබඩාවට නම් එකතු කරන්න පුළුවන්. නමුත් ඒවා පරීක්ෂා කිරීම ඉතා දුෂ්කරයි. මෙය අන්තර්ජාල වෙළෙඳපොළකුත් නොවෙයි," ගලෝෆ් පවසයි.

ව්‍යාජ එන්නත් සහතිකයක් ලබාගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වීම සම්බන්ධයෙන් ද නිදසුන් වෙති.

'අර්කන්ගෙල්ස්ක්' පළාතේ ග්‍රාමීය වෛද්‍යවරයකු වන 'දිමිත්‍රි' තම සායනයේ ජනතාව සඳහා 'ස්පුත්නික්' එන්නත් තොගයක් ඇනවුම් කළේය. ඒ සමඟ ඔහු සිය නමත් එන්නත් ලබාගත් ලැයිස්තුවට ඇතුළත් කළ නමුත් ඔහු තම මාත්‍රාව ලබාගත්තේ නැත.

ඒ අතරවාරයේ ටික දිනකින් දිමිත්‍රිගේ මව මරණයට පත්වූවාය. ඇයට එන්නත ලබානොදීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක් වෛද්‍යවරයාගෙන් විමසූහ.

"ඔහු කණගාටු වුනා. ඔහු එන්නත ලබාගන්නා ලෙස මවට දැඩිව කියා නැහැ," දිමිත්‍රිගේ මිතුරා පවසයි.

"දිමිත්‍රිටත් එන්නත ලබාගන්න අවශ්‍යයි. නමුත් දැන් ඔහුට එන්නත ලබාගන්න බැහැ. මොකද? එන්නත ලබාගත් පුද්ගලයකු හැටියට ඔහුගේ නම රාජ්‍ය දත්ත ගබඩාවේ සටහන්ව තියෙනවා."

කියවන්න: