බුදුන්ගේ ධාතු සමග හමුවූ මැණික් වෙන්දේසියක තැබීමෙන් මතභේදාත්මක තත්ත්වයක්

The jewels comprise nearly 1,800 pearls, rubies, topaz, sapphires, and patterned gold sheets

ඡායාරූප මූලාශ්‍රය, Courtesy: Sotheby's

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම මැණික් මුතු, රතු කැට, නිල් මැණික් සහ කැටයම් සහිත රන් තහඩු 1,800කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත ය
    • Author, සුතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු

නූතන යුගයේ වඩාත් ම කැපී පෙනෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකෙන, සර්වඥ ධාතූන් හා තවත් වටිනා ආභරණ එකතුවක් එළඹෙන බදාදා හොංකොංහි සෝදබීස්හිදීවෙන්දේසි කෙරෙනු ඇත.

උතුරු ඉන්දියාවේ දූවිල්ලෙන් වැසී තිබුණු කුඩා කන්දක් වැනි ස්ථානයක් කැණීමෙන් 1898 සොයාගත් මෙම ධාතු, බොහෝ දෙනකුගේ ඇස නොගැටී බ්‍රිතාන්‍යයේ පෞද්ගලික එකතුවක සියවසක පමණ කාලයක් තිබිණි.

මෙම මැණික් ඒවායේ භාරකරුවන් විසින් වෙන්දේසි කරන බව දැනුම් දෙනු ලැබීමත් සමග මෙවන් පුරාවස්තු එකතු කරන්නන්ගේ උනන්දුව වැඩිවී ඇතිවා පමණක් නොව, යම් නොසන්සුන්තාවක් ද ඇතිවී තිබේ.

වර්තමානයේ උත්තර් ප්‍රදේශය ලෙස හැඳින්වෙන, බුදුන් වහන්සේ උපන් ප්‍රදේශයට ආසන්නයේ වූ ගඩොල් කුටියක් තුළ තිබී සොයා ගෙන තිබුණු මෙම මැණික් එකතුවට මුතු, රතු කැට, පුෂ්පරාග, නිල් මැණික් සහ කැටයම් සහිත රන් තහඩු 1,800කට ආසන්න ගණනක් අයත් ය.

සර්වඥ ධාතූන් සහ කැටයම් කරන ලද කරඬුවක් ද මේ සමග ම සොයාගෙන තිබූ අතර, මෙය අසමසම සොයාගැනීමක් ලෙස පුරාවිද්‍යා ලෝකය තුළ ඉමහත් කීර්තියට පත් විය. සෝදබීස්හිආසියානු සභාපති සහ ආසියානු කලාවේ ලෝක ප්‍රධානී නිකොලස් චව් විශ්වාස කරන්නේ මෙය "මෙතෙක් සොයාගත් අතිසුවිශේෂ ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතර" ඇති බවයි.

එහෙත්, මෙම ධාතු දැන් වෙන්දේසි වීමට නියමිත වීමත් සමග බරපතළ ප්‍රශ්නයක් ඇතිව තිබෙන බව විශේෂඥයෝ බීබීසීයට පවසති. ඉන්දියාවේ පූජනීය අතීතයට ගැඹුරින් බැඳී ඇති මෙම පුරාවස්තු විකිණීම කෙතරම් සදාචාරාත්මක ද?

William Claxton Peppé (1852-1936). By G.W. Laurie & Co., Lucknow, c. 1890s. Photo courtesy of the Peppé family.jpg

ඡායාරූප මූලාශ්‍රය, Courtesy Peppé family

ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම් ක්ලැක්ස්ටන් පෙපේ නම් ඉංග්‍රීසි වතු කළමනාකරු විසින් ස්තූපයක් කැණීම් කර මෙම ආභරණ සොයා ගන්නා ලදී

1898දී විලියම් ක්ලැක්ස්ටන් පෙපේ නම් ඉංග්‍රීසි වතු කළමනාකරු විසින් බුදුන් වහන්සේ උපත ලැබූ බවට සැලකෙන ලුම්බිණියට දකුණින් පිහිටි පිප්‍රාවාහි තිබූ ස්තූපයක් කැණීම් කරන ලදී. එම අවස්ථාවේදී මීට වසර 2,000කට පමණ පෙර තැන්පත් කර තිබුණු කැටයම් සහිත මෙම ධාතු ඔහු විසින් සොයා ගැනිණි.

මෙම ධාතු ලොව පුරා බුදුන් වහන්සේ ප්‍රමුඛ ශාක්‍ය වංශික පරපුරේ සහ බෞද්ධයන්ගේ උරුමයන් බව ඉතිහාසඥයෝ පවසති. සොයාගැනීමෙන් පසුව මෙම අස්ථි ධාතුන් වහන්සේලා තායිලන්තය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රටවලට බෙදා හැර ඇති අතර ඒවා මේ දක්වා ම වන්දනාමානවලට ලක්වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"බුදුන් වහන්සේගේ ධාතු වෙළෙඳපොළේ අලෙවි කළ හැකි අනෙකුත් කලා කෘති මෙන් විකිණිය හැකි වෙළෙඳ භාණ්ඩයක් ද?" යනුවෙන් දිල්ලිහි කලා ඉතිහාසඥයෙකු වන නාමන් අහුජා සිය පුදුමය පළ කරයි. "ඒවා එසේ නොවන බැවින්, ඒවා වෙන්දේසි කිරීමට විකුණුම්කරුට සදාචාරාත්මකව බලය ලැබෙන්නේ කෙසේ ද?"

"විකුණන්නා හැඳින්වෙන්නේ 'භාරකරු' ලෙසටයි. භාරකරු වන්නේ කවුරුන් නියෝජනය කරමින් ද? භාරකාරත්වය දැන් ඔවුන්ට මේ පුරාවස්තු විකුණන්න ඉඩ දෙනවා ද?

විලියම්ගේ මුණුබුරා වන ක්‍රිස් පෙපේ බීබීසීය වෙත පැවසුවේ, සිය පවුලේ අය ධාතුන් වහන්සේලා පරිත්‍යාග කිරීම පිළිබඳව සොයා බැලූ නමුත් ඒ සියලු විකල්පයන්වල ගැටලු තිබුණු බැවින් "මෙම ධාතූන් බෞද්ධයන්ට ලබා දීම සඳහා ඇති සාධාරණ ම හා වඩාත් ම විනිවිදම ක්‍රමය වෙන්දෙසිය" බව පෙනුණු බවයි.

නිව්යෝර්ක්හි හිමාලයානු ආර්ට්හි සොදබීහි ජාත්‍යන්තර විශේෂඥ සහ විකුණුම් ප්‍රධානී ජූලියන් කිං බීබීසීය වෙත පැවසුවේ, වෙන්දේසි ආයතනය මෙම මැණික් පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදු කර ඇති බවයි.

"සෝදබීස්වල විකිණීම සඳහා ඉදිරිපත් කර තියෙන ඕනෑ ම වැදගත් භාණ්ඩ සහ එකතු සම්බන්ධයෙන් වගේ ම, කලා කෘති සහ පුරාවස්තු සම්බන්ධයෙන් තියෙන අපේ ප්‍රතිපත්ති සහ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව, සත්‍යතාව සහ සම්භවය, නීත්‍යනුකූලභාවය සහ අනෙකුත් සලකා බැලීම් ඇතුළුව අපි නිසි පරීක්ෂාව සිදු කළා," කිං පැවසුවේ ය.

අග්නිදිග ආසියානු කලාව පිළිබඳ ප්‍රවීණයන් වන ලන්ඩනයේ SOAS විශ්වවිද්‍යාලයේ ඈෂ්ලි තොම්සන්ට සහ එම කලා කෘති රැක බලා ගන්නෙකු වන කොනන් චොංග්ට මේ සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න තිබේ. බීබීසීය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු මෙසේ පැවසූහ: "මේ විකිණීම් සම්බන්ධයෙන් මතු වූ අනෙකුත් සදාචාරාත්මක ප්‍රශ්න තමයි: මිනිස් අවශේෂ වෙළෙඳාම් කළ යුතු ද? මිනිස් අවශේෂ ලෙස සලකන්නේ කුමක් ද යන්න තීරණය කරන්නේ කවුද? ලොව පුරා බොහෝ බෞද්ධයන්ට, මේ විකුණන මැණික් හා අස්ථි අතිශයෙන් වැදගත්."

