දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් 5ක්

South Africa vs Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරග සංචාරය හෙට (නොවැම්බර් මස 27) වැනිදා ඩර්බන් හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග මාලාවක් පැවැත්වෙන්නේ වසර 03කින් පසුවයි. අවසන් වරට පැවති ටෙස්ට් තරග මාලාව 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර එහිදී දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 16ක් සහ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 09ක් ජයග්‍රහණය කර තිබේ.

දෙවසරකට පසු ශ්‍රී ලංකා සංචිතයට පැමිණි දඟ පන්දු යවන්නා

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරනු ලැබ තිබේ.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වසර දෙකකට පසුව කැඳවා ඇති අතර ඉකුත් නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ කසුන් රාජිත ද දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කර තිබේ.

නවසීලන්ත තරග සංචාරය සඳහා ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ සහ රමේෂ් මෙන්ඩිස් මෙවර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කර නොමැත.

ශ්‍රී ලංකා සංචිතය :

ධනංජය ද සිල්වා – නායක, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 624ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2006 වසරේදී සිදුකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් තරග සංචාරයේදී තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට සමත් වන ලදී.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරගවල සුවිශේෂී සිදුවීම්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පවත්වනු ලැබුවේ 1993 වසරේදීයි. එම තරඟාවලිය තරග 03කින් සමන්විත වූ අතර එය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීම දකුණු අප්‍රිකාව සමත් විය.

31ක් වසර තුලදී දෙපිල අතර ටෙස්ට් තරගාවලි 13ක් පවත්වා ඇති අතර එහිදී වාර්තා වූ සුවිශේෂී සිදුවීම් දෙස නැවත හැරී බලමු.

1. ලෝක වාර්තාවක් වූ සබඳතාවය

2006 වසරේදී සිදුකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් තරග සංචාරයේදී තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට සමත් විය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 624ක සම්බන්ධතාවයක් ගොඩ නැගීය.

එහිදී කුමාර් සංගක්කාර ලකුණු 287ක් සහ මහේල ජයවර්ධන ලකුණු 374ක් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා අතර පැවති මෙම ලකුණු 624ක සබඳතාවය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම සම්බන්ධතාවය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 153

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ESPNcricinfo වෙබ් අඩවියේ පළකර ඇති ලිපියකට අනුව වසර 147ක් වන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම ටෙස්ට් ඉනිම ලෙස ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 153 ඉනිම නම් කර තිබේ.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

02. ඩර්බන් හිදී කුසල්ගේ වික්‍රමය

ESPNcricinfo වෙබ් අඩවියේ පළකර ඇති ලිපියකට අනුව වසර 147ක් වන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම ටෙස්ට් ඉනිම ලෙස ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 153 ඉනිම නම් කර තිබේ.

2018 වසරේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවට එම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක් රැස් කිරීමට අවශ්‍යව තිබියදී 09 වන කඩුල්ල ලකුණු 226 දී දැවී යන ලදී.

ඉන් පසුව කුසල් ජනිත් පෙරේරා, අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු සමග එක්වෙමින් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබීය.

කුසල් ජනිත් පෙරේරා පන්දු 200 කදී නොදැවී රැස් කළ එම ලකුණු 153 සඳහා හතරේ පහරවල් 12ක් සහ හයේ පහරවල් 05ක් ඇතුළත් විය.

03. දකුණු අප්‍රිකාවේදී ආසියාවේ නම රැන්දු ශ්‍රී ලංකාව

දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු ක්‍රිකට් කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

2018 වසරේදී පැවති ටෙස්ට් තරග මාලාවේදී තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේදී වාර්තා කළ සිය පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්ව තිබේ. එම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක්වුයේ ආසියාවේ ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේදී වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

එම තරගාවලියේදී ලකුණු 224ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට කුසල් ජනිත් පෙරේරා පත්වූ අතර, කඩුලු 12ක් බිඳ හෙලමින් විශ්ව ප්‍රනාන්දු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව මුරලිදරන් අවස්ථා 11කදී කඩුලු 05 බැගින් සහ අවස්ථා 04කදී කඩුලු 10 බැගින් දවා ගැනීමට ද සමත්වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු අප්‍රිකාවට එරෙහිව මුරලිදරන් අවස්ථා 11කදී කඩුලු 05 බැගින් සහ අවස්ථා 04කදී කඩුලු 10 බැගින් දවා ගැනීමට ද සමත්වී තිබේ

04. දකුණු අප්‍රිකානුවන් අසරණ කළ මුරලි

2000 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලේ දී පැවති ක්‍රිකට් තරගයේදී මුත්තයියා මුරලිදරන් කඩුලු 13ක් දවා ගැනීමට සමත් විය. එම තරගයේදී ඔහු දෙවන ඉනිමේදී ලකුණු 84 කට කඩුලු 07ක් දවා ගත් අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස එය සටහන්ව තිබේ.

එම තරගයේදී ඉනිමකින් සහ ලකුණු 15කින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර තරගයේ වීරයා වුයේ මුත්තයියා මුරලිදරන් ය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගනු ලැබූ පන්දු යවන්නා වන්නේ ද මුත්තයියා මුරලිදරන් වේ. ටෙස්ට් තරග 15කදී ඉනිම් 27ක් තුලදී මුරලිදරන්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කඩුලු 104ක් දවා ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව මුරලිදරන් අවස්ථා 11කදී කඩුලු 05 බැගින් සහ අවස්ථා 04කදී කඩුලු 10 බැගින් දවා ගැනීමට ද සමත්වී තිබේ.

දිල්රුවන් පෙරේරා ලකුණු 32 කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලකුණු 352ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 73කට සීමා කිරීමට දිල්රුවන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් සමත් වුහ. එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 32 කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහු එම තරගයේදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.

05. දකුණු අප්‍රිකාව ලකුණු 73කට සීමා කළ දිල්රුවන්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී වාර්තා වූ අවම ලකුණු මට්ටම වාර්තා වුයේ 2018 වසරේ ජුලි මාසයේදී ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගයකදීයි. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයම ලකුණු 287ක් රැස් කළ අතර එහිදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණි. සිය පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 126 කට සීමා කෙරිණි.

සිය දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 190ක් රැස් කිරීමට සමත් වූ අතර තරගයේ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් හිමිවිය.

ලකුණු 352ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 73කට සීමා කිරීමට දිල්රුවන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී දිල්රුවන් පෙරේරා ලකුණු 32 කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහු එම තරගයේදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.