'වේදනාවේ පරිමාණය' මැනීමට බාහිර මිනුම් දණ්ඩක් තිබේද?

pain

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එය කෙතරම් වේදනාත්මක ද? එය වෛද්‍ය විද්‍යාවෙහි පහසු ප්‍රශ්නයක් ලෙස ඔබ සිතනවා විය හැකිය. නමුත් සත්‍ය ලෙස එය සාපේක්ෂව පිළිතුරු දීමට ඉතා අපහසු ප්‍රශ්නයක් වේ.

ඔවුන්ට ඇති වේදනාව පැහැදිලි කිරීමට එක සමාන වචන භාවිත කරන රෝගීන් දෙදෙනෙකු සිටින වෛද්‍යවරයෙකු පිළිබඳව සිතා බලන්න. ඔවුන් එක සමාන වේදනාවකින් පෙලෙන බවට වෛද්‍යවරයාට සහතික විය හැකි ද? යමෙකු පුරුද්දක් ලෙස ඔවුන්ගේ වේදනාව අවතක්සේරු කරන්නේ නම් කුමක් කළ යුතු ද? යමෙකු දිගු කලක සිට වේදනාවෙන් සිටිමෙන් ඔහු ඊට අනුගත වී ඇත්නම් කුමක් කළ යුතු ද? යම් හෙයකින් වෛද්‍යවරයා ඔහුගේ පූර්ව මතය පදනම්වී එක් රෝගියෙකුට වඩා අනෙක් රෝගියා විශ්වාස කිරීමට වැඩි ඉඩක් තිබේ ද?

වේදනාව යනු පොර බැඳීමට ඉතා අපහසු දෙයක් වන අතර, එය මැන බැලීම අපහසු වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ද අපහසු ය. වේදනාව වැදගත් සංඥාවක් වන අතර එය පිළිබඳ සොයා බැලීම අතපසු කිරීමෙන් ජීවිතයක් බේරාගැනීමට ඇති අවස්ථාව අතපසු විය හැකි ය. නමුත් එය ඊට වඩා සුළු දෙයක් ද විය හැකිය.

මෙවැනි කරුණු හේතුවෙන් වේදනාව තවමත් අභිරහසක් ලෙස පවතින අතර, විශේෂයෙන් යමෙකු කෙතරම් වේදනාවෙන් සිටිනවා ද තීරණය කිරීම අපහසු වේ. "අපට ඒ ගැන ලොකු අවබෝධයක් නෑ," ස්ටෑන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලයයේ වේදනාව පිළිබඳ පර්යේෂණවල නියැලෙන පරිගණක විද්‍යාඥවරියක් වන එමා පියර්සන් පවසයි. "විශේෂයෙන්ම, රෝගියෙකුට වේදනාවක් දැනෙන්නේ ඇයි කියලා වෛද්‍යවරුන් නිතර කලබල වීමෙන් ඇඟවෙන්නේ වේදනාව ගැන අපේ වර්තමාන වෛද්‍ය විද්‍යාව සතු අවබෝධය තරමක් නරක බව යි."

වේදනාව පිළිබඳ මැන බැලීමේ ප්‍රමිතිය දැනට රඳා පවතින්නේ එය දැනෙන ආකාරය, ස්ථාන, අංක ක්‍රමය හෝ ස්මයිලි පරිමාණයක් යොදාගෙන රෝගියා සිදුකරන ස්වයං වාර්තා කිරීමක් මත ය.

