ජාත්‍යන්තර කාන්තා දිනය යනු කුමක් ද? එය වැදගත් වන්නේ ඇයි?

People across the world celebrate International Women's Day each year

ඡායාරූප මූලාශ්‍රය, Tomas Cuesta / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශත වර්ෂයකට අධික කාලයක සිට ලොව පුරා ජනතාව මාර්තු 8 වන දා කාන්තාවන් සඳහා වන විශේෂ දිනයක් ලෙස සලකති.

ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව මාධ්‍යවල සඳහන් කර ඇති අවස්ථා හෝ ඔබේ මිතුරු මිතුරියන් ඒ පිළිබඳව කතා කරන අවස්ථා ඔබේ දෙනෙත ගැටී හෝ සවනත වැකී තිබෙන්නට හැකිය.

ශත වර්ෂයකට අධික කාලයක සිට ලොව පුරා ජනතාව මාර්තු 8 වන දා කාන්තාවන් සඳහා වන විශේෂ දිනයක් ලෙස සලකති.

එහෙත්, මෙම දිනය කුමක් වෙනුවෙන් ද? එය සමරන්නේ කවදා ද? ඊට සමගාමීව ජාත්‍යන්තරව සැමරෙන පුර්ෂයන්ගේ දිනයක් තිබේ ද? සහ එය වැදගත් වන්නේ ඇයි?

එය ආරම්භ වූයේ කෙසේ ද?

Clara Zetkin looks to the camera

ඡායාරූප මූලාශ්‍රය, Corbis / Hulton Deutsch

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලාරා සෙට්කින් 1910 දී ජාත්‍යන්තර කාන්තා දිනය ආරම්භ කළාය

කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු ව්‍යාපාරය හරහා වර්ධනය වූවකි.

එහි මුල් බීජ රෝපණය වූයේ, 1908 වසරේදී කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමග ය. ඉන් වසරකට පසු ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂය පළමු වරට ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.

එම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ, කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා හිමිකම් පිළිබඳ නීතිඥවරියක වූ ක්ලාරා සෙට්කින් නම් කාන්තාව ය. ඇය එම යෝජනාව 1910 වසරේදී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී ඉදිරිපත් කළා ය. එම සමුළුවට රටවල් 17ක් නියෝජනය කරමින් කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර,ඇයගේ යෝජනාව ඒකමතිකව පිළිගැනිණි.

1911 වසරේදී එය පළමු වරට සමරන ලද්දේ, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල ය.ජාත්‍යන්තර කාන්තා දිනයේ සියවස් සැමරුම 2011 වසරට යෙදී තිබිණි.

මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ, 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය සැමරීමට පටන් ගත් පසුව ය. 1996 වසරේදී මේ සඳහා වන පළමු තේමාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් අතර, එම තේමාව වූයේ, "අතීතය සැමරීම සහ අනාගතය සැලසුම් කිරීම" (Celebrating the Past, Planning for the Future) ය.

ජාත්‍යන්තර කාන්තා දිනය සමාජය තුළ, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි කාන්තාවන් කෙතරම් ඉදිරියට පැමිණ තිබේ ද? යන්න සැමරීමේ දිනයක් බවට පත්ව ඇති අතර, වත්මන් දේශපාලන මූලයන් අදහස් කරන්නේ, අඛණ්ඩ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන බව ය.

මාර්තු 8 යෙදුණේ ඇයි?

A demonstration for International Women's Day in Sao Paulo, Brazil, in 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාත්‍යන්තර කාන්තා දිනයක් වෙනුවෙන් ක්ලාරා ඉදිරිපත් කළ යෝජනාවේ එය සමරන නිශ්චිත දිනයක් ගැන සඳහන් නොවීය.

1917 වසරේදී රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලමින් නිරත වූ යුද්ධ කාලීන වැඩවර්ජනය තෙක් එය විධිමත් තත්ත්වයක නොපැවතිණි. වැඩවර්ජනය ඇරඹී දින හතරක් ගත වෙද්දී සාර් රජුට බලය අත්හැරීමට බල කෙරුණු අතර ඉන්පසු පිහිටවූ තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ ය.