මෙම පුරාවස්තු සහ ධාතුන් වහන්සේලා විකිණීම බෞද්ධ නායකයන්ගේ ද කනස්සල්ලට හේතු වී තිබේ.

"අවසරයකින් තොරව අන් සතු දේ ලබා නොගන්නා ලෙස බුදුන් වහන්සේ අපට උගන්වා තිබෙනවා," යැයි ලන්ඩනයේ බ්‍රිතාන්‍ය මහා බෝධි සමිතියේ අමල් අබේවර්ධන බීබීසීය වෙත පැවසීය. "ශාක්‍යමුණි වංශයට මෙම ධාතුවල භාරකාරත්වය ලබා දීලා තියෙන්නේ බුදුන් වහන්සේ ඔවුන්ගෙන් පැවත එන බැවින් බව ඉතිහාස වාර්තා පෙන්වා දෙනවා. ඔවුන්ගේ පැතුම වූයේ මෙම මැණික් වැනි වටිනා දේ සමග ම මෙම ධාතු සංරක්ෂණය කිරීම ය. එතකොට බෞද්ධ අනුගාමිකයන්ට සදාකාලිකව ම ඒවාට වන්දනාමාන කිරීමේ ඉඩ ලැබෙනවා."

View of the Piprahwa stupa site, present-day Uttar Pradesh, Northern India. Photo courtesy of Icon Films.jpg

ඡායාරූප මූලාශ්‍රය, Icon Films

ඡායාරූප ශීර්ෂ වැකිය, 1898දී උතුරු ඉන්දියාවේ පිප්‍රාවාහි පිහිටි මෙම ස්තූපයෙන් මෙම මැණික් සොයා ගන්නා ලදී

1898දී උතුරු ඉන්දියාවේ පිප්‍රාවාහි පිහිටි මෙම ස්තූපයෙන් මෙම මැණික් සොයා ගන්නා ලදී.

ක්‍රිස් පෙපේ විසින් ලියා ඇති ආකාරය අනුව, මෙම මැණික් ඔහුගේ පරපුරේ මාමා කෙනෙකු විසින් ඔහුගේ ඥාති සොහොයුරාට දෙනු ලැබීමෙන් අනතුරුව 2013දී ඔහු සහ තවත් ඥාති සොහොයුරන් දෙදෙනෙකු වෙත ලැබී තිබේ. ඔවුන් සිය සීයා විසින් කරන ලද සොයාගැනීම් පිළිබඳව පර්යේෂණ ආරම්භ කර ඇත්තේ ඉන් පසුව ය.

ලොස් ඇන්ජලීස්හි රූපවාහිනී අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට සංස්කාරකවරයෙකු ලියා ඇත්තේ රොයිටර්ස් සිට නිව් යෝර්ක් ට්‍රිබියුන් දක්වා 1898 වසරේ පුවත්පත් බුදුන්ගේ ධාතූන් සොයා ගැනීම වාර්තා කර ඇති බවයි.

"බ්‍රිතාන්‍ය ඉන්දියාව යටත් විජිතකරණය කිරීම මට සංස්කෘතිකමය වශයෙන් ලැජ්ජාවක් ඇති කිරීමට හේතුවක්. ඒක තවමත් එහෙම ම යි. නමුත් තමන් සොයාගත් වටිනා දේ එංගලන්තයට ගෙන ගිය නිධන් සොයන්නන් අතර, දැනුම සොයා යාම කෙරෙහි අවධානය යොමු කළ අය ද සිටියා" යි ක්‍රිස් පෙපේ ලියයි.

ඔහුගේ පර්යේෂණයෙන් "අතීත යුගයක සිට අගතියට පත් වික්ටෝරියානුවන්" ලෙස බැහැර කර තිබූ ඔහුගේ මුතුන් මිත්තන් ගැන ද බොහෝ දේ අනාවරණය කර තිබිණි.

