ලෝකී ෆර්ගසන්ගේ කඩුලු ත්‍රිත්වය හමුවේ දෙවැනි T20 තරගයේ ජය නවසීලන්තයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම ව නිමාවට පත්විය.
ඉන්දියාවට එරෙහිව තරග 3-0ක් ලෙස ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් වාර්තාගත ලෙස ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් පරාජයට පත්වුයේ ඔවුන් ලබා සිටි කීර්තියට දැඩි පසුබෑමක් ඇති කරමිනි.
කෙසේවෙතත් නවසීලන්තය දෙවැනි තරගය ජය ගැනීමත් සමග, තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස තරගාවලිය අවසන් කිරීමට සිදුවිය.
අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.
අවසන්වරට ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන තිබුණේ 2013 වසරේදීය.
ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.
2 වැනි T20 තරගය
පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එල්ල කරන ලද අභියෝගයට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ අද පැවති දෙවනි T20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක ජයක් හිමි කර ගත්තේය.
තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 109 ක් වැනි පහසු ඉලක්කයක් හිමිවුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 103කට දැවී ගියේය.
පතුම් නිස්සංක හුදෙකලා සටනක නිරත වන අයුරු දක්නට ලැබුණි. ඔහු පන්දු 48කින් ලකුණු 50ක් රැස් කරමින් සිය 13 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.
ඔහු පන්දු 51 කට මුහුණ දෙමින් ලකුණ 52ක් රැසක් කළේය.
කාසියේ වාසිය දිනු චරිත් අසලංක පළමුව පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ බල ඇණියේ සාර්ථක පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩයම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැසක් කළේ ලකුණු 108ක් පමණි.
පන්දු යැවීමේදී වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ ද සිය පන්දුවාර 4 තුළ ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංගය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළ ලොකී ෆර්ගසන්
ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට ලෝකී ෆර්ගසන් සමත්විය.
ඔහු සිය මුල් පන්දුවාර දෙක තුළ ලකුණු 7කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්විය.ඒ කඩුළු ත්‍රිත්වයක් ද සමගිනි.
ඔහුගේ කඩුලු ත්‍රිත්වයට කුසල් ජනිත් පෙරේරා, කමිදු මෙන්ඩිස් සහ චරිත් අසලංකගේ කඩුලු අයත් ය.
කුසල් ජනිත් ලකණු 3කටත්, කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත්, නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවීයාමත් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට ප්‍රබල ලෙස බලපෑවේය.
ලොකී ෆර්ගසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
භානුකර රාජපක්ෂ ලකුණු 15ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.














