බෙවන් ජෙකොබ්ස් : ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලියට කැඳවූ නවක ක්‍රීඩකයා කවු ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 සහ එක්දින තරගාවලිය ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 5 වැනිදා ය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් දෙක විස්සයි 20 තරගාවලියක් සඳහා නැවත හමුවන්නේ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත වීම ද විශේෂත්වයකි.
නොවැම්බර් මාසයේදී දෙපිල අතර පැවති විස්සයි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම විය.
නවසීලන්තය කැඳවූ නවක ක්‍රීඩකයා කවුද ?
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම නවක ක්‍රීඩකයෙකු වන බෙවන් ජෙකොබ්ස් කැඳවා තිබේ.
22 හැවිරිදි බෙවන් ජෙකොබ්ස් පසුගියදා පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට මිලදී ගනු ලැබිය.
දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇති බෙවන් ජෙකොබ්ස්, දකුණත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. 2002 වසරේ මැයි මස 6 වැනිදා උපත ලබා ඇති ඔහු වයස අවුරුදු 3දී සිය මව්පියන් සමග නවසීලන්තයට සංක්‍රමණය වී තිබේ.
ජෙකොබ්ස්, 2023-24 සුපර් ස්මෑෂ් තරගාවලියේදී කැන්ටබරි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 6 කදී පන්දු 71ක් තුළදී ලකුණු 134ක් රැස් කිරීමට සමත් විය. එම තරගාවලියේදී හයේ පහරවල් 9ක් සහ හතරේ පහරවල් 12ක් එල්ල කළ ජෙකොබ්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 188.73ක් ලෙස සටහන් විය.
ඕස්ට්‍රේලියාවේ පැවති කුවිස්ලන්ඩ් T20 Max තරගාවලියේදී බෙවන් ජෙකොබ්ස් සවුත් බ්‍රිස්බ්‍රේන් කණ්ඩායම නියෝජනය කරමින් ටොම්බුල් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 40කදී වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් විය.
ප්‍රවේගකාරී මැද පෙළ පිතිකරුවෙකු වන බෙවන් ජෙකොබ්ස්ගේ මෙම දක්ෂතාවයන් හේතුවෙන් ඔහුව IPL ක්‍රීඩක වෙන්දේසියේදී නවක ක්‍රීඩකයෙකු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (දෙසැම්බර් 23) පැවති පළමු විස්සයි 20 පුහුණු තරගයේදී බෙවන් ජෙකොබ්ස් පන්දු 16කදී වේගවත් ලකුණු 39ක් රැස් කිරීමට සමත් විය. එහිදී ඔහු ගේ ඉනිමට හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 02ක් ඇතුළත් විය.
එම තරගයේදී නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දු වාර 13යි පන්දු 4කදී ලකුණු 94කට දැවී ගිය අතර ශ්‍රී ලංකාව පන්දු වාර 10යි පන්දු 5කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 97ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා - නවසීලන්ත අතර එක්දින සහ විස්සයි 20 ඉතිහාසය
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා විස්සයි 20 තරග 25ක් පවත්වා ඇති අතර ඉන් වැඩි තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ඔවුන් තරග 14ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 10ක් පමණි.
දෙරට අතර මේ දක්වා ද්විපාර්ශවික විස්සයි 20 තරගාවලි 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5ක ජයග්‍රහණය නවසීලන්තය හිමිකර ගෙන තිබේ. එමෙන්ම දෙරට අතර පැවති විස්සයි 20 තරගාවලි 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
කෙසේ වුවද ශ්‍රී ලංකාව 2013 වසරේදී පැවති විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
මේ අතර දෙපිල අතර මේ දක්වා එක්දින තරග 105ක් පවත්වා ඇති අතර ඉන් තරග 52ක් නවසීලන්තය ද, තරග 43 ක් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර ඇත.