"වේදනාවට ප්‍රමාණවත් ලෙස ප්‍රතිකාර කිරීමේ පළමු පියවර වෙන්නේ ඒක නිවැරදිව මනින එක. ඒක අභියෝගයක්," ඔහායෝහි ක්ලීව්ලන්ඩ් සායනයේ වේදනාව පිළිබඳව පර්යේෂණය කරන කණ්ඩායමේ ප්‍රධානි කාර්ල් සාබ් පවසයි. "වර්තමානයේ උවටැන ප්‍රමිතිය පදනම් වෙලා තියෙන්නේ හදිසි ප්‍රතිකාර කාමර පිරිලා තියෙන 'ස්මයිලි ෆේසස්' මත." මෙය රෝගීන්ට ගැටළුකාරී විය හැකි බවත්, විශේෂයෙන් ළමුන්ට සහ සන්නිවේදනය කිරීමට අපහසු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් ගැටළුකාරී විය හැකි බවත් ඔහු පවසා ඇත.

රෝගීන් ලබාදෙන ශ්‍රේණිගත කිරීම් විශ්වාස කළ හැකි ද යන ගැටළුව මීළඟට පැන නගියි. එක් අධ්‍යයනයක්, මිනිසුන් ඔවුන් විඳින වේදනාවේ මට්ටම අතිශයෝක්තියට නැංවීමට නැඹුරු වන බවට පුළුල් මතයක් ඇතැයි සොයාගෙන ඇත. නමුත් එය සාමාන්‍ය බව කීමට එතරම් සාක්ෂි නැත.

වේදනාව මැනීමට නිසි මිනුමක් නොමැති හෙයින් සායනික කරුණු පදනම්ව වෛද්‍යවරුන්ගේ තීරණ අගතිසහගත වීමට ඉඩක් ඇත. "අවම පහසුකම් සහිත ජනතාවට විශේෂයෙන් වේදනාව විශාල බලපෑමක් ඇති කරනවා. නමුත් ඔවුන්ගේ වේදනාව විශේෂයෙන්ම නොසලකා හැරීමට ඉඩ තිබෙනවා," පියර්සන් පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අවාසනාවකට, වේදනාව පිළිබඳ වැරදි විශ්වාසයන් වෛද්‍යවරුන් අතර බහුල ය. 2016 වර්ෂයේ සිදුකළ එක් අධ්‍යයනයකින් හෙළි වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ සුදු සමක් සහිත වෛද්‍ය සිසුන් සහ පදිංචිකරුවන්ගෙන් සියයට 50ක ප්‍රමාණයක් කළු ජාතිකයන්ගේ වේදනාව පිළිබඳ ඉතා භයානක සහ ව්‍යාජ අදහස් දරන බවයි. තවත් පර්යේෂණයකින් හෙළිවූයේ වෛද්‍ය සිසුන්ගෙන් අති බහුතරයක් ජ්‍යෙෂ්ඨයින්ගෙන් කළු ජාතිකයින් සම්බන්ධව සෘණාත්මක අදහස් අසා තිබෙන බැවින්, එම සිසුන්ගේ වාර්ගික පක්ෂග්‍රාහී මට්ටම ඔවුන්ගේ පළමු වසර හතරේ වෛද්‍ය පුහුණුව තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බවයි.

එවැනි ව්‍යාජ ප්‍රකාශ, වහල්භාවය යුක්තිසහගත කිරීමට ගත් ඓතිහාසික උත්සාහයන් දක්වා දිවෙන අතර, කළු ජාතිකයින්ට ඝන සමක් සහ වෙනස් ස්නායු අන්තයන් ඇති බවට වන වැරදි කරුණු ද ඇතුළත් ය. අමෙරිකා එක්සත් ජනපදයේ සුදු රෝගීන්ට වඩා කළු රෝගීන්ගේ වේදනාවට ප්‍රතිකාර කිරීම 40%ක් අඩු ය. සුදු සම සහිත රෝගීන්ට සමානව මධ්‍යම හා දකුණු අමෙරිකානු සම්භවයක් සහිත රෝගීන් වේදනාව සම්බන්ධයෙන් ප්‍රතිකාර ලැබීම 25%කින් අඩුය.

