ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිරීම: ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ගැන මහාචාර්ය මලික් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
ශ්‍රී ලංකාව පුරා කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයාම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකාව පළමුව කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ ජනතාවට එන්නත ලබා දීම බව ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් පෙන්වා දෙයි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් හමු වීමත් සමග ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ද ජුලි මස 05 වෙනි දින බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා අනතුරු ඇඟවීමක් කළේය.
සිකුරාදා (අගෝස්තු 06) බීබීසී සමග අදහස් දැක්වූ ඇතැම් වෛද්‍යවරුන් සහ හෙද, හෙදියන් කියා සිටියේ, දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇති බවය.
අවම සම්පත් යටතේ වුවත් තමන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි සටනක නිරත වන බව ද ඔවුහු පවසති.
ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ගැන මීට සති කිහිපයකට පෙර වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මලික් පීරිස්: "අපි දන්නවා කොවිඩ් නිසා මිය යන 75% ක් විතර වයස අවුරුදු 60 ට ඉක්මවපු අය. දැඩි සත්කාරවලටත් වැඩිපුර එන්නේ ඒ වයස් ඛාණ්ඩවල පුද්ගලයන්. ඉතින් ඔවුන්ට එන්නත් ලබා දීමයි වැදගත්," යනුවෙන් සඳහන් කළේය.
"අනෙක් අතින් අප මතක තබා යුතුයි කලින් තිබ්බ ලොක්ඩවුන් සීමා දැන් ඉවත් කර තිබෙන බව. ඒ සීමා ඉවත් කළාට හොඳ තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඉදිරි සති කිහිපයේ යළි අවදානමක් ඇති විය හැකි නිසා අපි හොඳ අවධානයෙන් පසුවිය යුතුයි."
පහත දැක්වෙන්නේ ඔහු ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පළ කළ අදහස් ඇසුරෙන් කළ කෙටි විමසුමකි.
මොකක්ද මේ ඩෙල්ටා ප්‍රභේදය?

B.1.617.2 විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඩෙල්ටා ප්‍රභේදය පළමු වරට හමු වූයේ ඉන්දියාවෙනි.
මහාචාර්ය මලික් පීරිස් පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයට, ඇල්ෆා ප්‍රභේදයට වඩා 50% වැඩි වේගයකින් පැතිර යා හැක.
එබැවින් වැඩි දෙනෙකුට ඉතා ශ්‍රීඝ්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ ඉඩක් පවතී.
මේ වන විට එක්සත් රාජධානියෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 90% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසදිතයන්ය.
හිසරදය, උගුරේ වේදනාව සහ නාසයෙන් සොටු දියර ගැලීම යන රෝග ලක්ෂණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් බහුලව වාර්තා වන බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ පවසති.
එය ශ්‍රී ලංකාව තුළ කෙතරම් වේගයෙන් පැතිරිය හැකිද?

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් පළමු වරට හඳුනා ගැනුණේ ජුනි 17 වෙනිදාය. ඒ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙනි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන පරිදි එතැන් සිට මේ දක්වා (ජුලි 04 වෙනිදා වන විට) හඳුනා ගෙන ඇති, ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 19 කි.
කොළඹ 2, කොළඹ 5, කොළඹ 9, කොළඹ 10 සහ කොළඹ 14 යන ප්‍රදේශවලින් 17 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් රෝගීන් එක් අයෙකු බැගින් වාර්තා වී ඇත.
ඔවුන් සියලු දෙනාම අවුරුදු 25 -55 අතර වයසේ පසු වන්නන්ය.