රුසියාවේ එවකට භාවිතයේ පැවති ජූලියන් දින දර්ශනයට අනුව කාන්තා වැඩවර්ජනය ආරම්භ වූ දිනය පෙබරවාරි 23 ඉරිදා ය. ග්‍රෙගරියානු දින දර්ශනය අනුව එම දිනය, මාර්තු 8 වන දා විය. අද දිනයේ එය සමරන්නේ, එහෙයිනි.

ජනතාව දම් පැහැති ඇඳුම් අඳින්නේ ඇයි?

Street vendors selling purple flower necklaces for IWD

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දම් පාට බොහෝ විට ජාත්‍යන්තර කාන්තා දිනය සමඟ සම්බන්ධ වන්නේ එය 'යුක්තිය සහ අභිමානය' සංකේතවත් කරන බැවිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇති වෙබ් අඩවියෙහි දැක්වෙන පරිදි, ජාත්‍යන්තර කාන්තා දිනයේ වර්ණ වන්නේ, දම්, කොළ සහ සුදු ය.

"දම්පාටින් යුක්තිය සහ ගෞරවය සංකේතවත් වෙනවා. කොළ පාටින් සංකේතවත් වෙන්නේ, අපේක්ෂාව. මතභේදාත්මත් සංකල්පයක් වුණත්, සුදු පැහැය පාරිශුද්ධත්වය නියෝජනය කරනවා. මේ වර්ණ භාවිතයේ මූලාරම්භය වුණේ, 1908 වසරේදී එක්සත් රාජධානියේ කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) යි," ඔවුහු පවසති.

ජාත්‍යන්තර පුර්ෂයන්ගේ දිනයක් තිබේ ද?

සත්‍ය වශයෙන් ම, එවැනි දිනයක් තිබේ. ඒ, නොවැම්බර් 19 වන දා ය.

කෙසේ වෙතත්, එය නම් කරන ලද්දේ, 1990 ගණන්වල සිට ය. එමෙන් ම, එය මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන නැත. එක්සත් රාජධානිය ඇතුළු රටවල් 80කට අධික සංඛ්‍යාවක ජනතාව එය සමරති.

එහි සංවිධායකයින්ට අනුව, "පිරිමින් ලෝකයට, ඔවුන්ගේ පවුලට සහ ප්‍රජාවන්ට ගෙන එන ධනාත්මක වටිනාකම" කෙරෙහි අවධානය යොමු කරන අතර, ධනාත්මක ආදර්ශ ඉස්මතු කිරීම, පිරිමින්ගේ යහපැවැත්ම පිළිබඳ දැනුවත් කිරීම සහ ස්ත්‍රී - පුරුෂ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කෙරේ.

කාන්තා දිනය සැමරෙන්නේ කෙසේ ද?

Women with flower bunches

ඡායාරූප මූලාශ්‍රය, China News Service / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ජාත්‍යන්තර කාන්තා දිනයේදී ජනතාව ඩූනන් මල් වෙළඳපොලේදී මල් මිලදී ගන්නා අයුරු

ජාත්‍යන්තර කාන්තා දිනය රුසියාව ඇතුළු බොහෝ රටවල ජාතික නිවාඩු දිනයක් වන අතර, එහිදී මාර්තු 8 වන දිනට ආසන්න දින තුනක් හෝ හතරක් තුළ මල් අලෙවිය දෙගුණ වේ.

චීනයේ, රාජ්‍ය කවුන්සිලයේ උපදෙස් පරිදි මාර්තු 8 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩුවක් ලැබේ.

la Festa della Donna ලෙස හැඳින්වෙන ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබන්නේ, මිමෝසා මල් තිලිණ කිරීමෙනි. එම සම්ප්‍රදායේ මූලාරම්භය පැහැදිලි නැති වුව ද, දෙවන ලෝක යුද්ධයෙන් පසු රෝමයේදී ආරම්භ වූ බවට විශ්වාස කෙරේ.