වාර්ගික වෙනස්කම වේදනාවට ප්‍රතිකාර කිරීමේ දී බලපාන එකම අහිතකර දෙය නොවේ. "උමතුවෙන් පෙලෙන කාන්තාවන්" පිළිබඳව ඇති පක්ෂග්‍රාහීත්වය තවමත් වෛද්‍ය විද්‍යාවේ වේදනාවෙහිලා විශේෂ වේ. වෙනම සිදුකළ අධ්‍යයන 77ක සමාලෝචනයකින් හෙළිවූයේ "සංවේදී" සහ "පැමිණිලිකිරීම" වැනි යෙදුම් බොහෝ විට කාන්තාවන්ගේ වේදනාව පිළිබඳව වාර්තාවන්ට යොදා ගැනෙන බව යි. පුද්ගලයින් 981ක් දෙනෙකු යොදා ගනිමින් සිදුකළ එක් අධ්‍යනයකින් හෙළි වූයේ වේදනාව හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පැමිණි කාන්තාවන්ට සහනයක් ලැබීමේ සම්භාවිතාව අඩු බවත්, ඔවුන්ගෙන් 33%ක පිරිසකට ප්‍රතිකාර සඳහා පිරිමින්ට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවූ බවත් ය. එයට අමතරව, පිරිමි සහ කාන්තාවන් සමාන මට්ටමේ වේදනාවක් පෙන්නුම් කරන අවස්ථාවේ දී පිරිමින්ට ප්‍රතිකාර සඳහා වඩාත් ප්‍රබල ඖෂධ ලබාදී තිබේ.

ස්වීඩනයේ ගොතන්බර්ග් සරසවියේ ස්ත්‍රී පුරුෂ සමානතාව පිළිබඳ පර්යේෂණයක් සිදුකරන ඇන්කේ සැමුලෝවීට්ස් පවසන ආකාරයට, කාන්තාවන් සහ පිරිමින් සඳහා "සාමාන්‍ය හැසිරීම" යනු කුමක්ද යන සමාජ අපේක්ෂාවන් මෙම රටාවන්ට මුල්වෙයි. මෙම පක්ෂග්‍රාහීත්වය "සෞඛ්‍ය සේවයේ දී කාන්තාවන් සහ පිරිමින්ට සලකන ආකාරයේ ආසාධාරණ වෙනස්කම්" වලට හේතුවෙයි.

යම් පැමිණිල්ලක දී පිරිමින්ට සහ කාන්තාවන්ට වෙනස් ප්‍රතිකාර ලැබීමට සැබෑ හේතු ඇති බව ද ඇය සඳහන් කරයි. "හෝමෝන සහ ජාන සමග සම්බන්ධ වෙනස්කම්, සමහර විට වේදනා නාශක ඖෂධ ලබාදීමේ වෙනස්කම්වලට තුඩු දිය හැකි," බව ඇය පවසයි. "නමුත් වේදනාව ඇති පිරිමින්ට සහ කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේ දී නිරීක්ෂණය කරන ලද සියලුම වෙනස්කම්, ජීව විද්‍යාත්මක වෙනස්කම් මඟින් පැහැදිලි කළ නොහැකියි."

The accepted ways of estimating a patient's pain leave room for physicians' bias to creep in

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝගියෙකුගේ වේදනාව තක්සේරු කිරීමේ පිළිගත් ක්‍රම වෛද්‍යවරුන්ගේ අගතියට ද ඉඩ සලසයි

වෛද්‍ය විද්‍යාවේ වේදනාව පිළිබඳ අගතිය සහ පක්ෂග්‍රාහීත්වය මඟහරවා ගැනීමට නව තාක්‍ෂණයට උපකාර කළ හැකි ද?

යමෙකුගේ වේදනාවේ තරම පිළිබඳ "කියවීමේ" මිනුමක් ලබා දීම සඳහා මෙම පරතරය පියවීමට නවෝත්පාදන කිහිපයක් සංවර්ධනය කිරීමට උත්සහ දරමින් තිබේ. මෙම තාක්ෂණයන් වේදනාව සඳහා වන "ජෛව සලකුණු" සොයා ගැනීම මත රඳා පවතින අතර, ඒවා වේදනාවේ අත්දැකීම සමග සහසම්බන්ධ, මැනිය හැකි ජීව විද්‍යාත්මක විචල්‍යයන් වේ.

