කොවිඩ් එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ඇස්ට්‍රාසෙනෙකා සමාගම සැරසේ

A syringe in a bottle of vaccine

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇස්ට්‍රාසෙනෙකා සමාගම ප්‍රකාශ කළේ, තමන් එන්නත පිළිබඳව "අතිශයින් ආඩම්බර" වන නමුත් තමන් වාණිජමය තීරණයක් ගෙන ඇති බව ය.
    • Author, ජේම්ස් ගැලගර්
    • Role, සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු

බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබා දීමෙන් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට සූදානම් වේ.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම ප්‍රකාශ කළේ, තමන් එන්නත පිළිබඳව "අතිශයින් ආඩම්බර" වන නමුත් තමන් වාණිජමය තීරණයක් ගෙන ඇති බව ය.

කොරෝනාවෛරසයේ නව ප්‍රභේද ඇති වීම හේතුවෙන් යාවත්කාලීන කරන ලද නව එන්නත් වෙත ඉල්ලුම වෙනස් වී ඇතැයි එම සමාගම පැවසීය.

ඔවුන්ගේ එන්නත වසංගතය අතරතුර මිලියන ගණනකගේ ජීවිත බේරා ගෙන ඇතැයි ගණන් බලා ඇති නමුත් එය දුර්ලභ හා ඇතැම් විට මාරාන්තික රුධිර කැටි ගැසීම් ද ඇති කළේ ය.

වසංගතය හේතුවෙන් වසා දමා තිබුණු ලෝකය නැවත විවෘත කිරීම සඳහා පැවති තරගයේදී මෙම කොවිඩ් එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් වාර්තාගත කාලයකදී නිපදවන ලදී. සාමාන්‍යයෙන් වසර 10ක් ගතවන ක්‍රියාවලියක් මාස 10ක් පමණ දක්වා එහිදී වේගවත් විය.

2020 නොවැම්බරයේදී, එය අනෙකුත් කොවිඩ් එන්නත්වලට වඩා බෙහෙවින් ලාභදායී සහ ගබඩා කිරීමට පහසු වූ බැවින් "ලෝකය සඳහා එන්නතක්" ලෙස ප්‍රකාශ කෙරිණි. ඖෂධ කර්මාන්තයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමාගම එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට එකඟ වී තිබිණි.

මුලදී, එය අගුලු දැමීමෙන් නැවත යථා තත්වයට පත්වීමට එක්සත් රාජධානියේ සැලසුම් සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.

"සත්‍යය නම් එය අතිවිශාල වෙනසක් ඇති කළා. ඒ වනවිට දිග හැරෙමින් තිබූ ව්‍යසනයෙන් අපව ගොඩ ගත්තේ ඒක. ෆයිසර් ඉඳලා අනෙක් එන්නත් සමග එකතුවෙන්," බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇඩම් ෆින් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙස අසාමාන්‍ය රුධිර කැටි ගැසීම් මතුවීමත් සමග එහි කීර්තිය පළුදු වූ අතර එක්සත් රාජධානිය විකල්ප වෙත යොමු විය.

නිවේදනයක් නිකුත් කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම මෙසේ පැවසීය: "ස්වාධීන ගණන් බැලීම්වලට අනුව, [මෙම එන්නත] භාවිතයේ පළමු වසර තුළ පමණක් මිලියන 6.5කට වඩා වැඩි ජීවිත ගණනක් බේරා ගෙන තිබේ."

"අපගේ උත්සහයන් ලොව පුරා රජයන් විසින් හඳුනාගනු ලැබ ඇති අතර ගෝලීය වසංගතය අවසන් කිරීමේ තීරණාත්මක සාධකයක් ලෙස පුළුල් ලෙස සැලකිණි."

මේ වන විට සංසරණය වන කොවිඩ්වල විකෘති ආකාරවලට වඩා ත් සමීපව ගැළපෙන නව එන්නත් නිෂ්පාදනය කිරීමෙන් අදහස් කළේ, "යාවත්කාලීන කරන ලද එන්නත් අතිරික්තයක් ඇති බව ත්, එය තම සමාගම "තවදුරටත් නිෂ්පාදනය හෝ සැපයීම සිදු නොකරන" එන්නත් සඳහා ඇති "ඉල්ලුම පහත වැටීමට" තුඩු දුන් බව ත් ඔවුහු පැවසූහ.

මහාචාර්ය ෆින් මෙසේ ද පැවසීය: "මම හිතන්නේ එන්නත භාවිතයෙන් ඉවත් කිරීමෙන් එය තවදුරටත් ප්‍රයෝජනවත් නොවන බව පිළිබිඹු කරනවා."

"මෙම වෛරසය ඉතා ඉක්මනට වෙනස් වෙනවා සහ ඒක මුල් එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන විදිහට පරිණාමය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ එන්නත්වල වැදගත්කම නැති වෙලා ගිහින් අලුතින් හදපු එන්නත් විතරයි භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ."