බිළිඳියන් ඝාතනය නවතා ඔවුන් බේරා ගැනීම ඇරඹූ වින්නඹු මාතාවන්

Siro, an elderly midwife wearing a yellow sari, sobs as she clings on to Monica - a woman with long dark hair in her late 20s
ඡායාරූප ශීර්ෂ වැකිය, 1990 දශකයේ බිළිඳියකව සිටි අවධියේ අතහැර දමා ගොස් සිටියදී බේරා ගැනුණු මොනිකා හමුවූ අවස්ථාවේ සීරෝ වින්නඹු මාතාව හඬා වැටෙමින්
    • Author, අමිතාබ් පරාෂාර්
    • Role, බීබීසී අයි ඉන්වෙස්ටිගේෂන්ස්

සීරෝ දේවි වින්නඹු මාතාව මොනිකා තට්ටේ වැළඳගෙන වැළපෙයි. සිය 20 වන වියේ අගභාගයේ පසුවන මොනිකා, සීරෝ සිය ගණනක් බිළිඳුන් බිහි කිරීමට වින්නඹුකම් කළ ඉන්දියානු නගරය, එනම් තමන් උපන් ස්ථානයට ආපසු පැමිණ සිටී.

නමුත් මෙය ඉතා පහසුවෙන් සිදුවූ නැවත හමුවීමක් නොවේ. සීරෝගේ කඳුළු පිටුපස ඇත්තේ වේදනාකාරී ඉතිහාසයකි. මොනිකා මෙලොව එළිය දැකීමට යම් කලකට පෙර, සීරෝ සහ ඇය වැනි ඉන්දියානු වින්නඹු මාතාවන් කිහිප දෙනෙකුට අලුත උපන් බිළිඳියන් ඝාතනය කිරීමට නිරන්තරයෙන් බලපෑම් එල්ල විය.

පවතින සාක්ෂි අනුව, මොනිකා යනු ඔවුන් විසින් බේරා ගන්නා ලද එක් බිළිඳියකි.

මා 1996 වසරේදී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇය සහ තවත් ග්‍රාම්‍ය වින්නඹු මාතාවන් සිව් දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡාවට ගිය දා සිට වසර 30ක් පුරා මම සීරෝගේ කතාව පසුපස හඹා යමින් සිටියෙමි.

ඔවුන් කටිහාර් ප්‍රදේශයේ, අලුත උපන් බිළිඳුන්ගේ දෙමව්පියන්ගේ බලපෑම් මත සිදුවූ බිළිඳියන් ඝාතනය කිරීම පිටුපස සිටින බවට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඔවුන් මෙම බිළිඳියන් ඝාතනය කර ඇත්තේ, රසායනික ද්‍රව්‍ය ලබා දීමෙන් හෝ හුදෙක් ගෙළ මිරිකීමෙනි.

මා සාකච්ඡා කළ වින්නඹු මාතාවන් අතරින් වයසින් වැඩි ම වින්නඹු මාතාව වූ හකියා දේවි මා සමග පැවසුවේ, ඇය ළදරුවන් 12ක් හෝ 13ක් පමණ මරා දැමූ බව ය. තවත් වින්නඹු මාතාවක වන ධර්මි දේවි එම ගණන ඉක්මවූ ඝාතන ගණනක් සිදු කළ බව පිළිගත්තා ය. අවම වශයෙන් 15-20ක් පමණ ඇය විසින් ඝාතනය කරනු ලැබ තිබේ.

දත්ත එක්රැස් කර ඇති ආකාරය අනුව, ඔවුන් විසින් ඝාතනය කරන ලද ළදරුවන් සංඛ්‍යාව නිශ්චිතව ම තහවුරු කළ නොහැකි ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් ඔවුන් සහ තවත් වින්නඹු මාතාවන් 30 දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව 1995 වසරේදී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ඔවුන්ගේ නම් ඇතුළත් විය. වාර්තාවේ ඇති සංඛ්‍යා ලේඛන නිවැරදි නම්, එක් ප්‍රදේශයක සෑම වසරකදී ම බිළිඳියන් 1,000කට වඩා වැඩි ගණනක් වින්නඹු මාතාවන් 35 දෙනෙකු අතින් ඝාතනය වී තිබේ. මෙම වාර්තාවට අනුව, බිහාර් ප්‍රාන්තයේ එකල වින්නඹු මාතාවෝ මිලියන භාගයකට වඩා වැඩි ගණනක් සිටියහ. එපමණක් නොව, ළදරු ඝාතන බිහාරයට පමණක් සීමා වූවක් නොවිණි.