සාබ් පවසන්නේ "ජීව සලකුණු නොමැතිව අපට වේදනාව නිසි ලෙස හඳුනා ගැනීමට සහ ප්‍රමාණවත් ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වේවි," යනුවෙනි. "දැඩි කොන්දේ වේදනාවකින් පෙලෙන අයෙක් ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාරය පිළිබඳ තක්සේරු කළ නොහැකි වේවි. එමෙන්ම සායනික අත්හදාබැලීම් වල දී නව ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමට අපට නොහැකි වේවි."

ශරීරයේ වේදනාව ඇතිවිට ක්‍රියාත්මක වන ජාන හඳුනා ගැනීමට හැකි නිශ්චිත රුධිර පරීක්ෂණයක් එක්සත් ජනපදයේ ඉන්දියානාහි පර්යේෂකයින් විසින් වර්ධනය කර ඇත. මෙම ජෛව සලකුණු මඟින් කෙනෙකුට වේදනාවක් ඇති බව පමණක් නොව, එය කෙතරම් දරුණු ද යන්න ද පෙන්නුම් කළ හැකිය.

මොළයේ ක්‍රියාකාරිත්වය තවත් ප්‍රයෝජනවත් ජෛව සලකුණක් විය හැකි ය. සාබ් සහ ඔහුගේ කණ්ඩායම බ්‍රවුන් සරසවියේ සිටිය දී මොළයේ ක්‍රියාකාරකම් අඩු වැඩි වන ආකාරය මැනිය හැකි උපකරණයක් නිර්මාණය කරන ලද අතර, එයට මොළයේ තීටා තරංග මැනිය හැකි ය. වේදනාවක දී එම තරංග ඉහළ ගොස් ඇත. වේදනා නාශක ලබාදීමෙන් තීටා ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමට අඩු කරන බව ද සාබ් සොයා ගෙන තිබේ.

කණ්ඩායමේ කාර්යය එතැන් සිට වෙනත් රසායනාගාර විසින් ස්වාධීනව අනුකරණය කර ඇත. කෙසේ වෙතත් තීටා තරංග පාදක කරගත් වේදනාව තක්සේරු කිරීම වේදනාව මනින වත්මන් ක්‍රමවලට විකල්පයක් නොව අතිරේකයක් ලෙස සාබ් දකියි.

"කෙනෙකුට හැඟෙන ආකාරය, වේදනාව හෝ වෙනත් මානසික තත්ත්වයක් අපට කිසිදාක නිශ්චිතව දැන ගැනීමට නොහැකි වේවි," සාබ් පවසයි. "වේදනාව ගැන රෝගියා ප්‍රකාශ කරනු ලබන දෙය සැබැවින්ම 'මූලික සත්‍යය' විය යුතුයි. ළමුන්, මානසික තත්ත්වය වෙනස් වූ වැඩිහිටියන්, සන්නිවේදනය නොකරන රෝගීන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම වාචික ප්‍රකාශය විශ්වාස කළ නොහැකි අවස්ථා වල දී මෙම අතිරේක ක්‍රමයන් රෝග විනිශ්චයක් ලෙස භාවිතා කිරීමට හැකියි."

Biomarkers could offer an objective way to measure a person's pain, which could be less prone to human bias

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පුද්ගලයෙකුගේ වේදනාව මැනීමට ජෛව සලකුණු වෛෂයික ක්‍රමයක් ඉදිරිපත් කරයි. එය මානව අගතියට ගොදුරු වීමට අඩු ප්‍රවණතාවක් දක්වයි

උග්‍ර වේදනාව අනතුරු ඇඟවීමක් ලෙස ක්‍රියා කරන බව සාබ් පෙන්වා දෙන අතර, නිධන්ගත වේදනාවන් "කිසිසේත් අප නොසලකා නොහැරිය යුතු" බව සාබ් පවසයි.

