කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සා යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට අභියෝගයක් වෙමින් තිබේ ද?

ශ්‍රී ලංකාවේ මේ දිනවල යළිත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතී. ඒ, කොවිඩ්-19 මරණ කිහිපයක් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ මේ දිනවල යළිත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතී.ඒ, කොවිඩ්-19 මරණ කිහිපයක් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග ය.

‘කොවිඩ් මරණ 3ක්’

අප්‍රේල් 12 වන දා සිට අප්‍රේල් 17 වන දා දක්වා ගතවූ දින 5ක කාලය තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවූ බවට සැකකෙරෙන මරණ 3ක් වාර්තා වී තිබේ.

ඉන් ආසන්නතම මරණය වාර්තා වූයේ, බදාදා (අප්‍රේල් 17) වන දා ය.

කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු 17 වන දා මිය ගිය බව මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි වාර්තා කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, දෙමන්හංදිය නව නගරයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.

මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, වෛද්‍ය වාර්තා හා සාක්ෂි අනුව අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොවිඩ් නියුමෝනියාව වැළඳීමෙන් මෙම මරණය සිදුව ඇති බව ය.

මේ අතර, කොවිඩ් ආසාදනය වී යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් 12 වන දා මියගොස් තිබිණි.

ඊට අමතරව, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ කාන්තාවකට කොවිඩ් 19 වැළඳී තිබුණු බව අනාවරණය වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ කර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, මෙම මරණ කොවිඩ්-19 ආසාදනයෙන් සිදුවූ මරණ බවට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.

මේ අතර, කොවිඩ්-19 බවට සැකකෙරෙන මරණ තුනක් වාර්තා වූ පමණින් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් සොයා බැලීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව ය.

"යම් මරණයක් සිදුවුණ හේතුව නිශ්චය කර ගන්න අමාරු අවස්ථාවකදී කොවිඩ්-19 පරීක්ෂාවක් කරන්න පුළුවන්. නැත්නම් කොවිඩ් පරීක්ෂණ කටයුතු මේ වෙනකොට නතර කරල තියෙන නිසා ආසාදිතයින් හමු වෙන්නෙ නෑ. ඒ වුණත් ඒක බියක් ඇති කර ගන්න කාරණයක් නෙවෙයි. දවසකට රිය අනතුරුවලින් මිනිස්සු කී දෙනෙක් මැරෙනවා ද? බෝ නොවන රෝගවලට කී දෙනෙක් ගොදුරු වෙනවා ද? ඒ නිසා සතියක් ඇතුළත කොවිඩ්වලින් බවට සැක කෙරෙන මරණ තුනක් සිද්ධ වුණා කියන එක බයක් ඇති කර ගන්න කාරණයක් නෙවෙයි. කොහොම වුණත්, කොවිඩ් හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර ගැනීම වැදගත්," වෛද්‍ය පාලිත රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක්

මේ අතර, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එම රෝගීන් හඳුනාගෙන ඇති බව ය.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවෙස්වල රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරසයක් නිසා ඇති වෙන එකක්. ඒ නිසා ඒක ගොඩක් බෝවෙන තත්ත්වයක් තියෙනවා. එවැනි රෝගීන් වෙනත් අයගෙන් ඈත්ව සිටීම වැදගත්. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙනුත් ඵලක් නැහැ. මේ රෝගය සුව වෙන්න සතියක පමණ කාලයක් ගත වෙනවා," වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී.

*උණ

*කැස්ස

*උගුරේ ආබාධ‍

*නාසයේ සොටු ගැලීම

*මස් පිඩු වේදනාව

*හිසරදය

*තෙහෙට්ටුව‍

*වමනය

රෝගය වැළඳීම සහ සුවවීම

පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය.

4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය.

8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය.

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය. එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය. එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය.

මැයි සිට ජූලි දක්වා රෝගය උච්ච වීමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති වන්නේ, ලෝකයේ සෑම ප්‍රදේශයක ම සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මගිනි.

'ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳෙන බොහෝ අය සතියක් ඇතුළත උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් රෝග ලක්ෂණ වලින් සුවය ලැබුව ද, රෝගයේ බරපතළකම වෙනස් විය හැකි අතර, විශේෂයෙන් වයෝවෘද්ධ පුද්ගලයින්, කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ දිගු කාලීන සංකූලතා තත්ත්වයන් ඇති ඉහළ අවදානම් කණ්ඩායම්වල, රෝහල්ගත වීම් හා මරණයන්ට මෙම රෝගය හේතු විය හැකි,' බවට වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

එම අංශය පවසන්නේ, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලවලදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩි විය හැකි අතර, වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති විට ප්‍රධාන උච්ච අවස්ථා දෙකක් ඇති බව ය.

එම උච්ච අවස්ථා දෙක වන්නේ, මැයි මස සිට ජූලි මස දක්වා සහ නොවැම්බර් මස සිට ජනවාරි මස දක්වා ය.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය යනු එක ම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවර කිහිපයක් සහිත රෝගයක් බව වෛද්‍යවරු පවසති.