ඇමෙරිකාවේ, මාර්තු මාසය යනු කාන්තාවන්ගේ ඉතිහාස මාසය යි. සෑම වසරක ම නිකුත් කරන ජනාධිපති ප්‍රකාශයකින් අමෙරිකානු කාන්තාවන්ගේ ජයග්‍රහණ අගය කෙරේ.

2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව කුමක් ද?

Women walking in the streets wearing scarves covering their faces

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සටන් වදියි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2024 කාන්තා දින තේමාව වන්නේ, "කාන්තාවන් වෙනුවෙන් ආයෝජනය කරන්න: ප්‍රගතිය වේගවත් කරන්න" යන්න ය. මෙම තේමාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ක්‍රියාමාර්ග සඳහා ආයෝජනය කිරීමේ හිඟයක් ඉස්මතු කිරීම අරමුණු කරගෙන යොදා තිබේ.

"ගැටුම් සහ ඉහළ යන භාණ්ඩ හා සේවා මිල හේතුවෙන් 2025 වන තුරු රටවල් අතරින් 75%ක් මහජන සේවාවන් වෙනුවෙන් කරන පිරිවැය කපා දමා තිබෙනවා. මේක කාන්තාවන්ට සහ ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන්ට ඍණාත්මක බලපෑමක් ඇති කරනවා," ඔවුහු පවසති.

2030 වසර වන විට ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම් වසරකට අතිරේක ඩොලර් බිලියන 360 (පවුම් බිලියන 284) ක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. රජයේ ආධාරවලින් 5% ක් පමණක් ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එවා වැළැක්වීමට යොදවනු ලබන්නේ 0.2% ට වඩා අඩුවෙන් බව UN වාර්තා කරයි.

එහෙත්, වෙනත් තේමාවන් ද තිබේ. ජාත්‍යන්තර කාන්තා දින වෙබ් අඩවිය, "Inspire Inclusion" යන තේමාව තෝරාගෙන ඇති අතර, සංවිධායකයින් ක්‍රියාකාරකම් හරහා "බාධක බිඳ දැමීමට, ඒකාකාරීත්වයට අභියෝග කිරීමට සහ සියලු ම කාන්තාවන් අගය කරන සහ ගෞරවයට පාත්‍ර වන පරිසරයක් නිර්මාණය කිරීමට" උත්සහ කරයි.

එය අවශ්‍ය ඇයි?

IWD demonstration in Lima, Peru, on 8 March 2023

ඡායාරූප මූලාශ්‍රය, Fotoholica Press

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පුරා කාන්තාවන් සිය ගණනක් තම අයිතීන් වෙනුවෙන් පෙළපාලි යාමට වීදි බැස සිටිති - මෙහි සිටින්නේ පේරු හි ලීමා හි කාන්තාවන් ය.

පසුගිය වසර තුළ ඇෆ්ගනිස්ථානය, ඉරානය, යුක්රේනය සහ ඇමෙරිකාව ආදී බොහෝ රටවල කාන්තාවන් තම රටවල පවතින යුද්ධය, ප්‍රචණ්ඩත්වය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් මධ්‍යයේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මෑතකදී ඇති වූ ගැටුම් අතරතුර මැද පෙරදිග කාන්තාවෝ ප්‍රචණ්ඩත්වයේ උපරිම මට්ටමට මුහුණ පෑහ. ඊශ්‍රායල් හමුදා විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ ඇතුළු ගාසා තීරයේ කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ විශ්වාස කළ හැකි චෝදනා ඉදිරිපත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෝ පවසති. ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයේදී ස්ත්‍රී දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රි ලිංග ඡේදනය කිරීම් පිළිබඳ සාක්ෂි ද බීබීසී පුවත් සේවය දැක තිබේ.