හකියා පැවසුවේ, [අලුත උපන් බිළිඳුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන] නියෝග ප්‍රතික්ෂේප කිරීම වින්නඹු මාතාවකට කිසි විටෙක විකල්පයක් නොවූ බව ය.

"පවුලේ කට්ටිය කාමරේ ලොක් කරලා අපේ පිටිපස්සෙන් පොලු අරන් හිටගෙන ඉන්නවා," හකියා දේවි පවසයි. "ඔවුන් මෙහෙම කියනවා: 'අපිට දැනටමත් දුවලා හතර පස් දෙනෙක් ඉන්නවා. මේකෙන් අපිට තියෙන ධනය නැති වෙලා යනවා. අපි අපේ කෙල්ලන්ට දෑවැද්ද දුන්න ම අපිට වෙන්නේ බඩගින්නේ මැරිලා යන්න. අන්න තව කෙල්ලෙක් ඉපදිලා. එයාව මරලා දාන්න.'

"අපි කාට ද මේවා කියන්නේ? අපි බයෙන් හිටියේ. පොලිසියට ගියත්, අපි අමාරුවේ වැටෙනවා. අපි අපේ හඬ අවදි කළොත්, මේ මිනිස්සු අපිට තර්ජනය කරනවා."

Veteran journalist Amitabh Parashar leans in to watch a monitor playing back the interviews he did with Indian midwives in the 1990s. The room is dark - his face illuminated by the screen.
ඡායාරූප ශීර්ෂ වැකිය, අමිතාබ් 90 දශකයේදී වින්නඹු මාතාවන් සමග සිදුකළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡා නරඹමින්

ග්‍රාමීය ඉන්දියාවේ වින්නඹු මාතාවකගේ භූමිකාව සම්ප්‍රදාය තුළ මුල්බැස ගෙන ඇති අතර සහ දරිද්‍රතාවයේ සහ කුල ක්‍රමවල කටුක යථාර්ථයන්ගෙන් එම වෘත්තීය පීඩනයකට ලක් වී ඇත. මා සම්මුඛ සාකච්ඡාවට ලක් කළ වින්නඹු මාතාවන් ඉන්දියාවේ කුල ධූරාවලියේ පහළ කුලවලට අයත් වූවෝ වෙති. වින්නඹු වෘත්තීය මව්වරුන් සහ මිත්තණියන්ගෙන් ඔවුන්ට උරුම වූවකි. ඔවුන් ජීවත් වූයේ බලවත්, ඉහළ කුලවලට අයත් පවුල්වල නියෝග ප්‍රතික්ෂේප කිරීම සිතියවත් නොහැකි ලෝකයක ය.

දරුවෙකු ඝාතනය කිරීම සඳහා වින්නඹු මාතාවකට සාරියක්, ධාන්‍ය මල්ලක් හෝ මුදල් සුළු ප්‍රමාණයක් පිරිනැමිණි. විටෙක එය ද නොලැබිණි. පිරිමි දරුවෙකු උපත ලබන්නේ නම්, ඔවුන්ට රුපියල් 1000ක් පමණ උපයා ගැනීමට හැකි විය. ගැහැනු දරුවෙකුගේ උපත ඔවුන්ට ලබා දුන්නේ ඉන් අඩක් පමණි.

මෙම අසමතුලිතතාවයට හේතුව දෑවැද්දක් දීමේ ඉන්දියාවේ සිරිතෙහි ගිලී ඇති බව ඔවුහු පැහැදිලි කළහ. මෙම චාරිත්‍රය 1961 වසරේ තහනම් කරන ලද නමුත්, එය 90 දශකයේදී තවමත් ශක්තිමත්ව පැවතිණි. සත්‍ය වශයෙන් ම එය අද දක්වා ම පවතී.