එළඹෙන සතියේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් තවත් වාර්තා විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් පවසයි.
"මේ වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන නිසා ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවෙයි කියා සිතන්න බැහැ. මම සිතන විදිහට ඉදිරි සති දෙක අතර ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය හුඟක් පැතිර යන්න ඉඩ තිබෙනවා,"
ඩෙල්ටා සහ කළු දිලීරය අතර සම්බන්ධයක් තිබේද? ඒ ගැන අප බිය විය යුතුද?
ඉන්දියාවේ කොවිඩ් රැල්ලත් සමග මතු වූ කළු දිලීර රෝගය පිළිබඳ මේ මොහොතේ අනියත බියක් ඇති කර ගත යුතු නැති බව මහාචාර්ය මලික් පීරිස් පවසයි.
"ඒ දිලීරය හැම තැනම තිබෙනවා. නමුත් බහුතරයකට ඉන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හුඟක් ඔක්සිජන් දෙන්න අවශ්‍ය මට්ටමට ආවම දෙන්න තිබෙන බෙහෙතක් තමයි ඩෙක්සාමෙතසෝන් (Dexamethasone). ඒ බෙහෙතෙන් අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඉතින් මේ දිලීර රෝගය ඇති වෙන්න පුළුවන් වෙන්නේ එවැනි තත්ත්වයක් තුළයි."
"ලංකාවේ දැනට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. එහෙම දරුණු මට්ටමකට එයි කියා මා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ."
'ඩෙල්ටා මදිවට ඩෙල්ටා ප්ලස්'? ලංකාවේ පැතිරෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩෙල්ටා ප්‍රභේදයට 'නෑකම්' කියන ඩෙල්ටා ප්ලස්, "බිය විය යුතු ප්‍රභේදයක්" බව ඉන්දීය ආණ්ඩුව ජුනි මස අග නිවේදනය කළේය. නමුත් ඒ හේතුවෙන් ඉන්දියාව තුළ තුන් වෙනි රැල්ලක් ඇති විය හැකි යයි කීමට තරම් ප්‍රමාණවත් දත්ත මේ මොහොතේ නැත. කෙසේ වුවත් තත්ත්වය "සති කිහිපයක් තුළ වෙනස් විය හැකි" බව ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති.
"ඩෙල්ටා ප්ලස් කියන්නේ, ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වීමක් (Mutation). එය ඩෙල්ටා ප්‍රභේදයට වඩා, තවත් දරුණු වෙයි කියලා සිතන්න පුළුවන්. නමුත් එමගින් ලංකාවට බලපෑමක් සිදු වෙයිද කියන කාරණේ මේ මොහොතේ කියන්න බැහැ." යනුවෙන් මහාචාර්ය මලික් පීරිස් පෙන්වා දෙයි.
"ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය හමුවෙන හැම තැනකම, ඩෙල්ටා ප්ලස් හමු වෙයි කියලා සිතිය යුතුත් නැහැ. එහෙත් අපි ඒ පිළිබඳ සෝදිසියෙන් සිටිය යුතුයි,"
ඩෙල්ටා ප්‍රභේදයට පළමු එන්නත ඔරොත්තු දෙයිද?
එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනයේ (Public Health England) වාර්තාවකට අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වඩාත් දරුණු ලෙස රෝගී විය හැක.
ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දී ඇති පුද්ගලයන්ගෙන් බහුතරය දෙවෙනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටිති. ශ්‍රී ලංකාව තුළ මේ වන විට භාවිත කෙරෙන්නේ සයිනෝෆාම්, ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත්ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය මලික් පීරිස් කියා සිටියේ, එන්නතක පළමු මාත්‍රාව පමණක් ලබා ගෙන ඇත්නම් ඉන් ලැබෙන ආරක්ෂාව සැලකිය යුතු ලෙස අඩු බවය.
"ඔක්කොටම වඩා ප්‍රශ්නය තිබෙන්නේ එන්නතක එක මාත්‍රාවක්වත් ලැබුණු නැති අයට. කොවිඩ්වලින් වඩාත් වැඩි අනතුරක් තිබෙන්නේ වයස්ගත පුද්ගලයන්ට බව අපි දන්නවා. ඉතින් හැකි ඉක්මනින් ඒ උදවිය එන්නත් කිරීමයි අවශ්‍ය වෙන්නේ."
තවත් ප්‍රභේද ඇති වෙයිද? තුන් වෙනි එන්නතකුත් අවශ්‍ය වෙයිද?

බොහෝ විට තවත් ප්‍රභේද ඇති විය හැකි බව විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ඩෙල්ටා ප්ලස් ඊට හොඳම උදාහරණයයි.
තුන් වෙනි මාත්‍රාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව, එන්නන් වර්ගයෙන් වර්ගයට වෙනස් විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් පවසයි.
"දැනට හොඳින් තොරතුරු තිබෙන ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා වගේ එන්නත්වල මාත්‍රා දෙක සම්පූර්ණ කළ විට සෑහෙන කාලයක් ප්‍රතිශක්තිය රඳා පවතින බව තමයි පෙනෙන්න තිබෙන්නේ."
දෙවෙනි මාත්‍රාව ලබා ගත් පසු ඇති වෙන ප්‍රතිශක්තිය යළි ඉහළ නැංවීමට (Booster) තුන් වෙනි මාත්‍රාවක් ලබා දීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හෝ වෙනත් ආයතනයක් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව මහාචාර්යවරයා කියා සිටියේය.
"නමුත් මම හිතන්නේ ඩෙල්ටා හෝ වෙන වෙන ප්‍රභේද මතු වෙලා එන්නතෙන් ලබා දෙන ප්‍රතිශක්තිය අඩු වීමක් සිදු වෙනවා නම් තුන් වෙනි එන්නතක් දෙන්න වෙන තත්ත්වයක් ඇති විය හැකියි. නමුත් දැනට ලංකාවට තිබෙන පළමු ප්‍රශ්නය පුළුවන් ඉක්මනින් ජනතාවට පළමු සහ දෙවෙනි මාත්‍රා ලබා දීම," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ ගැනත් කියවන්න:










