මීලා මැගී: එංගලන්ත රූ රැජිණ ලෝක රූ රැජිණ තරගයෙන් ඉවත් වුණේ ඇයි? ඇය කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Milla Magee | Facebook
- Author, බීබීසී සිංහල
එංගලන්ත රූ රැජිණ මීලා මැගී 72 වන ලෝක රූ රැජිණ තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
ඒ, ඇය එම තරගාවලියෙන් ඉවත් වීමට හේතු ලෙස ඉන්දීය මාධ්‍ය මෙන් ම, බ්‍රිතාන්‍ය මාධ්‍ය ද පළ කර ඇති වාර්තා නිසා ය.
මෙවර ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කරමින් අනුදි ගුණසේකර ඊට සහභාහී වී ඇති බැවින් එම තරගාවලිය කෙරෙහි ශ්‍රී ලංකාවේ ද වැඩි අවධානයක් යොමු වී තිබේ.
"පෞද්ගලික හේතු මත" 24 හැවිරිදි මීලා මැගී තරගාවලියෙන් ඉවත් වූ බවට මුලදී වාර්තා වුව ද දැන් එම තීරණය පිටුපස ඇති "සත්‍යය" හෙළිදරව් වෙමින් පවතින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබේ. මැයි 7 වන දා ආරම්භ වූ මෙම තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වේ. තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මීලා මැගී එල්ල කළ බව කියන චෝදනා මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Milla Magee | Facebook
"මම එහේ ගියේ වෙනසක් කරන්න, නමුත් අපට සිද්ධ වුණේ රඟපෑම් කරන වඳුරෝ වගේ වාඩි වෙලා ඉන්න."
රූ රැජිණ තරග ඉතිහාසයේ ඉන් ඉවත් වූ පළමු එංගලන්ත රූ රැජිණ බව සැලකෙන මීලා මැගී එසේ පැවසූ බව බ්‍රිතාන්‍යයේ The Sun වෙබ් අඩවිය මෙන් ම ඉන්දියාවේ ද මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි. බීබීසී තෙළිඟු සේවය ද මේ පිළිබඳව වාර්තා කර තිබිණි.
"මේ තරගය තියෙන්නේ අතීතයේ හිරවෙලා. සදාචාරාත්මකව මට ඒකේ කොටසක් වෙන්න බෑ," ඇය සඳහන් කළ බවට වාර්තා පළ වී තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තරගාවලිය අතරතුර තමන් "ගණිකාවක් මෙන්" තමාට දැනුණු බවත්, එහි සංවිධායකයින් තමන් "අන් අය සතුටු කිරීම සඳහා යොදා ගත් බවත්," ඇය චෝදනා කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ධනවත් පිරිමි අනුග්‍රාහකයන් ඉදිරියේ ගමන් කරවීමට සැලැස්වීමෙන් පසු තරගයෙන් ඉවත් වීමට තමා තීරණය කළ බව මීලා පවසා තිබේ.
ඇය මෙම තරගාවලිය "යල් පැන ගිය" එකක් ලෙස හැඳින්වූ බවත් එහි අවසන් තරගකරුවන් 109 දෙනාගෙන් සමහරෙකු "නීරස ස්වභාවයක්" පෙන්වීම නිසා දෝෂාරෝපණයට ලක්වූ බවත් මාධ්‍ය වාර්තා පළ අර තිබේ.
"ලෝකයේ තියෙන කිරුළු සහ ගරු නාම ඔබ ඕබේ කටහඬ භාවිත කර ලෝකය තුළ වෙනසක් ඇති කිරීම තරම් වටින්නේ නැහැ," ඇය පැවසූ බව සඳහන් වේ.
තරගාවලියේදී තමන් මුහුණ දුන් බව කියන "අමිහිරි" අත්දැකීම් ගැන ඇය තවදුරටත් මෙලෙස ප්‍රකාශ කළ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
"අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකට ම ගැහැනු ළමයි දෙදෙනෙක් හිටියා."
"අපෙන් බලාපොරොත්තු වුණේ මුළු හවස්වරුව ම එයාල එක්ක වාඩි වෙලා ඉඳන් එයාලට කෘතගුණ සැලකීමක් විදිහට එයාලව සතුටු කරන්න."
"මට ඒක විශ්වාස කරන්න බැරි දෙයක් කියලා හිතුණා. 'මේක හරි ම වැරදියි' කියලා, මම හිතුවා. මම මෙහෙට ආවේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා අතින් අතට යන්න නෙවෙයි. ලෝක රූ රැජිණ තරගයටත් ඒ වගේ වටිනාකම් තියෙන්න ඕනේ. ඒත් ඒක යල් පැන ගියපු අතීතයේ හිර වෙලා තියෙන්නේ. ඔවුන් මාව ගණිකාවක් ලෙස දැනෙන්න සැලැස්වූවා."