දෑවැද්දක් මුදල්, ස්වර්ණාභරණ, ගෙදර දොර බඩු බාහිරාදිය වැනි ඕනෑ ම දෙයක් විය හැකි ය. නමුත් බොහෝ පවුල්වලට, දුප්පත් පොහොසත් භේදයකින් තොරව එය මංගල උත්සවයක අනිවාර්යයෙන් සිදුවන්නකි. බොහෝ දෙනෙකුට තවමත් පුතෙකුගේ උපත සැමරීමක් සහ දියණියකගේ උපත මූල්‍යමය බරක් බවට පත් කරන්නේ මෙයයි.

මා සම්මුඛ සාකච්ඡාවට ලක් කළ, තවමත් ජීවතුන් අතර සිටින එක ම වින්නඹු මාතාව වන සීරෝ දේවි, සමාජයේ මෙම විෂමතාව පැහැදිලි කිරීමට ප්‍රබල භෞතික රූපයක් භාවිත කළා ය.

Siro, who has an elderly wizened face, and dressed in a yellow sari, smiles down lovingly at a baby in her arms
ඡායාරූප ශීර්ෂ වැකිය, සීරෝ කුඩා කල සිට ම වින්නඹු මාතාවක ලෙස සේවය කර ඇත

"පිරිමි දරුවෙක් ඉන්නේ පොළවෙන් උඩ - ඒ කියන්නේ ඉහළින්. දුවෙක් ඉන්නේ යට - ඒ කියන්නේ පහළින්. පුතෙක් තමන්ගේ දෙමාපියන් පෝෂණය කළත් නැතත්, රැකබලා ගත්තත් නැතත්, ඒ හැමෝට ම ඕනේ පිරිමි දරුවෙක්."

ඉන්දියාවේ ජාතික මට්ටමේ දත්ත ඔස්සේ පිරිමි දරුවන් සඳහා ඇති මනාපය දැකිය හැකි ය. එහි ආසන්තම සංගණනය වන 2011 වසරේ සංගණනයේ සෑම පිරිමි 1,000කට සිටින්නේ කාන්තාවන් 943ක් බව වාර්තා කර ඇත. එසේ වුව ද එය 1990 ගණන්වල පැවති තත්ත්වයට සාපේක්ෂව වර්ධනයකි. 1991 සංගණනයේදී එම අනුපාතය 927/1,000 විය.

Anila, dressed here in a green, white and gold sari, is listening as a group of midwives - all sitting on the floor - talk to her. An archive photo from the 1990s.
ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ සේවිකාවක වන අනීලා කුමාරි (වමේ සිට දෙවනුව) 1990 දශකයේදී වින්නඹු මාතාවන් වෙනස් ප්‍රවේශයකට යොමු කිරීමට සැසි මෙහෙයවීය

1996 වසරේදී මා වින්නඹු මාතාවන්ගේ වාචික සාක්ෂි රූගත කර අවසන් කරන විට, තරමක් කුඩා, නිහඬ වෙනසක් ආරම්භ විය. වරක් මෙම නියෝග ක්‍රියාත්මක කළ වින්නඹු මාතාවන් ඒවාට විරුද්ධ වීමට පියවර තබා තිබිණි.

කටිහාර් අවට ගම්වල කාන්තාවන්ට සහය වූ සමාජ සේවිකාවක වන අනීලා කුමාරි විසින් ඔවුන් මෙම වෙනසට පොළඹවන ලද අතර ඇය මෙම ඝාතනවල සුලමුල විසඳීමට කැපවී සිටියා ය.

අනීලාගේ ප්‍රවේශය සරල විය. ඇය වින්නඹු මාතාවන්ගෙන් ප්‍රශ්න කළේ, "ඔබ ඔබේ දියණියට මෙය කරනවා ද?" යනුවෙනි.

ඇගේ ප්‍රශ්නය වසර ගණනාවක් පුරා පැවති සාධාරණීකරණය සහ ප්‍රතික්ෂේප කිරීම බිඳගෙන ගොස් ඇති බව පෙනේ. මෙම වින්නඹු මාතාවන්ට ප්‍රජා කණ්ඩායම් හරහා යම් මූල්‍ය ආධාර ප්‍රමාණයක් ලැබුණු අතර ඒත් සමග ක්‍රමයෙන් ප්‍රචණ්ඩ චක්‍රයට බිඳ වැටිණි.

