ක්‍රිකට් තේරීම් සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

Upul Tharanga

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක පැමිණිලිකරු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අධිකරණය හමුවී පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 30) නියෝග කළේ ය.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුව ය.

මාතලේ මහාධිකරණය තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උපුල් තරංග විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබී ය.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් 16 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුවට අනුව උපුල් තරංග ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ ය.

එමෙන් ම, පෙත්සම්කාර උපුල් තරංග අත්අඩංගුවට නොගන්නා ලෙස, අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ට ද තවත් නියෝගයක් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මාතලේ මහාධිකරණය ඔක්තෝබර් 8 වන දා වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ ය.

ඒ, මහනුවර පල්ලෙකැලේ මෑතකදී පැවැති "ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි" තරගාවලියේදී තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම නඩුව අද වැඩිදුර විභාගය සඳහා මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී සාක්‍ෂි දීම සඳහා පැමිණිලිකාර උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් අධිකරණයට දැනුම් දී තිබුණේ ඔක්තෝම්බර් මස 4 වනදා සිට 20 වනදා දක්වා තමන් ක්‍රිකට් තරගාවලියක් සඳහා විදේශගත වන අතර එම කාලසීමාව තුළ තමන්ට නඩු විභාගය සඳහා සහභාගී වීමට අපහසු බව ය.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න කරුණු දක්වමින් සාක්ෂිකාර උපුල් තරංග ඉකුත් අගෝස්තු 22 වනදා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බව සිහිපත් කළහ.

එහෙත් සාක්ෂිකාර උපුල් තරංග අදාළ විදේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා ගිවිසුම් ගත වී තිබෙන්නේ අගෝස්තු 19 වනදා බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අගෝස්තු මස 22 වනදා අධිකරණයේ සාක්ෂි දුන් අවස්ථාවේදී ඔහුට අද දින (ඔක්තෝබර් 8 වනදා) අධිකරණයට පැමිණිය නොහැකි බව දැනුවත්ව සිටි බවත් පෙන්වා දුන්නේය.

එසේ අද දින පැමිණීමට අපහසු බව ඔහු විසින් හොඳාකාරව දනිමින්ම අද දින සාක්ෂි දීම සඳහා පැමිණෙන බව ඔහු විසින් එදා (අගෝස්තු 22) ප්‍රකාශ කර ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එය අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් සඳහන් කළේය.

ඒ අනුව සාක්ෂිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සාක්ෂිකාර උපුල් තරංග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2024 වසරේ මාර්තු මස 13 වනදා මහනුවර පල්ලේ කැලේ පැවති "ලෙජන්ඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී" කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ තරගකරුවකු වූ පැමිණිලිකාර උපුල් තරංගට ප්‍රතිවාදී කණ්ඩායමට වාසි සහගත වන ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස යෝජනා කිරීම හරහා තරග පාවා දීමට තැත් කළේ යැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටිල් නොහොත් යෝගී පටෙල් නැමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.