IPL 2025: දසුන් ශානකට අවස්ථාවක් හිමි වෙයිද ?

Dasun Shanaka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා (මාර්තු 22) ආරම්භ වීමට නියමිතව තිබේ.

18 වන වරටත් පවත්වනු ලබන මෙවර IPL තරගාවලිය මැයි මස 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.

2025 IPL තරගාවලිය ගැන දැන ගත යුතු කරුණු

මාර්තු මස 22 වැනිදා සිට ආරම්භ වෙන IPL තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 12ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර සමස්ත තරගාවලිය පුරාවට ක්‍රීඩා කරනු ලබන මුළු තරග සංඛ්‍යාව 74 කි.

මෙවර IPL තරගාවලියේ අවසන් මහ තරගය මැයි මස 25 වැනිදා ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී දී IPL අවසන් මහ තරගයක් පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම ද විශේෂත්වයක් වේ.

මෙවර IPL තරගාවලියේ පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

IPL 2025 තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පුහුණු සැසියක නිරත වෙමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, IPL 2025 තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පුහුණු සැසියක නිරත වෙමින්

දසුන්ට අවස්ථාවක් හිමි වෙයි ද?

මෙවර IPL තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4 කට මිලදී ගන්නා ලද එංගලන්ත කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන හැරී බෲක් මීට දින කිහිපයකට පෙර තරගාවලියෙන් ඉවත්වන බව නිවේදනය කළේය.

සිය මිත්තනියගේ අභාවය හේතුවෙන් ශෝකයට පත් සිය පවුල සමඟ රැඳී සිටීමට තීරණය කිරීම හේතුවෙන් මෙවර IPL තරගාවලිය සඳහා තමන් ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බව හැරී බෲක් සඳහන් කළේය.

අඛණ්ඩව තරගාවලි දෙකකදී ගිවිසුම් ගතවී IPL තරගාවලියේදී ක්‍රීඩා නොකර ඉවත්වීම හේතුවෙන් හැරී බෲක්ට 2027 වසර දක්වා තරග තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන ලදී.

මේ අතර හැරී බෲක් ගේ ඉවත් යෑමත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක එක්වී සිටියි.

මෙවර IPL තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් දසුන් ශානක සිය සංචිතයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද හෝ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

මෙවර IPL ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කවුද ?

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 13කට මතීෂ පතිරණ මෙවර තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ රඳවා ගනු ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග සහ මහිෂ් තීක්ෂණ මිලදී ගනු ලැබීය.

ජෙඩා හිදී පැවති ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 කට සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කරන ලදී.

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් නුවන් තුෂාර මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.6ක මුදලකටයි.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් වේග පන්දු ක්‍රීඩක එෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.20කට මිල දී ගනු ලැබී ය. ඔහු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට වීම විශේෂත්වයකි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 75කට සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට කමිඳු මෙන්ඩිස් ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගෙන තිබිණි.