සීරෝ, 2007 වසරේ මා සමග කතා කරමින්, වෙනස පැහැදිලි කළා ය.

"දැන්, කවුරුහරි මට මරන්න කිව්වොත්, මම එයාලට කියනවා: 'බලන්න, මට දරුවා දෙන්න, මම එයාව අනීලා මැඩම් ළඟට අරගෙන යන්නම්."

මෙම වින්නඹු මාතාවන් විසින් අවම වශයෙන් ගැහැනු දරුවන් පස් දෙනෙකු පමණ, එනම්, ඔවුන් මරා දැමීමට අවශ්‍ය වූ හෝ ඒ වන විටත් ඔවුන් අතහැර දමා ගොස් සිටි පවුල්වලින් පවුන් බේරා ගනු ලැබී ය.

එක් බිළිඳියක මිය ගිය නමුත් අනීලා අනෙක් සිව්දෙනා බිහාර්හි අගනුවර වන පට්නා වෙත ඔවුන්ව කුලවද්දා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ රාජ්‍ය නොවන සංවිධානයකට යැවීමට කටයුතු කළා ය.

කතාව එතැනින් අවසන් වීමට ඉඩ තිබිණි. නමුත් මාගේ අවශ්‍යතාව වූයේ හදා වඩා ගැනීමට ලබා දුන් ඒ දරුවන්ට සිදු වූයේ කුමක් ද, ජීවිතය ඔවුන්ව කොතැනකට ගෙන ගියා ද යන්න දැන ගැනීම ය.

අනීලාගේ වාර්තා ඉතා සූක්ෂ්ම වූ නමුත් දරුකමට හදාවඩා ගැනීමට දුන් පසු එම දරුවන්ගේ තත්ත්වය පිළිබඳ වැඩි තොරතුරක් ඒවායේ නොතිබිණි.

බීබීසී ලෝක සේවයේ කණ්ඩායමක් සමග කටයුතු කරමින්, මා 90 දශකයේදී බිහාර්හි ළදරු ඝාතන පිළිබඳ පර්යේෂණ කරමින් සිටි මේධා ශේකර් නම් කාන්තාවක සමග සම්බන්ධ වූයේ, අනීලා සහ වින්නඹු මාතාවන් විසින් බේරා ගන්නා ලද ළදරුවන් ඇගේ රාජ්‍ය නොවන සංවිධානයට පැමිණීම ආරම්භ වූ අවස්ථාවේදී ය. පුදුමයට කරුණක් නම්, මෙලෙස බේරා ගන්නා ලද ළදරුවන්ගෙන් කෙනෙකු බව යැයි මේධා විශ්වාස කරන තරුණියක සමග ඇය තවමත් සම්බන්ධකම් පැවැත්වීම ය.

වින්නඹු මාතාවන් විසින් බේරා ගන්නා ලද සියලු ම දැරියන්ට බිහාර්හි කෝසි නදියට උපහාරයක් ලෙස ඔවුන්ගේ නමට ඉදිරියෙන් "කෝසි" යන උපසර්ගය යෙදූ බව අනීලා මට පැවසුවා ය. දරුකමට හදාවඩා ගැනීමට ප්‍රථම මොනිකාට මෙම "කෝසි" නාමය තබා තිබුණු බව මේධාට සිහිපත් විය.

කුලවද්දා ගැනීමේ නියෝජිතායතනය අපට මොනිකාගේ වාර්තා බැලීමට ඉඩ නොදෙන බැවින් අපට කිසි විටෙකත් ඒ පිළිබඳව සහතික විය නොහැක. නමුත් පට්නාහි ඇගේ මූලාරම්භය, ඇයගේ ආසන්න උපන් දිනය සහ "කෝසි" නම් උපසර්ගය යන සියල්ල ම එක ම නිගමනයකට [අපව] යොමු කරයි: මොනිකා යනු, බොහෝ දුරට, අනීලා සහ වින්නඹු මාතාවන් විසින් බේරා ගන්නා ලද ළදරුවන් පස් දෙනාගෙන් කෙනෙකි.