ඇතැම් විට, වේදනාවට හේතුවූ තත්ත්වය හෝ තුවාලය නිරීක්ෂණය කිරීම මඟින් එයට යහපත් සහ සාධාරණ ලෙස ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.

1957 දී පළමු වරට යෝජනා කරන ලද කෙල්ග්‍රේන් සහ ලෝරන්ස් පද්ධතිය, ඔස්ටියෝ ආතරයිටිස් නිසා දණහිසේ ඇති වන භෞතික වෙනස්කම්වල බරපතලකම දෙස බලයි. එහි එක් විවේචනයක් වූයේ අඩු ආදායම්ලාභීන් හෝ සුළු ජාතික කණ්ඩායම්හි රෝගීන් බොහෝ විට මෙම තත්ත්වයෙන් ඉහළ වේදනාවක් අත්විඳින බවයි. එය මෙම පුද්ගලයින්ට ද්විත්ව පහරක් එල්ල කරයි. පියර්සන් පැවසුවේ "මෙම බරපතල මිනුම් දණහිසේ සැත්කම් කරන අය කෙරෙහි දැඩි ලෙස බලපාන බැවින්, අඩු පහසුකම් සහිත කණ්ඩායම් ශල්‍යකර්ම සඳහා අඩුවෙන් යොමු විය හැකි," බවයි.

ස්ටැන්ෆර්ඩ්හි පියර්සන් සහ ඇගේ සගයන් නව ගැටළු විසදාලිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට සමත්විය. "වෛද්‍යවරයාට මඟහැරිය හැකි දණහිස් එක්ස් කිරණවල අමතර වේදනාවට අදාළ ලක්ෂණ සෙවීමට අපි 'ඩීප් ලර්නින් ප්‍රවේශයක් භාවිතා කළා. දණහිසේ එක්ස් කිරණ රූපයක් මඟින් 'ඩීප් ලර්නින්' ඇල්ගොරිත්මය පුහුණු කිරීමෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති රෝගීන්ගේ ඉහළ වේදනාව පැහැදිලි කළ හැකියි.

"මූලිකව මෙම ඇල්ගොරිදමය උපයෝගී කර ගැනීම ශල්‍යකර්ම සිදුකිරීමට උපකාරී වනවා. මේකට දොස්තරලට කියන්න පුළුවන් 'ඔබ පැවසුවා කිසිදු අයුරකින් මෙම රෝගියාට භෞතිකව දණහිසට හානියක් නැති බව, නමුත් එක්ස් කිරණ වාර්තාව අනුව එවැනි දෙයක් ඇතිබවට සංඥා කරනවා. ඔබට නැවත වරක් බැලීමට අවශ්‍යද?' කියලා."

පියර්සන් පැවසුවේ සැබෑ ලෝකයට ළඟාවීමට ඇල්ගොරිදමයට තවත් කල් ගතවනු ඇති බවයි. ඒ කෘත්‍රිම බුද්ධිය සමග වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය පුරා බහුලව පවතින අභියෝග වන යෙදවීම, සහ හොඳින් එකට වැඩ කිරීමට මිනිසුන් සහ ඇල්ගොරිතම පුහුණු කිරීම ජය ගැනීමට අවශ්‍ය නිසා ය. නමුත් ඔවුන්ගේ ඇල්ගොරිතම විසින් වේදනාව පුරෝකථනය කරන සහ වේදනාවේ පරතරය අඩු කිරීමට උපකාරී වන සංඥා දණහිස තුළ සොයා ගැනීම ගැන ඇය සතුටට පත් වන අතර, මෙම කාර්යය සෞඛ්‍ය සේවයේ පක්ෂග්‍රාහීත්වය අඩු කිරීමට කෘත්‍රිම බුද්ධියට ඇති හැකියාව ඉස්මතු කරන බව පවසයි. "වෛද්‍ය දැනුම පැහැදිලිවම ප්‍රමාණවත් නොවන අතර මෙය විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව ඓතිහාසිකව නොසලකා හරින ලද වාර්ගික සුළුතරයන් සහ කාන්තාවන් වැනි ජනගහනයට හානියක් වන ගැටළුවලට බොහෝ විට ඇදී යනවා," පියර්සන් පවසයි.

