කොවිඩ්-19: FLiRT ප්‍රභේද මොනවා ද?

Woman having symptoms of Covid-19 lies covered in blanket in isolation with handkerchiefs and pills next to her.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ යුරෝපය කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කර ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, FLiRT යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නව කොවිඩ් ප්‍රභේද සමූහයක් ලොව ආධිපත්‍යය දරන කොරෝනා වෛරස ආකාර බවට පත්ව තිබේ.

ඔබ දැනගත යුතු සියලු දෑ පහතින් දැක්වේ.

මොනවා ද මේ නව කොවිඩ් ප්‍රභේද?

FLiRT යනු, නිල නොවන අන්වර්ථ නාමයකි. එය ප්‍රභේදවල ප්‍රවේණි කේතයේ ඇති විකෘතිවල නම්වලින් ආභාෂය ලබා ඇත. ඒවා පැවත එන්නේ, ප්‍රමුඛ ප්‍රභේදයක් වන JN.1 ප්‍රභේදයෙනි. JN.1 යනු, කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතියකි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව, ඒවායේ ස්පයික් ප්‍රෝටීන් මත ප්‍රධාන විකෘති තුනක් දක්නට ලැබෙන අතර එම විකෘති ප්‍රතිදේහ මග හැරීමට උපකාරී වේ.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය පවසන්නේ, මෙම නව ප්‍රභේදයන් කෙතරම් දරුණු සහ සම්ප්‍රේෂණය විය හැකි ද යන්න තේරුම් ගැනීමට “වැඩිදුර දත්ත” අවශ්‍ය බව ය. නමුත්, එක්සත් රාජධානියේ සංසරණය වන අනෙකුත් ප්‍රභේද සමග සසඳන විට ඒවායේ බරපතළභාවයේ වෙනසක් පිළිබඳ කිසිදු සාක්ෂියක් දැනට නොමැති බව ඔවුහු පවසති.

කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වනවා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව අප්‍රේල් අග සිට මැයි අවසානය දක්වා වාර්තා වුණු ආසාදන දෙස බැලූ අතර, එය තවමත් අඛණ්ඩව රෝගීන් වාර්තා වන රටවලින් පෙර මාසයට සාපේක්ෂව අඩුවීමක් ඇතැයි වාර්තා කළේ ය.

කොවිඩ් රෝගීන් පරීක්ෂා කිරීම සහ වාර්තා වීම පෙර තිබූ තරම් පුළුල් මට්ටමින් සිදු නොවන බව සඳහන් කිරීම වටී.

කෙසේ වෙතත්, ඇතැම් රටවල, රෝගීන් වැඩි වී ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව (British Medical Journal) පවසන්නේ, "මැයි සහ ජූනි මාසවලදී එංගලන්තයේ SARS-CoV-2 ආසාදනය වුණු රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබිණි.

යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවල ද කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇත.

"එක්සත් ජනපදයේ ත් වෛරසය ආසාදනය වුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පැවති අතර, ජූනි 22 දක්වා සතිය තුළ ආසාදිතයින් ගණන 1.4%කින් වැඩි විණි."

A hand wearing a latex glove holds a small clear tube and dips a cotton swab into the liquid.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව දැන් කොවිඩ්-19 සඳහා වෙනදා මෙන් නිතර පරීක්‍ෂා කිරීම් නොකරති

FLiRT ප්‍රභේදවල රෝග ලක්ෂණ මොනවා ද?

එහි රෝග ලක්ෂණ ද COVID-19හි අනෙකුත් ආකාරවලට සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ; "රෝග ලක්ෂණ ඇති වීම සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින 5-6ත් අතර කාලයකට පසුව ආරම්භ වන අතර ඒවා දින 1-14 දක්වා පවතින," බව ය.

වඩා ත් සුලබ රෝග ලක්ෂණ වන්නේ:

  • උණ
  • සීතල දැනීම සහ වෙව්ලීම
  • උගුරේ වේදනාව

දුලබ රෝග ලක්ෂණ වන්නේ:

  • මාංශ පේශි කැක්කුම සහ අත් හෝ පාද චලනය කිරීමට අපහසු බවක් දැනීම
  • දැඩි තෙහෙට්ටුව හෝ මහන්සිය
  • නාසයෙන් දියර ගැලීම හෝ අවහිර වීම, හෝ කිවිසුම් යාම
  • හිසරදය
  • ඇස්වල වේදනාව
  • කරකැවිල්ල
  • නව සහ කලක් පුරා පවතින කැස්ස
  • පපුවේ හිර ස්වභාවයක් හෝ පපුවේ වේදනාව
  • කෙටි හුස්ම ගැනීම
  • උගුර බැරෑඬි වීම
  • හිරි ගතිය හෝ කටු අණින ස්වභාවයක් දැනීම
  • ආහාර අරුචිය, ඔක්කාරය, වමනය, උදරයේ වේදනාව හෝ පාචනය
  • රස හෝ සුවඳ නොදැනීම
  • නිදාගැනීමේ අපහසුතාව

පහත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි:

  • හුස්ම ගැනීමේ අපහසුතාව, විශේෂයෙන් ම විවේකීව සිටීමේදී හෝ නොකඩවා කතා කිරීමට ඇති අපහසුතාව
  • සිහි මද ගතිය
  • නිදිමත හෝ සිහි නැති වීම
  • කලක් පුරා පවතින පපුවේ වේදනාව හෝ තෙරපුමක ස්වභාවය
  • සම සීතල වීම හෝ දහඩිය දැමීම, හෝ සුදුමැලි හෝ නිල් පැහැයක් ගැනීම
  • කතා කිරීමට සහ චලනය වීමට නොහැකි වීම

වත්මන් එන්නත් FLiRT ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනවා ද?

නව ප්‍රභේදවලට එරෙහිව වර්තමාන එන්නත් තවමත් යම්තාක් දුරකට සාර්ථක විය යුතු බව නිව් යෝර්ක්හි ඕෂන්සයිඩ්හි Mount Sinai South Nassau රෝහලේ ආසාදන රෝග පිළිබඳ ප්‍රධානී සහ ඇමෙරිකාවේ බෝවන රෝග සංගමයේ ප්‍රකාශක වෛද්‍ය ඇරන් ග්ලැට් පවසයි.

2022 සිට, සෞඛ්‍ය නියාමකයින් එන්නත් සාදන්නන්ගෙන්, සංසරණය වන ප්‍රභේද වඩා ත් හොඳින් ඉලක්ක වන පරිදි කොවිඩ්-19 එන්නත්වල නව ආකාර නිපදවන ලෙසට ඉල්ලීම් කර ඇත.

යුරෝපයේ [සෞඛ්‍ය] බලධාරීන් පවසා ඇත්තේ, එන්නත් නිෂ්පාදකයින් JN.1 ප්‍රභේදය ඉලක්ක කළ යුතු බව ය.

එක්සත් ජනපද නියාමකයින් JN.1 පෙළපතේ ප්‍රභේද ඉලක්ක කිරීම සඳහා එන්නත් නිපදවන ලෙස ඉල්ලා සිටි නමුත්, පසුව පැවසුවේ, එන්නත් නිපදවිය යුත්තේ ජූනි මාසයේදී ප්‍රමුඛ වූ KP.2 ප්‍රභේදය ඉලක්ක කර ගෙන බව ය.