මීලා තවදුරටත් මෙලෙස පැවසූ බව ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ ඇත: "එක් අවස්ථාවක මම වැදගත්කමක් තියෙන දේවල් ගැන කතා කරන්න උත්සහ කළත් මේසයේ සිටි පිරිමින් උනන්දුවක් දැක්වූවේ නැහැ කියලා පැහැදිලි වුණා. ඒ වෙනුවට එතන වුණේ, මට අපහසුතාවක් දැනුණු අමුතු පොඩි පොඩි කතා.
මීට අමතරව, තරගාවලිය සම්බන්ධයෙන් මීලා තවත් චෝදනා නගා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති ප්‍රතිචාර දක්වයි
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post
ලෝක රූ රැජිණ සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, මෙම මස මුලදී, මීලා මැගී ඇගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට ඉල්ලා සිටි බව ය.
ඒ අනුව, ඇගේ සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගේ යහපැවැත්මට මුල් තැන දෙමින් වහා ම ඇයව එංගලන්තයට නැවත යැවීමට අවශ්‍ය කටයුතු සලසා දුන් බව ඇය තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ඇයගේ නික්ම යාමෙන් පසු, එංගලන්ත රූ රැජිණ තරගයේ පළමු අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට්, තම රට නියෝජනය කිරීමට ඉදිරිපත් වූ බව ඇය පවසයි. ඒ අනුව, ඇය ඉන්දියාවට පැමිණ තිබිණි.
එම නිවේදනයේ මෙලෙස ද සඳහන් වෙයි: "අවාසනාවකට මෙන්, ඉන්දියාවේදී ඇයට ලැබුණු අත්දැකීම් සම්බන්ධයෙන් මීලා මැගී විසින් කරන ලදැයි කියන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කරනු ඇති බව අපගේ අවධානයට ලක්ව තිබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම පදනම් විරහිත වන අතර ඇය අප සමග ගත කළ කාලයේ සිදු වූ සැබෑ සිදුවීම් සමග එය නොගැලපේ."
ඊට ප්‍රතිචාර වශයෙන්, ලෝක රූ රැජිණ සංවිධානය, මීලා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ පටිගත කරන ලද සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නිකුත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මීලා මැගී යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Milla Magee | Facebook
24 වන වියේ පසුවන මීලා මැගී ඉකුත් වසරේ Miss World England කිරුළ දිනා ගත්තා ය.
මුලින් ලන්ඩනයේ මෝර් හවුස්හි අධ්‍යාපනය ලැබූ ඇය, අධ්‍යයන කටයුතුවල දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර අවසානයේ කෝන්වෝල් වෙත ගියා ය. ඇය කෝන්වෝල්හි නිව්කේහි ජීවත් වූ නමුත් හැදී වැඩුණේ ලන්ඩනයේ ය.
කෝන්වෝල්හිදී ඇය රළ මත ලිස්සා යාම ඉගෙන ගනිමින් වෙරළ ජීවිතාරක්ෂකයෙකු බවට පත් වූවා ය.
සාම්ප්‍රදායික සිහින් සිරුරක් නොව ප්‍රමාණයෙන් තරමක් විශාල සිරුරක් (plus-size / size 16) ඇතිව එංගලන්ත රූ රැජිණ බවට පත් වූ තරුණිය ද ඇය යි. තම අධික බර හේතුවෙන් ඇය පාසලේදී විවිධ හිංසාවලට ලක් වූ අයෙකි.
ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය ඉකුත් වසරේ බීබීසීය වෙත ප්‍රකාශ කළේ, "මේ ඊනියා රූ රැජිණ තරග පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමේ කර්තව්‍යයේ කොටසක් වීමට මට අවශ්‍ය වුණා," යනුවෙනි.
රට පුරා පාසල්වලට CPR පුහුණුව අනිවාර්ය කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් වන GoFarwithCPR සඳහා ඇය නායකත්වය දෙයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන මූලික හේතු වන්නේ, ඇගේ ජීවිතයේ අත්විඳින්නට වූ ඛේදවාචකයකි. මීලාගේ මුත්තණුවන් දෙදෙනා ම මියගොස් ඇත්තේ හෘදයාබාධවලිනි.