පූනේහි කිලෝමීටර් 2,000 (සැතපුම් 1,242) පමණ දුරින් පිහිටි ඇගේ දෙමාපියන්ගේ නිවසට මම ඇයව හමුවීමට ගිය විට, ඇය පැවසුවේ, ආදරණීය පවුලක් විසින් දරුකමට හදා ගනු ලැබීම වාසනාවක් බව ය.

Monica in a red and white blouse sits smiling and leaning in to her adoptive father, dressed in a cream shirt and also smiling
ඡායාරූප ශීර්ෂ වැකිය, මොනිකා වයස අවුරුදු තුනේදී ඇයව කුලවද්දා ගත් ගත් පියා සමග

"සාමාන්‍ය ප්‍රීතිමත් ජීවිතයක් ගැන මගේ නිර්වචනය තමයි මේක, සහ මම ඒක අත්දකිමින් ඉන්නේ," ඇය පැවසුවා ය.

තමන් බිහාර් ප්‍රදේශයෙන් හදා වඩා ගැනීමට ගෙන තිබුණ බව මොනිකා දැන සිටියා ය. නමුත් ඇයව දරුකමට හදාගැනීමට හේතු වූ තත්ත්වය පිළිබඳව වැඩි විස්තර ඇයට ලබා දීමට අපට හැකි විය.

මේ වසර මුලදී මොනිකා අනීලා සහ සීරෝ හමුවීමට බිහාරයට ගියා ය.

මොනිකා තමා දුටුවේ, අනීලා සහ වින්නඹු මාතාවන්ගේ වසර ගණනාවක මහන්සියේ කූටප්‍රාප්තිය ලෙස ය.

"කෙනෙක් විභාගයකට හොඳින් මුහුණ දෙන්න ගොඩක් ලෑස්ති වෙනවා. මට ඒක දැනෙනවා. ඒ අය ගොඩක් මහන්සි වුණා. දැන් එයාල කුතුහලයෙන් ඉන්නේ ප්‍රතිඵලය බලා ගන්න... ඉතින් අනිවාර්යයෙන් ම, මම ඒ අයව හම්බ වෙන්න කැමතියි."

Anila - dressed in a black and maroon sari - and Monica hugging and smiling
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවකට පසු මොනිකා හමුවීම ගැන අනීලා සතුටු වූවා ය

මොනිකා හමු වූ විට අනීලා සතුටු කඳුළු සැලුවා ය. නමුත් සීරෝගෙ ප්‍රතිචාරය වෙනස් ලෙස දැනිණි.

ඇය මොනිකා සමීපයට ගෙන ඇගේ හිසකෙස් පිරිමදිමින් තදින් වැළපුණා ය.

"මම ඔයාව [අනාථ නිවාසයට] අරගෙන ගියේ ඔයාගේ ජීවිතය බේරා ගන්න... දැන් තමයි මගේ ආත්මයට සැනසීමක් තියෙන්නේ," ඇය, මොනිකාට පැවසුවා ය.

නමුත් දින කිහිපයකට පසු, මා සීරෝගේ ප්‍රතිචාරය ගැන දැන ගැනීමට උත්සහ කළ විට, ඒ පිළිබඳව වැඩිදුර පැවසීම ඇය ප්‍රතික්ෂේප කළා ය.

"අතීතයේ සිද්ධ වුණු දේවල් අයිති අතීතයට," ඇය පැවසුවා ය.

නමුත් අතීතයේ නොමැති දෙය නම්, තවමත් ඇතැමුන්ට බිළිඳියන් කෙරෙහි ඇති අසාධාරණ හැඟීම ය.

ළදරු ඝාතන පිළිබඳ වාර්තා දැන් සාපේක්ෂව අඩු නමුත් 1994 සිට නීති විරෝධී වුව ද, ලිංගිකත්වය මත සිදුවන ගබ්සාව බහුලව පවතී.

උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සෝහාර් නමින් හැඳින්වෙන දරු ප්‍රසූතියේදී ගැයෙන සාම්ප්‍රදායික ජන ගීවලට සවන් දෙන්නේ නම්, ප්‍රීතිය යන්න පිරිමි දරුවෙකුගේ උපත සඳහා වූවක් බව අවබෝධ වේ. 2024දී පවා ප්‍රාදේශීය ගායක ගායිකාවන් ලවා ගීතයෙන් ගැහැනු දරුවකුගේ උපත ද සමරන පරිදි පද වෙනස් කිරීමට දැඩි උත්සහයක් ගත යුතු ය.

අප අපගේ වාර්තා වැඩසටහන රූගත කරන අතරතුර, කටිහාර් ප්‍රදේශයේ බිළිඳියන් දෙදෙනෙකු අතහැර දමා ගොස් ඇති බව සොයා ගැනිණි. ඉන් එක් අයෙකු පඳුරක් අද්දර සහ, තවකෙකු මාර්ගය අයිනේ දමා ගොස් තිබිණි. ඔවුන්ගේ වයස පැය කිහිපයක් පමණ විය.

Camera photo of a newborn baby nestled in some bushes
ඡායාරූප ශීර්ෂ වැකිය, අප අපගේ වාර්තා වැඩසටහන රූගත කරන අතරතුර, කටිහාර් ප්‍රදේශයේ බිළිඳියන් දෙදෙනෙකු අතහැර දමා ගොස් ඇති බව සොයා ගැනිණි.

මොනිකා බිහාර් ප්‍රාන්තයෙන් පිටව යාමට පෙර, ඇය කටිහාර්හි දරුවන් කුලවද්දා ගැනීමට ඇති විශේෂ මධ්‍යස්ථානයට මෙම දරුවා බැලීමට ගියා ය.

බිළිඳියන් ඝාතනය කිරීමේ අඩුවක් තිබිය හැකි නමුත් ගැහැනු ළදරුවන් අතහැර දමා යාම දිගින් දිගට ම සිදුවන බව වටහා ගැනීම තමා කම්පනයට පත්කළ බව ඇය පවසයි.

"මේක චක්‍රයක්... මීට වසර කිහිපයකට පෙර මං එතන හිටපු විධිය මට දකින්න පුළුවන්, දැන් ආයෙත් මං වගේ ම ගෑනු දරුවෙක්."

නමුත් සතුටුදායක සමානකම් ද තිබිය යුතු ය.

ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ යුවළක් විසින් මේ බිළිඳිය කුලවද්දා ගනු ලැබ ඇත. ඔවුන් ඇයට එධා යන නම තබා ඇත. එහි අර්ථය සතුට යන්න ය.

Gaurav and his wife, both wearing glasses and smiling, hold their baby daughter, dressed in a lime green vest and pink trousers. Their elder daughter, in a black and white t-shirt, stands behind, also smiling.
ඡායාරූප ශීර්ෂ වැකිය, අතහැර දමා ගොස් සිටි බිළිඳිය දැන් එධා ය. ඇය ඇසෑම් ප්‍රාන්තයේ පවුලක් විසින් කුලවද්දා ගනු ලැබ ඇත.

"අපි ඇගේ ඡායාරූපයක් දැක්කා, සහ අපිට යමක් පැහැදිලි වුණා. වරක් අතහැර දමා ගිය බිළිඳෙක් දෙවැනි පාරටත් දාන්න බැහැ කියලා," ඉන්දියානු ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන ඇය කුලවද්දා ගත් පියා, ගෞරව් පවසයි.

සති කීපයකට සැරයක් ගෞරව් මා වෙත එධා කෙළිදෙලින් ගත කරන වීඩියෝවක් එවයි. ඇතැම් අවස්ථාවලදී මම ඒවා මොනිකා සමග ද බෙදා ගන්නෙමි.

ආපසු හැරී බලන විට මෙම කතාව සඳහා ගෙවුණු වසර 30 කිසිදා අතීතයට පමණක් සීමා නොවිණි. එම කාලය අප්‍රසන්න සත්‍යයන්ට මුහුණ දීම ගැන ය. අතීතය ආපසු හැරවිය නොහැකි නමුත් එය ඔබට බලපාන ආකාරය හෝ ඔබ දැන් එය සමග කටයුතු කරන ආකාරය වෙනස් කළ හැකි ය. බලාපොරොත්තුව ගැබ්ව ඇත්තේ එම වෙනස තුළ ය.