LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරිත්වය අහෝසි කරයි

Dambulla Thunders

ඡායාරූප මූලාශ්‍රය, Dambulla Thunders| Facebook

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මෙවර දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදී ඉන් ඉවත් කිරීමට තරග සංවිධායකවරුන් විසින් තීරණය කර ඇත.

ඒ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු ලෙස කටයුතු කරන තමීම් රහ්මාන් නමැත්තා තරග පාවා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 22 වෙනිදා නියෝග කිරීමත් සමගය.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකත්වය මෙන්ම සන්නාම හිමිකාරිත්වය දරනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් FZE හෙවත් IPG සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම LPL තරගාවලියේ 05 වන අදියර පෙර සැලසුම් කළ පරිදි ඉදිරියේ දී පැවැත්වෙන බවත් දඹුල්ල කණ්ඩායම සඳහා වූ නව හිමිකරුවන් පිලිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු මේ මස 31 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි මස 22 වෙනිදා නියෝග කරනු ලැබීය.

තමීම් රහ්මාන් නමැති මෙම සැකකරු මැයි මස 22 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට යාමේදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිය.

ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන බව පැවසෙයි.

එල්ල වී ඇති චෝදනා මොනවාද ?

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් ගෙන ඇති බවය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

" ස්වාමීනි.... ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා"

"මෙම සැකකරු මෙම සිද්ධියේ පැමිණිකරු සමග දීර්ඝ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. "

"එසේම ඉකුත් අප්‍රේල් මස 22 වනදා මෙම සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැමිණිලිකරු හමු වී තිබෙනවා."

"හමුවී තරග පාවාදීම සිදුකරන ආකාරය පිළිබඳව පැමිණිලිකරු සමග සාකච්ඡා කර තිබෙනවා. ඊට අදාළ සියලු හඬ පට ද විමර්ශකයින් සතුව පවතිනවා."

"දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්. පී.එල් තරඟාවලියේදී තමන්ට අවශ්‍ය ආකාරයට තරග පාවාදීම් කටයුතු සිදු කිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී පෙනී ගියා."

"තමා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සඳහන් කර තිබෙනවා" රජයේ නීතිඥ උදාර කරුණාතිලක අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරණු ලැබිය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 යන වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති නිසාත් තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසාත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින ලදී.

'ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ආයෝජනයක් අහිමිවී යන්න පුළුවන්'

මේ අතර සැකකාර තමීම් රහ්මාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගොඩ්ෆ්‍රී කුරේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සාධාරණ සැකයකින් තොරව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු විසින් මෙරටට රැගෙන ආ ආයෝජනය අහිමි වී යා හැකි බවය.

" ස්වාමීනි... මෙම සැකකරු අවුරුදු තිස් අටක් පමණ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්."

"ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සන්නාමයක් එක් කිරීමටයි."

"ඔහු මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් රැගෙන විත් තිබෙනවා. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීම නිසා එම මුදල ශ්‍රී ලංකාවට අහිමිවීමට හැකියාව තිබෙනවා."

"පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිසිදු සාක්ෂියකින් තොරවයි."

"මෙම සැකකරු මුදල් ගනුදෙනුවක් සිදුකළ බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හෝ වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. "

"මෙම සැකකරුගේ මුදල් කටයුතු භාරව ශ්‍රී ලංකාවේ කටයුතු කරන්නේ "ශෂිකා" නමැති අයෙක්. එම අයට සැකකරු විසින් ඇමෙරිකානු ඩොලර් 6000 ක මුදලක් ලබාදී තිබෙනවා. ක්‍රීඩකයින්ගේ කටයුතු මෙහෙයවීම සඳහායි එම මුදල ලබාදී තිබුණේ."

"මෙම සැකකරු මුදල් ගනුදෙනුවලට කිසිදු ආකාරයක සම්බන්ධ වී නැහැ." යනුවෙන් සඳහන් කළ විත්තියේ නීතිඥවරයා සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටින ලදී.

එම අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්

මෙම අවස්ථාවේදී ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.

ඒ අනුව සැකකරු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

රජයේ නීතිඥවරයාගෙන් ඉල්ලීමක්

රජයේ නීතිඥවරයා තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම නඩුකරයේ පැමිණිලිකරුගේ අනන්‍යතාවය සහ ඊට අදාළ ලේඛන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ රහසිගත ලෙස අධිකරණය භාරයේ තාවකාලිකව රඳවා ගන්නා ලෙස ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන මීළඟ නඩු දිනය දක්වා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමට ද නියෝග කරන ලදී.

'දඹුල්ල තන්ඩර්ස්' හිමිකරුවන් කවුද ?

පසුගිය වසරේ පැවති LPL තරගාවලියේ 'දඹුල්ල අවුරා' කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මෙම වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘප් සමාගම ගිවිසුම් ගතවිය.

එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ් වේ.

තමීම් රෙහෙමාන් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු වේ.

මැයි මස 21 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ද දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන් එක්ව සිටියේය.