දසුන් ශානකගේ නායකත්ව ගමන් මග දෙස හැරී බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, Matt Roberts-ICC/ICC via Getty Images
- Author, බීබීසී සිංහල
2026 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද ( දෙසැම්බර් 19 වැනිදා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතයේ වෙනසක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී ඉදිරියේ පැවැත්වීමට නියමිතව ඇති පාකිස්ථානය හා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලි ද්විත්වයේ ද ශ්‍රී ලංකා නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ය.
දසුන් ශානක දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අමතරව ලීග් ක්‍රිකට් තරගවලද කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන අතර ඔහු ලීග් ක්‍රිකට් කණ්ඩායම්වලටද නායකත්වය සපයයි.
T20 ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ශ්‍රී ලංකා සංචිතය
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නම් කළ මූලික සංචිය මෙසේය.
දසුන් ශානක (නායක),
පැතුම් නිස්සංක,
කුසල් මෙන්ඩිස්,
කමිල් මිශාර,
කුසල් ජනිත් පෙරේරා,
ධනංජය ද සිල්වා,
නිරෝෂන් දික්වැල්ල,
ජනිත් ලියනගේ,
චරිත් අසලංක,
කමිඳු මෙන්ඩිස්,
පවන් රත්නායක,
සහන් ආරච්චිගේ,
වනිඳු හසරංග,
දුනිත් වෙල්ලාලගේ,
මිලාන් රත්නායක,
නුවන් තුෂාර,
එශාන් මාලිංග,
දුෂ්මන්ත චමීර,ප්
රමෝද් මධුශාන්,
මතීෂ පතිරණ,
ඩිල්ෂාන් මධුසංක,
මහීෂ් තීක්ෂණ,
දුශාන් හේමන්ත,
විජයකාන්ත් වියස්කාන්ත්,
ට්‍රැවින් මැතිව්
මෙම සංචියට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල නම්කර තිබීම විශේෂත්වයකි. දැනට ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ සිටින ධනංජය ද සිල්වා වසර කිහිපයකින් T20 තරග සංචිතවලට එක්ව නොමැත.
2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී ජෛව ආරක්ෂිත බුබුල බිඳ දැමීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට මීට පෙර චෝදනා එල්ල විය.
පසුව ඔහුට තහනම් උත්තේජක චෝදනා ද එල්ල වුණි.
ජයග්‍රහණ ගෙනා දසුන් ශානකගේ නායකත්වය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන සංචාරය සඳහා දසුන් ශානක පළමු වරට නායකත්වයට නම් කෙරුණි.
පකිස්ථානය සමග පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 64කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එය පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගයක් වසර 6කට පසුව ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව එය විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සමත්විය.
පළමු වරට නායකයෙකු ලෙස පාකිස්ථානයට එරෙහිව විස්සයි 20 තරග සංචාරයක් ජයග්‍රහණය කළ තෙවන නායකයා ලෙසට දසුන් ශානක ක්‍රිකට් වාර්තා පොතට එක්විය. ඔහුට පෙර එම දස්කම දක්වා තිබුනේ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාර්ක් පමණි.
එංගලන්තයට එරෙහිව කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ලද පරාජයෙන් පසු 2021 වසරේ දී දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කෙරුණි.
එහිදී ඉන්දීය කණ්ඩයම සමග පැවති එක්දින තරග සංචාරයේදී ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස පරාජයට පත්වුවද විස්සයි 20 තරග මාලාව 2-1ක් ලෙස ඉන්දියාවට එරෙහිව ජය වාර්තා කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඉන් අනතුරුව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග සංචාරයේදී 2-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව වසර 8 කට පසුව ශ්‍රී ලංකාව ලද පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස එය වාර්තා අතරට එක්විය.
2021 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය හොබවනු ලැබුවේ ද දසුන් ශානකයි. 2022 වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග සංචාරයේදී සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට දසුන් ශානකට හැකිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Francois Nel/Getty Images
එම වසරේ ජුනි මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී දසුන් ශානක නායකයෙකු ලෙස කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කිරීමට සමත් විය.