මානුෂීය අර්බුදයක පීඩනය උසුලන කාන්තාවන් ද ගැටුමට මැදිවී සිටිති. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන පරිදි, මීළඟ මාසය තුළ ගාසා තීරයේ කාන්තාවන් 5,500ක් පමණ වෛද්‍ය ආධාර සඳහා ඉතා අඩු ප්‍රවේශයක් යටතේ දරුවන් ප්‍රසූත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇෆ්ගනිස්ථානයේ, තලේබාන් සංවිධානය විසින් ප්‍රාථමික පාසල් වයස ඉක්මවූ ගැහැනු දරුවන්ට පන්ති කාමර තහනම් කර ඇති අතර, එය කාන්තාවන්ගේ සමාන අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතියට බාධා කිරීමකි.

Cart with women and children fleeing Sudan for Chad

ඡායාරූප මූලාශ්‍රය, Abdulmonam Eassa / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චැඩ් රාජ්‍ය වෙත සුඩානයෙන් පලා යන කාන්තාවන් සහ ළමුන්

සුඩානයේ, සුඩාන සන්නද්ධ හමුදා සහ ක්ෂණික සහයක බළකාය (RSF) අතර පවතින ගැටුම ද විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි, ක්ෂණික සහයක බළකාය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවල කාන්තාවන් සහ ගැහැනු දරුවන් පැහැරගෙන ගොස් දූෂණය කරන බව වාර්තා වන අතර, එහිදී කාන්තාවන්ට විවාහ වීමට බලකිරීම් සහ ඔවුන් කප්පම් සඳහා රඳවා තබා ගැනීම් ද සිදුවෙයි. මිලියන 1.2කට අධික පිරිසක් අසල්වැසි රටවලට පළාගොස් ඇති අතර, සරණාගතභාවය පතන එම පුද්ගලයින් 10 දෙනෙකු අතරින් 9 දෙනෙකු ම කාන්තාවන් හෝ දරුවෝ වෙති.

කාන්තාවන් තම හිසකෙස් ආවරණය කරගෙන සිටිය යුතු බවට, ඉරානයේ පවතින දැඩි නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සදාචාර පොලිස් අත්අඩංගුවේ පසුවූ 22 හැවිරිදි මහ්සා අමිනිගේ මරණයට සැප්තැම්බර් මාසයේදී වසරක් ගත විය. නොබෙල් සාම ත්‍යාගලාභී නාර්ගේස් මොහම්මදි වැනි ක්‍රියාකාරිණියන් දීර්ඝ කාලීන සිර දඬුවම්වලට මුහුණ දෙමින් අතර, බොහෝ කාන්තාවෝ මෙම නීතිය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරති.

Woman in Mexico marching to celebrate the decriminalisation of abortion in the country in 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 දී මෙක්සිකෝව ගබ්සා කිරීම් සීමා ලිහිල් කරන ලතින් ඇමරිකානු රටවල් ලැයිස්තුවට එක් විය

කෙසේ වෙතත්, පසුගිය වසර තුළ යම් ප්‍රගතියක් දක්නට ලැබේ.

2023 ඔක්තෝම්බර් මාසයේදී, ආර්ජන්ටිනා කොන්ග්‍රසය, ඉන්ටර්නෙට් හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ අපරාධකරුවන් වගකිවයුත්තන් කිරීම සඳහා වන ඔලිම්පියා නීතිය අනුමත කළේ ය. ආර්ජන්ටිනාවේ ඇම්නෙස්ටි ජාත්‍යන්තර ශාඛාව පවසන පරිදි, එරට සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔන්ලයින් ප්‍රචණ්ඩත්වය අත්දැක තිබේ.

Taiwanese woman with crossed hands in front of her face

ඡායාරූප මූලාශ්‍රය, SAM YEH / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Netflix වැඩසටහනක් තායිවානයේ MeToo ව්‍යාපාරයේ පිබිදීමට හේතුවිය

තායිවානයේ MeToo ව්‍යාපාරයෙන් ආරම්භ කරන ලද, Netflix වැඩසටහනක් මගින් ව්‍යාප්ත කරන ලද එරට ලිංගික අතවර චෝදනා රැල්ලක් අත්දැක්කේ ය. මෙම සිද්ධිය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට ලිංගික හිංසන විරෝධී නීති දැඩි කිරීමට පෙළඹවීමක් ඇති කරනු ලැබූ අතර, සියලු සේවා ස්ථාන - කලින් නිදහස් කරන ලද කුඩා ව්‍යාපාර ඇතුළුව - එවැනි සිදුවීම් වාර්තා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. ඒ අනුව, සේවා යෝජකයින් සියලු ම ලිංගික හිංසන පිළිබද පැමිණිලි විමර්ශනය කර ඔවුන්ගේ වාර්තා පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ය.

