කොවිඩ් එන්නත්: දෙවසරකට පසු ප්‍රතිඵල සහ අතුරු ආබාධ ගැන අපි උගත් දේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඔන්ඩ්‍රේ බියර්නොට්
- Role, බීබීසී පුවත් බ්‍රසීලය
ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ පැවති නව ප්‍රදර්ශනයක් හරහා කොවිඩ්-19ට එරෙහි එන්නත්වල ප්‍රගතිය සහ බෙදා හැරීමේ සාර්ථකත්වය පිළිබඳව සවිස්තරාත්මක සොයා බැලීමක් සිදුකර තිබේ.
එක් රාක්කයක සිරින්ජයක්, එන්නත් කුප්පියක් සහ කාඩ්බෝඩ් තැටියක් තබා ඇත. 2020 දෙසැම්බර් 8 වන දින ඒවා භාවිතයට ගැනුනේ 90-හැවිරිදි ඉංග්‍රීසි ජාතික මාග්‍රට් කීනන්, සායනික අධ්‍යයනවලින් පිටත කොවිඩ් එන්නතක් ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට පත්වූ අවස්ථාවේ දී ය.
එතැන් සිට, බූස්ටර් එන්නත් සහ කොරෝනාවෛරසයේ නව ප්‍රභේදවලින් ආරක්ෂා කරන නවීකරණය කරන ලද ප්‍රතිශක්තිකාරක ඇතුළුව ලොව පුරා මාත්‍රා බිලියන 13ක් ලබා දී ඇත. මෙම වසර දෙක තුළ අපි උගත්තේ මොනවා ද? එන්නත්වල සඵලතාව පිළිබඳව දත්ත හෙළි කරන්නේ මොනවා ද? අතුරු ආබාධ ගැන දන්නේ මොනවා ද?
කෙටියෙන් කිවහොත්, ලොව පුරා රෝහල්ගතවීම් සහ මරණ මැඬපැවැත්වීම සඳහා කොවිඩ්වලට එරෙහිව අනුමත කරන ලද එන්නත් මූලික වශයෙන් වැදගත් වූබව පර්යේෂණවලින් පෙනී යයි. එන්නත් නොතිබුණේ නම්, සෞඛ්‍ය අර්බුදයෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යනු ඇත.
ඊට අමතරව, මහජන සෞඛ්‍ය ආයතන සලකන්නේ වඩාත් බරපතළ අතුරු ආබාධ ඇතිවීම දුලබ බව ය.
එම ප්‍රකාශ පිටුපස ඇත්තේ මොනවාදැ යි අපි දැන් විමසා බලමු.
ප්‍රයෝගික බලපෑම්
විශාල ජනගහණයකට එන්නත් මාත්‍රා ලබාදීම ඇරඹි දා පටන්, කොරෝනාවෛරසයට අදාළ ලොව පුරා රෝහල්ගතවීම් සහ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස පහත වැටී තිබිණි.
ඔමික්‍රොන් වැනි වැඩි වේගයකින් සම්ප්‍රේෂණය විය හැකි ප්‍රභේදවල ඉහළයෑම සමග පවා, ප්‍රතිශක්තිකරණය බොහෝ මිනිසුන් දරුණු ලෙස රෝගාතුර නොවීම හෝ මිය නොයෑම සහතික කළේ ය.
දෙසැම්බර් 13 වන දින ප්‍රකාශයට පත්කරන ලද සමීක්ෂණයක දී පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල, එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයයේ මහජන සෞඛ්‍ය විද්‍යාලයයේ විද්‍යාඥයින්ට තීරණාත්මක ප්‍රශ්නයකට පිළිතුරු දීමට ආරාධනා කළේ ය: "කොවිඩ්-19ට එරෙහිව එන්නත් නොතිබුණා නම් කුමක් සිදුවන්නට තිබුණේ ද?"
පසුගිය වසර දෙක තුළ කොවිඩ් හේතුවෙන් එක්සත් ජනපදය පමණක් මිලියන 18.5ක රෝහල්ගතකිරීම්වලට සහ මිලියන 3.2ක අතිරේක මරණවලට මුහුණදීමට ඉඩ තිබුණු බව එහි ප්‍රතිඵල පෙන්වා දෙයි. ඊට අමතරව, අමෙරිකානු එන්නත් වැඩසටහන මඟින් ඩොලර් ට්‍රිලියන 1.15ක වෛද්‍ය වියදම් ඉතිරිකර ඇති බව ද එය පෙන්වා දෙයි - එය අමතර රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යවීමට ඉඩ තිබුණු මුදල් ප්‍රමාණය යි.
"2020 දෙසැම්බර් 12 වන දා සිට එක්සත් ජනපදයෙන් ආසාදන මිලියන 82ක්, රෝහල්ගතවීම් මිලියන 4.8ක් සහ මරණ 798,000ක් වාර්තා වී තිබෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, එන්නත් නොමැතිව එක්සත් ජනපදය 1.5 ගුණයකින් වැඩි ආසාදන, 3.8 ගුණයකින් වැඩි රෝහල්ගතවීම් සහ 4.1 ගුණයකින් වැඩි මරණ අත්විඳීමට ඉඩ තිබුණා," කතුවරු පවසති.