කෙසේ වෙතත්, ඇගේ ඇල්ගොරිතමය වැනි ඒවා දණහිස් ඔස්ටියෝ ආතරයිටිස් වැනි දෙයහි සමස්ත ගැටළුව විසඳන්නේ නැති බව ඇය සටහන් කරයි. "අපේ ඇල්ගොරිතමය වේදනාව ඉන්ද්‍රජාලික විදියට වේදනාව පුරෝකථනය කරන්නේ නෑ," ඇය පවසයි. "නමුත් අපි සංසන්දනය කරන වේදනාව පිළිබඳ මූලික අවබෝධය ඉතා අයහපත් වගේම, එකෙ පරිමාණය ගොඩනැගුවේ දශක කිහිපයකට පෙර දැඩි ලෙස සුදු ජාතික බ්‍රිතාන්‍ය ජනගහනයක් තුළින්. එම මූලික මට්ටම් වැඩිදියුණු කිරීම එතරම් අපහසු නැහැ."

ගොතන්බර්ග් විශ්වවිද්‍යාලයයේ සැමුයෝල්විට්ස් පෙන්වා දෙන්නේ පක්ෂග්‍රාහීත්වය අවම කිරීම සඳහා තාක්‍ෂණය මත යැපීම එහිම අභියෝග ද හඳුන්වා දිය හැකි බවයි. උදාහරණයක් ලෙස, තාක්‍ෂණය යෙදීමේ දී පක්ෂග්‍රාහීත්වය පිළිබඳ ප්‍රශ්නය තිබේ. "සාමාන්‍ය ජනගහනයෙන් පහෙන් එකක් පමණ මධ්‍යස්ථ හෝ දරුණු වේදනාවෙන් පීඩා විඳිනව. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. ඔවුන් සියල්ලන්ටම මොළයේ ස්කෑන් හරහා වේදනාව මැන බැලීමට ලැබේද, නැතිනම් පක්ෂග්‍රාහී ලෙස තෝරා ගනීවිද? පර්යේෂණයකින් පෙන්නුම් කර තියෙන්නේ කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි ප්‍රමාණයකට පරීක්ෂණ සඳහා යොමු කරන බවත්, කාන්තාවන් මනෝ විද්‍යාඥයින් වෙත යොමු කරන බවත්. වේදනාව මැන බැලීමේදී ස්ත්‍රී පුරුෂ පක්ෂග්‍රාහිත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා."

මෙම අභියෝග ඉදිරියේ තිබිය දී, වේදනාව පිළිබඳ ක්ෂේත්‍රයේ ස්වභාවික වෙනසක් සඳහා රුචිකත්වයක් ඇති බව සාබ් විශ්වාස කරයි.

"වෛද්‍යවරුන් කියනවා, 'බලන්න, අපේ සායනික කාර්ය ප්‍රවාහය මේ මත පදනම් කළ නොහැකියි, එය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කළ යුතු ආකාරය නොවේ' කියලා. ඔබට උණ ඇති විට, ඔබ උෂ්ණත්වමානයක් භාවිතා කරනව. ඔබට අධි රුධිර පීඩනය ඇති විට, ඔබ ඔබේ රුධිර සාන්ද්‍රණය පරීක්ෂා කරනව. මේ අවස්ථාවේ දී, මිනිසුන් වේදනාවෙන් පැමිණෙන විට, අපි ඔවුන්ට ස්මයිලි මුහුණු පෙන්නනවා."