එහිදී ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූ අතර එවැනි දස්කමක් දැක්වීමට ශ්‍රී ලංකාවට හැකිවුයේ වසර 12කට පසුවයි.
එමෙන්ම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවති 2022 ආසියානු කුසලාන ශුරතාවය ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ හිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ද අවස්ථාව උදාකර ගන්නා ලදී.
දසුන් ශානකගේ නායකත්වය යටතේ එක්දින තරග 13ක් අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී සිය ප්‍රතිවාදී කණ්ඩායම සම්පුර්ණයෙන් දවා ගත් එකම කණ්ඩායම ලෙස වූ වාර්තාවට ද හිමිකම් කීමට සමත්විය.
එමෙන්ම වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයග්‍රහණය කළ ලොව දෙවන කණ්ඩායම බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.
නායකයෙකු ලෙස දසුන් ශානක T20 තරග 53කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 24ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 27කි.තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
දසුන් ශානක එක්දින ජාත්‍යන්තර තරග 41කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දී ඇති අතර එහිදි තරග 23ක් ජය ලබා ඇති අතර පරාජයට පත්වී ඇති තරග සංඛ්‍යාව 17කි.
වසර 7කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාවේදී 20/20 තරගයක් ජයගනී
2023 වසරේදී ලෝක ක්‍රිකට් පිටියේ උද්වේගකර තරගයක් නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට වාසනාව උදාකර දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෙවැනි 20/20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 16ක ජයක් ලැබීය.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ තරගයක් වීම නිසාය.
වසර 7කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේදී 20/20 තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
එවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී 20/20 තරගයක් ජයග්‍රහණය කර තිබුණේ 2016 වර්ෂයේ පූනේ හීදීය.
දසුන් ශානක එම තරගයේදී නායකත්වයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 22 කින් නොදැවී ලකුණු 56ක් රැස් කළ අතර ඔහු සිය අර්ධ ශතකය රැසකර ගනු ලැබූවේ පන්දු 20කට මුහුණ දෙමිනි.
එය පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකයයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මහේල ජයවර්ධනය.
ආසියානු කුසලානයේ ලද පරාජය සහ නායකත්වය පිළිබඳ ඇතිවූ කතා බහ
2023 අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය හේතුවෙන් දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් කතිකාවතක් මෙරට සමාජ මාධ්‍ය තුළ ඇතිවිය.
ඉන්දියාවට එරෙහි එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 50කට දැවී ගියහ.
දසුන් ශානක නායකයෙකු ලෙස යම් සාර්ථක භාවයක් පෙන්නුම් කළද ඔහු පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමට ලබාදෙන සේවය අවම බවට ඇතැම් ප්‍රේක්ෂකයින් එහිදී පැවසූහ.
අනතුරුව ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක පත් කෙරුණි.
කෙසේ නමුත්, ආබාධයකට ද ලක්ව සිටි ඔහු එතැන් සිට කණ්ඩායමට ඇතුළත් වූයේ නැත.
එහෙත් පසුව ඔහු ලිග් ක්‍රිකට් තරග සඳහා එක්වූ අතර ඉන් දස්කම් දක්වනු ලැබීය.
දැන් නැවත වරක් අසලංකගේ නායකත්වය වෙනුවට දසුන් ශානක යළි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.
ඒ, පසුගිය පකිස්ථාන තරග සංචාරයේ අවසන් තරග දෙකේ නායකත්වය දැරීමෙන් අනතුරුවය.
ඔහුගේ නායකත්වයෙන් පැවති එම තරග දෙක ජයගහ්‍රණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැත.
කෙසේවෙතත්, පකිස්ථානය සහ එංගලන්තය සමග පැවැත්වෙන ඉදිරි තරගාවලි පමණක් නොව, T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා අවතීරණ කිරීමේ තීරණාත්මක වගකීමක් දසුන් ශානක වෙත පැවරෙනු ඇත.