"විලී පෙපේගේ පළමු බිරිඳ ඇගේ මධුසමය සඳහා ඉන්දියාව වටා සංචාරය කිරීමට තීරණය කළ බවත්, එම රටට සහ එහි සංස්කෘතියට ආදරය කළ බවත් මම දැනගත්තා. එහෙත් ඇය අවාසනාවන්ත ලෙස හඳුනා නොගත් රෝගයකින් මිය ගියා. මගේ අත්තම්මා ඉන්දියානු කාන්තාවන්ට පනවා තිබුණු ඉඩම් නීති ගැන කෝපයට පත්ව සිටි බවත් මම දැනගත්තා."

"ස්තූපයේ කැණීම සිදු කර තිබුණේ 1897දී සාගතයට ගොදුරු වූ ඔහුගේ කුලී ගොවියන්ට කිරීම සඳහා වැඩ ලබා දීමට විලී පෙපේ ගත් උත්සහයක් ලෙස බවත් මම දැන ගත්තා."

The jewels are considered among the most extraordinary archaeological finds of all time

ඡායාරූප මූලාශ්‍රය, courtesy: Sotheby's

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම මැණික් සැලකෙන්නේ මෙතෙක් සොයාගත් අතිශය අසාමාන්‍ය පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙසට ය

එමෙන් ම ඔහුගේ මුත්තණුවන් විසින් අඳින ලද තාක්ෂණික සටහන් ඔස්සේ ඔහු, ඉතා ම උනන්දුවෙන් කටයුතු කළ පුහුණු ඉංජිනේරුවෙකු බව පෙනී යන බව ද ඔහු ලියා තිබේ.

විලියම් පෙපේ විසින් මැණික්, ධාතු සහ ප්‍රතිමාවන් යටත් විජිත ඉන්දියානු රජයට භාර දුන් අතර, අස්ථි ධාතු සියම්හි බෞද්ධ රජු (රාමා V) වෙත ලැබිණි. ධාතු කරඬු පහක්, ශෛලමය පෙට්ටගමක් සහ තවත් බොහෝ ධාතු එවකට කල්කටාවේ ඉම්පීරියල් කෞතුකාගාරය ලෙස හැඳින්වූ කොල්කටාහි ඉන්දියානු කෞතුකාගාරයට ලබා දී තිබේ.

ඔහුට තබා ගැනීමට ඉඩ දුන් කුඩා "අනුපිටපත්වලින් කොටසක්" පමණක් පෙපේ පවුල තුළ ඉතිරිව ඇති බව ඔහු සටහන් කර තිබේ. (සොදබීහි සටහන්වලට අනුව, පෙපේට සොයා ගැනීම්වලින් පහෙන් එකක් පමණ තබා ගැනීමට අවසර ලැබී ඇත.)

ඇතැම් ආරංචි මාර්ග බීබීසී වෙත පැවසුවේ, වෙන්දේසි ආයතනය මෙම "අනුපිටපත්" පරිත්‍යාග කරන ලද ඒවාට අමතරව තිබුණු, මුල් භාණ්ඩ ලෙස සලකන බවයි. ඒවා "ඉන්දියානු රජය විසින් පෙපේට රඳවා ගැනීමට අවසර දෙනු ලැබ තිබේ."

පසුගිය වසර හය තුළ, මෙම මැණික්වලින් එකක් 2023දී මෙට් ද ඇතුළු ප්‍රධාන ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කර තිබිණි. පෙපේ පවුල විසින් "ඔවුන්ගේ පර්යේෂණ බෙදා ගැනීම" සඳහා වෙබ් අඩවියක් ද හඳුන්වා දෙනු ලැබ ඇත.

Four steatite and one rock crystal reliquaries recovered from the sandstone coffer of the Piprahwa stupa. Indian Museum, Kolkata. Photo courtesy of the Peppé family

ඡායාරූප මූලාශ්‍රය, Peppé family

ඡායාරූප ශීර්ෂ වැකිය, පිප්‍රාවාහි ස්තූපයේ වැලි ගල් පෙට්ටියක් තුළ තිබී ස්ටීටයිට්වලින් (ගල් වර්ගයක්) සාදන ලද බහාලුම් හතරක් සහ පාෂාණ පළිඟුවලින් සාදන ලද බහාලුමක් සොයා ගන්නා ලදී

ඇතැම් විද්වතුන් තර්ක කරන්නේ බුද්ධ ධාතුන් වහන්සේ කිසි විටෙකත් වෙළෙඳ භාණ්ඩ ලෙස නොසැලකිය යුතු බව යි.