"කොවිඩ්වලට එරෙහිව එන්නත් කිරීම බොහෝ පිරිසකට මරණය සහ දිවි ගලවාගැනීම අතර වෙනස පහදා දුන්නා," බ්‍රසීලියානු ප්‍රතිශක්තිකරණ සංගමයේ උපසභාපති වෛද්‍ය ඉසබෙලා බැලලායි පවසයි.

වෛද්‍ය බැලලායිගේ රට වන බ්‍රසීලය වෛරසයේ දැඩි බලපෑමට ලක්වූ රටක් වන අතර, එය එන්නත් ඵලදායි වූ ආකාරය පිළිබඳ හොඳ නිදසුනකි.
2021 ජනවාරි මාසයේ දී පළමු ප්‍රතිශක්තිකාරක අනුමත කරන විට, වසංගතය ආරම්භයේ පටන් බ්‍රසීලය එහි වඩාත්ම තීරණාත්මක අවස්ථාවට ළඟාවෙමින් සිටියේ ය.
ජාතික සෞඛ්‍ය ලේකම්වරුන්ගේ කවුන්සිලයට අනුව, පසුගිය වසරේ මාර්තු අග සහ අප්‍රේල් මුල අතර, නව ආසාදන දිනකට 72 000 දක්වා ළඟාවෙද්දී දෛනිකව වාර්තා වුණු කොවිඩ් මරණ සාමාන්‍යය 3000 ඉක්මවා ගියේ ය.
සති ගණන් ගෙවී යන විට, සහ එන්නත් කරන ලද බ්‍රසීලියානුවන්ගේ ප්‍රතිශතය ඉහළ යන විට මරණ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටීමට පටන් ගත්තේ ය.
ඔමික්‍රොන් ප්‍රභේදයේ පැමිණීමත් සමග 2022 ජනවාරි මාසයේ දී මෙම සංඛ්‍යා නැවත ඉහළයාමට පටන් ගත්තේ ය. නමුත් මෙම නව රැල්ලේ උච්චතම අවස්ථාවේ වාර්තා වුණේ දෛනික මරණ 950කි - එය පෙර වාර්තා වූ ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා අඩු ය.
අතුරු ආබාධ ගැන කුමක් කිව හැකි ද?
"කාලය ගතවන විට සහ කොවිඩ් එන්නත් මාත්‍රා වැඩි වශයෙන් ලබා දෙන විට, ඒවායේ ආරක්ෂාව පිළිබඳව අපට වැඩි විශ්වාසයක් ඇති වනවා," වෛද්‍ය බැලලායි පවසයි.
පසුගිය වසර දෙක තුළ, නියාමන ආයතන සහ මහජන සෞඛ්‍ය ආයතන, එන්නත් කිරීමෙන් පසු ඇතිවූවා වියහැකි අහිතකර ප්‍රතිඵල එකිනෙක නිරීක්ෂණය කිරීමට සහ විමර්ශනය කිරීමට විශාල උත්සහයක් දරමින් සිටියේ ය. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) පෙන්වා දෙන්නේ, "බරපතළ අතුරු ආබාධ ඉතා දුලබ" බව ය. එන්නත ලබා දීමෙන් පසු වැඩි වශයෙන් ඇති වූ අපහසුතාවන් ලෙස ඔවුන් ඉස්මතු කරන්නේ:
- එන්නත ලබාදුන් ස්ථානයේ ඇති වන වේදනාව
- තෙහෙට්ටුව
- හිසරදය
- ශරීරයේ ඇතිවන වේදනාව
- උණ
- අසනීප බවක් දැනීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍ය රජය පවසන්නේ, "මෙම අතුරු ආබාධ බොහොමයක් මෘදු වන අතර සතියකට වඩා අඩු කාලයක් පැවතිය හැකි" බව ය.
නමුත් බරපතළ අතුරු ආබාධ ගැන කුමක් කිව හැකි ද? නවතම සංඛ්‍යා දත්ත පවසන්නේ කුමක් ද? එවැනි සංඛ්‍යාලේඛන පිළිබඳ වඩාත්ම යාවත්කාලීන වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථාන (CDC) විසිනි.