ගබ්සා කිරීම් සාපරාධී අපරාධයක් ලෙස නොසැලකීමට පසුගිය වසරේදී මෙක්සිකෝව ගත් තීරණය කාන්තා හිමිකම් කණ්ඩායම්වල පැසසුමට ලක්විය. එය ලතින් ඇමරිකාව පුරා ගබ්සා කිරීමට පනවා තිබූ සීමා ලිහිල් කිරීමේ "කොළ පැහැති රැල්ලක්" ලෙසින් හදුන්වන ප්‍රවණතාවකට මග කීවේ ය.

වඩාත් මෑතකදී, ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව, ගබ්සා කිරීමට කාන්තාවන්ට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කිරීමට අතිබහුතර ඡන්දයක් ලබා දුන්නේ ය.

එමෙන් ම, ජූලි සහ අගෝස්තු මාසවලදී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියට මිලියන දෙකකට ආසන්න ක්‍රීඩා ලෝලීන් සහභාගි වූහ - පෙර වාර්තාවට වඩා එහිදී ප්‍රේක්ෂකයින් 600,000කට වඩා වැඩි විය. Women's Sports Trust ආයතනයේ නවතම පර්යේෂණයකට අනුව, 2023 වසරේදී එක්සත් රාජධානියේ රූපවාහිනිය හරහා කාන්තා මලල ක්‍රීඩා තරග නැරඹූ වාර්තාගත මිලියන 46.7ක ජනතාවක් සමග කාන්තා ක්‍රීඩා කෙරෙහි ජනතාවගේ වැඩි වන උනන්දුව පිළිබිඹු වෙයි. 2023 වසරේ සමස්ත ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 2019 වසර සමග සැසදීමේදී මිලියනයක ඉහළ යාමකි.

Jennifer Hermoso of Spain celebrates with the trophy during the FIFA Women's World Cup

ඡායාරූප මූලාශ්‍රය, Marc Atkins/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පැහැදිලිවම මට ක්‍රීඩකයෙකු සහ පුද්ගලයෙකු ලෙස අගෞරවයක් දැනුණා" යැයි ජෙනී හර්මෝසෝ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවාය

එහෙත්, කාන්තා ලෝක කුසලාන ජයග්‍රාහකයින් වූ ස්පාඤ්ඤයට සැමරීමට සිදුවූයේ, එරට හිටපු පාපන්දු ප්‍රධානී ලුයිස් රුබියාලස්, ජෙනී හර්මෝසෝ නමැති ක්‍රීඩිකාවගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධිය යි. හර්මෝසෝ පවසන්නේ, ඇය සිප ගැනීමට එකඟ නොවූ බවත්, තනතුරෙන් ඉල්ලා අස්වූ සහ වරදක් කළ බව ප්‍රතික්ෂේප කරන රුබියාලස්ට එරෙහිව නීතිමය පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය කාන්තා පාපන්දු ක්‍රීඩාව තුළ මෙන් ම ඉන් පිටත ද ලිංගිකත්වය පිළිබඳ සංස්කෘතියක් පිළිබඳ පුළුල් සංවාදයක් නිර්මාණය කළේය.

100 women

BBC 100 Women විසින් සෑම වසරක ම ලොව පුරා සිටින බලපෑම් කළ හැකි සහ බලගතු කාන්තාවන් 100 දෙනෙක් නම් කෙරෙති. Instagram සහ Facebook හි BBC 100 Women ෆලෝ කරන්න. #BBC100Women හරහා සංවාදයට එක් වන්න.