"සෝදබීස්හි වෙන්දේසිය මෙම අතිශය පූජනීය වස්තූන්, විකිණිය හැකි වෙළෙඳ භාණ්ඩ බවට පරිවර්තනය කරනවා. ඒවා ස්තූපයක් සෑරීමෙන් ලබා ගන්නා පුරාවස්තු, 'මැණික්' සහ 'යුරෝපීයයන් උනන්දුව දක්වන වෙනත් දේ' ලෙස හැඳින්වූ යටත් විජිත ප්‍රචණ්ඩත්වය දිගට ම පවත්වා ගෙන යාම වෙනුවෙන්, පූජනීය අළු සහ අස්ථි කොටස් සමග ව්‍යාජ වෙනසක් පෙන්වා දෙනවා," යැයි තොම්සන් සහ චොංග් පවසයි.

ක්‍රිස් පෙපේ බීබීසීය වෙත කියා සිටියේ තමා සංචාරය කළ කිසිදු බෞද්ධ සිද්ධස්ථානයකදී "කිසිදු බෞද්ධයෙකු මේවා ශාරීරික ධාතුන් ලෙස නොසලකන ලද" බවයි.

"බටහිර විශ්වවිද්‍යාලවල බෞද්ධ උගතුන් කිහිප දෙනෙක් එසේ සැලකිය හැකි සංකීර්ණ, සත්‍ය නොසලකන තර්කයක් මෑතකදී ඉදිරිපත් කර තිබෙනවා. ඒක මේ සොයා ගැනීම පිළිබඳ විස්තර දන්නා බෞද්ධයන් විසින් පොදුවේ පිළි නොගන්නා ශාස්ත්‍රීය තර්කයකි."ඔහු පැවසුවේ ය.

පෙපේ පැවසුවේ ඔවුන්ගේ පවුල "සිද්ධස්ථාන සහ කෞතුකාගාරවලට මෙම ධාතු පරිත්‍යාග කිරීම ගැන සොයා බැලූ නමුත් ඒ සියලු අවස්ථාවලදී විවිධ ගැටලු ඇති වූ බවයි".

"මම මේ ධාතු බෞද්ධයන්ට ලබා දීම සඳහා සාධාරණ ම හා විනිවිද පෙනෙන ක්‍රමයක් ලෙස පෙනෙන්නේ වෙන්දේසියක් වන අතර, සොදබී එය සාක්ෂාත් කර දෙනු ඇතැයි අපට විශ්වාසයි."

ඇතැමෙක් මෙය බොහෝ ඉන්දියානුවන් විසින් සොරකමක් ලෙස දකින, බ්‍රිතාන්‍ය ඊස්ට් ඉන්දියා සමාගම විසින් ලබා ගන්නා ලද කොහ්-ඉ-නූර් දියමන්තියට සමාන කරති. එය දැන් බ්‍රිතාන්‍ය රාජ්‍ය ආභරණවල කොටසකි. බුදුන්ගේ මාණිඛ්‍යවලට ද මෙම ඉරණම අත්විය යුතු ද?

"ආපසු ගෙන්වා ගැනීම කලාතුරකින් අවශ්‍ය වන දෙයක් යයි මම විශ්වාස කරනවා," යැයි අහුජා පවසයි. "කෙසේ වෙතත්, අද්විතීය හා භූමියක සංස්කෘතික ඉතිහාසය නිර්වචනය කරන එවැනි දුර්ලභ හා පූජනීය ධාතු රජයේ සුවිශේෂී අවධානයට ලක්විය යුතුයි."

මේ අතර, මෙම වෙන්දේසියක් නතර කර ඒවා ඉන්දියාවට ආපසු ලබා දෙන ලෙසත්, මෙම වෙන්දේසිය නතර නොකළහොත් හොංකොං හි සෝදබීස්සමාගමටඑරෙහිව නීතිමය පියවර ගන්නා බවට ඉන්දීය රජය තර්ජනය කර තිබේ.