CDCට අනුව, මෙතෙක් දන්නා බරපතළ ම අතුරු ආබාධ මේවා ය:
- ඇනෆිලැක්සිස් (එන්නත ලබා දීමෙන් පසු ඇතිවන දරුණු ආසාත්මික ප්‍රතික්‍රියාවක්): එන්නත් කරන ලද මාත්‍රා මිලියනයකට අවස්ථා පහක්
- ජැන්සන් එන්නත හා සම්බන්ධ රුධිර ගුටිකාරෝධය [නහරයක ලේ කැටිගැසීම]: එන්නත් කරන ලද මාත්‍රා මිලියනයකට අවස්ථා හතරක්
- ජැන්සන් එන්නත හා සම්බන්ධ ගීයන්-බාරේ සින්ඩ්‍රෝමය [ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන අතර එය පර්යන්ත ස්නායු හානි හා අංශභාගය ඇති කරයි] නිල සංඛ්‍යා දත්ත නොමැති නමුත් ෆයිසර් මාත්‍රා ලබාගත් අය හා සසඳන විට මෙම එන්නත මඟින් ප්‍රතිශක්තිකරණය කරන ලද අවුරුදු 50ට වැඩි පිරිමින් අතර "කුඩා වැඩිවීමක්" දක්නට ලැබේ
- ෆයිසර් එන්නත ලබා ගත් තරුණ පිරිස් තුළ වහිර්කන්තුදාහය සහ පරිකන්තුදාහය (හෘදයේ ඇති වන ඉදිමුම සහිත ප්‍රදාහය): වයස අවුරුදු 12 සිට 15 දක්වා එන්නත් කරන ලද මාත්‍රා මිලියනයකට අවස්ථා 70.7ක්. වයස අවුරුදු 16 සිට 17 දක්වා එන්නත් කරන ලද මාත්‍රා මිලියනයකට අවස්ථා 105.9ක්. වයස අවුරුදු 18 සිට 24 දක්වා එන්නත් කරන ලද මාත්‍රාව මිලියනයකට අවස්ථා 52.4ක්
CDC වාර්තා කරන්නේ, "ප්‍රතිකාර ලබා ගත් වහිර්කන්තුදාහය සහ පරිකන්තුදාහය ඇති බොහෝ රෝගීන් බෙහෙත්වලට සහ විවේකයට හොඳින් ප්‍රතිචාර දැක්වූ අතර ඉක්මනින් සුවපත් වූ" බව ය.
එය තවදුරටත් මෙසේ පවසයි: "ආරක්ෂිත අධීක්ෂණ පද්ධතිවල දත්ත පිළිබඳ බොහොමයක් අධ්‍යයන සහ සමාලෝචන එන්නත් ආරක්ෂිත බව අඛණ්ඩව පෙන්වයි."
මරණ සම්බන්ධයෙන් ගත්කල, එක්සත් ජනපදයේ වාර්තා පෙන්නුම් කරන්නේ 2022 දෙසැම්බර් 7 වන දින දක්වා රට තුළ ලබාදුන් මාත්‍රා මිලියන 657න් පසුව මරණ 17,800ක් එන්නත් කිරීමෙන් පසුව (හෝ මුළු ප්‍රමාණයෙන් 0.0027%) වූ බවට හඳුනාගෙන ඇති බව ය [ඊට ඍජු හේතුව එන්නත් ලබාදීමබවට හඳුනාගෙන නොමැති වුව ද].
වෛද්‍ය වාර්තා විශ්ලේෂණයෙන් සහ මරණ පරීක්ෂණ මඟින් මෙම සියලු සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීමේ දී ජැන්සන් එන්නත භාවිතය හා සම්බන්ධ මරණ නවයක් පමණක් සොයාගෙන ඇත.
වෛද්‍ය බැලලායි අවධාරණය කරන්නේ, කිසිදු ඖෂධයක්, එන්නතක් හෝ පිළිවෙතක් අවදානම් රහිත නොවන බව ය.
"එන්නත් කිරීමේ පිරිවැය එලදායිතාව ඉඳහිට ඇතිවන සහ දුර්ලභ ගැටලුවලට වඩා වැඩිබව මෙම සියලු සංඛ්‍යා දත්ත පෙන්නුම් කරනවා," ඇය පවසයි.
ඊළඟට සිදුවන දේ
කොවිඩ්-19ට එරෙහි පළමු එන්නත් ලබාදී වසර දෙකක් ගතවුව ද කොරෝනාවෛරසය ඵලදායි ලෙස පාලනය කරන තෙක් තවමත් අභියෝග රාශියක් පවතියි.
"ගෝලීය දෘෂ්ටිකෝණයෙන් බලනකල, ප්‍රතිශක්තිකරණයෙන් බොහෝ පසුපසින් සිටින රටවල් තිබෙනවා," වසංගත රෝග විද්‍යාඥ ඔන්ඩ්‍රේ රීබස් ෆ්‍රීටස් පවසයි.
නිදසුනක් වශයෙන්, හයිටියේ මුල් මාත්‍රා දෙක ගෙන ඇත්තේ ජනගහණයෙන් 2%ක් පමණි. ඇල්ජීරියාව (15%), මාලි (12%), කොංගෝ (4%) සහ යේමනය (2%) වැනි රටවල ද සංඛ්‍යාව අඩු ය.
"ඉහළ වෛරස් සම්ප්‍රේෂණයක් පැවතීම, වැඩි වශයෙන් සම්ප්‍රේෂණය විය හැකි හෝ ව්‍යාධිජනක ප්‍රභේද මතුවීමේ අවදානමක් පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි," ඔහු අනතුරු අඟවයි.











