අම්පාර, සමන්ගලින් හමුවූ 'යකඩ යුගයට අයත්' කේතු හැඩැති සුසානවලින් හෙළි වන කරුණු

- Author, බීබීසී සිංහල
අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමිය ආශ්‍රිතව කළ ගවේෂණයකින් සොයාගත් යකඩ යුගයට අයත් කේතු හැඩැති සුසාන ස්මාරක තුළ ඇති දෑ විවෘත කර බැලීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් සඳහන් කළේ, ආදි මානවයින්ගේ සුසාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් අණාවරණයන් මෙම සුසාන ස්මාරක අධ්‍යයනයේදී හෙළිකර ගත හැකි වනු ඇති බවය.
අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමියෙන් සොයා ගනු ලැබූ එම සුසාන ස්මාරක විවෘත කිරීම අද (ජුනි 2 වන දා) ආරම්භ කෙරිණි.
සමන්ගල පුරාවිද්‍යා සංකීර්ණය
සමන්ගල පුරාවිද්‍යා සංකීර්ණය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ, වැව්ගම්පත්තුව උතුර (උහන) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බණ්ඩාරදූව ග්‍රාම නිලධාරී වසමේ ය.
මෙම භූමිය වනාන්තර ආශ්‍රිත කන්දක් මත පිහිටා ඇති බෞද්ධ ආරාම නටබුන්වලින් සමන්විත වන අතර, එහි ආසන්න වශයෙන් ගුහා 55ක් සහ ලෙන් රැසක් තිබේ.
එම ප්‍රදේශය ආශ්‍රිතව, මුල් බ්‍රාහ්මීය අක්ෂරවලින් යුත් සෙල්ලිපි 24ක් හඳුනාගෙන ඇත. ඒ අසල පිහිටි ස්තූපයක කරන ලද කැණීම්වලින් ඇතුළත මැටි ව්‍යුහයක නටබුන් සොයාගෙන ඇත.
මෙම ස්ථානයේ සිදු කරන ලද කාල නීර්ණයට අනුව, මෙම සංකීර්ණය ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන බවට විශ්වාස කෙරේ. එමෙන් ම, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ සෙල්ලිපි මත පදනම්ව, මෙම බෞද්ධ ආරාමය මුල් ඓතිහාසික යුගයේ ඉදිකරන ලද බව සැලකේ.
මීට අමතරව, එම ස්ථානය අවට සිදු කරන ලද පුරාවිද්‍යාත්මක සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, පුරාණයේ විසූ ජනතාව සුසාන අංගනයක් ලෙස මෙම ප්‍රදේශය භාවිත කර ඇති බව ය. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් බුද්ධාගම පැමිණීමටත් පෙර යකඩ යුගයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ දියුණු භූමදාන පද්ධතියක් පැවති බව ය.
කාල නීර්ණය සඳහා සාම්පල් ඇමෙරිකාවට

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"හැම සොහානක ම මැටි මුට්ටිවල භෂ්මාවශේෂ තියෙනවා. පූජා මුට්ටිවල අදාළ මනුෂ්‍යයා පාවිච්චි කරපු දේවල් මැටි මුට්ටිවල තැන්පත් කරලා මිහිදන් කරලා තියෙනවා."
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් බීබීසී සිංහල වෙත පැවසුවේ, කැණීම්වලින් ලබා ගන්නා සාම්පල් කාල නීර්ණය සඳහා ඇමෙරිකාවට යවන බව ය. "දැනට නිරාවරණය කරල නැහැ. මුට්ටි සාම්පල ඇමෙරිකාවට යවලා නිශ්චිත කාල නීර්ණය කර ගන්නවා."
යකඩ යුගයේ ජනතාවගේ සංස්කෘතිය යටතේ වී ගොවිතැන, සතුන් හීලෑ කිරීම, වාරි තාක්ෂණය, මැටි භාණ්ඩ නිෂ්පාදනය වැනි කාර්යයන් සිදුකර ඇත.
මෙම යුගය තුළ ශ්‍රී ලංකාවේ සුසාන සම්ප්‍රදායන් දෙකක් පැවත තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මෙගලිතික හෙවත් ගලින් කරන ලද සහ මෙගලිතික නොවන හෙවත් මැටි මුට්ටි පාවිච්චි කරන ලද සුසාන එම සම්ප්‍රදායන් දෙක බව ය.
සමන්ගල පුරා විද්‍යා සංකීර්ණයෙන් මෙගලිතික වර්ගයේ පූර්ව ඓතිහාසක යුගයට අයත් සුසානයක කැණීම් අද දින මෙලෙස ආරම්භ කළ බව ඔහු සඳහන් කළේ ය.
මෙම පරිශ්‍රයෙන් මැටිවලින් කරන ලද සොහොන් ස්මාරකයක් ද හමුවී ඇති අතර එය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් මෙගලිතික නොවන සොහොනක් ලෙස හඳුනාගෙන තිබේ.
දැනට කර ඇති කාලනීර්ණයන් සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත කාල නීර්ණය තුළින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මානව සම්ප්‍රදායන් හා සංස්කෘතික විකාශයන් සිදුව ඇති ආකාරය නිශ්චිතව දැන ගැනීමට හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

'බුද්ධාගම එන්න කලින් තිබුණ සංස්කෘතියක තොරතුරු තමා අපිට මේ හම්බවෙන්නේ'
"සමන්ගල ලෙන් ආරාම සංකීර්ණයක් හැදෙන්නේ මේ සංස්කෘතියෙන්," පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් පැහැදිලි කළේ ය.
"බෞද්ධාගම හොඳ තෝතැන්නක් වෙනවා මේ සංස්කෘතිය රට පුරා ව්‍යාප්ත වෙන්න."
"බුද්ධාගම එන්න කලින් තිබිච්ච සංස්කෘතියක තොරතුරු තමා අපිට මේ හම්බ වෙන්නේ, ඒ සංස්කෘතිය අපිට හම්බ වෙන්නේ, ක්‍රිස්තු පූර්ව 2400කට එහෙම නැත්නම් අදින් අවුරුදු 4400කට කලින්, බුද්ධ කාලය ගත්තොත් අවුරුදු 2500ක් විතර, අවුරුදු දහස් ගණනකට පෙර සංස්කෘතියක් මේක"
පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන 170කට වඩා මෙරටින් සොයාගෙන තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දිවයින පුරා ම ප්‍රදේශවලින් ඒ පිළිබඳව වාර්තා වී ඇති බවය.
වැඩි ම සුසාන සංඛ්‍යාවක් වියලි කාලාපයට වැටෙන, උතුරු මැද පළාතෙන් වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.














