ක්‍රිකට් මහ පුටුවේ හිඳ ගත් ජේ ෂා කියන්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වත්මන් ලේකම් ජේ ෂා නිතරගයෙන් තේරී පත්වී තිබේ.
36 හැවිරිදි වියේ පසුවන ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් වූ ළාබාලතම පුද්ගලයා ලෙස සැලකෙයි. දෙසැම්බර් 01 වන දා සිට ඔහු අදාළ ධූරයේ කටයුතු කිරීමට නියමිතය.
මෙරට ක්‍රීඩා ලෝලීන්ගේනිරන්තර අවධානයට ලක්වූ නව ICC සභාපතිවරයා කවුද?
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කවුද මේ ජේ ෂා කියන්නේ?
1988 වසරේ සැප්‍තැම්බර් මස 22 වන දා ඉන්දියාවේ අහමදාබාද්හිදී ජේ අම්බිතායි ෂා උපත ලබා තිබේ. ඔහුගේ පියා වන්නේ අමිත් ෂා වන අතර මවගේ නම වන්නේ සොනාල් ෂා ය.
ජේ ෂා ගේ පියා වන අමිත් ෂා වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකු මෙන් ම මෝදී රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසට ද කටයුතු කරයි.
ඉන්දියාවේ ගුජරාට් හි පිහිටි නිර්මා විශ්ව විද්‍යාලයේ තාක්ෂණ උපාධිධාරියෙකු වන ජේ ෂා, 2015 වසරේදී විශ්වවිද්‍යාලයේ හඳුනා ගත් රිෂිතා පටෙල් සමග විවාහ දිවියට එළඹිණි.
දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන ජේ ෂා, වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු ලෙස ඉන්දීය රුපියල් කෝටි 120 කට අධික වත්කමකට හිමිකම් කියනු ලබන බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
ක්‍රිකට් ක්‍රීඩාව සමග ඇති සම්බන්ධකම්
2009 වසරේ සිට අහමදාබාද්හි මධ්‍යම ක්‍රිකට් මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ජේ ෂා කටයුතු කළේය. ඔහු 2013 වසරේ සැප්තැම්බර් මාසයේ දී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සම ලේකම් තනතුරට පත්විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු එම තනතුරේ කටයුතු කරන සමයේදී අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අධික්ෂණය කිරීමට කටයුතු කළේ 2014 වසරේ සිට ගුජරාට් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සිය පියවන අමිත් ෂා සමග එක්වයි.
2019 වසරේදී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සම ලේකම් තනතුරෙන් ඉවත්වූ ජේ ෂා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට පත්විය. 2022 වසරේදී ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරට දෙවන වරටත් තේරී පත් වන ලදී.
එමෙන්ම 2021 වසරේ සිට ඔහු අඛණ්ඩව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට තේරී පත් විය.
2024 වසරේදී ජේ ෂා ගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා විසිනි.
ජේ ෂා ලේකම් ධුරයේ කටයුතු කළ සමයේදී 2022 වසරේ සිට ඉදිරි වසර 05 ක කාලයක් සඳහා වන IPL තරග විකාශනය සඳහා වූ අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 48,390ක ආදායමක් ඉපැයීමට සමත් වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.
මේ අතර ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත්වීමට පෙර එහි විධායක තනතුරු කිහිපයක ද කටයුතු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමති පුතා නිසා එල්ලවූ චෝදනා
නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන අමිත් ෂා ගේ පුත්‍රයා වන ජේ ෂා සිය ව්‍යාපාර හරහා එකවර නොසිතු අයුරින් ලාභ ඉපැයූ බව පවසමින් ඉන්දීය මාධ්‍ය ආයතනයක් විසින් වරක් ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.
" ද ගෝල්ඩන් ටච් ඔෆ් ජේ අමිත් ෂා" ලෙස නම් කොට තිබු එම ලිපිය හරහා තමන්ට අපහාස සිදුවූ බව පවසමින් ජේ ෂා විසින් අධිකරණය හමුවේ ඉන්දීය රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා අපහාස නඩුවක් ද ගොනු කරන ලදී.
මෙම චෝදනාව එල්ල වී වසර කිහිපයක් ගත වීමට පෙර ඔහු එම සමාගම වසා දැමීමට කටයුතු කළේය.
ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ජේ ෂා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගසන බවට මෙරට ක්‍රීඩා ලෝලීන් අවස්ථා ගණනාවක දී සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කර ඇත.
විශේෂයෙන්ම 2023 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.
එම තරගාවලියට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර එහිදී වෙහෙස වී කටයුතු කළ ක්‍රිඩාංගන සේවකයින්ට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ජේ ෂා විසින් අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට පියවර ගත්තේය.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් තරග පැවති සමයේදී සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කළේ ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස අවසන් මහ තරගයේදී තණ තීරුව සැකසීමේදී මැදිහත්වීමක් කරන්නට ඇති බව ය.
නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් කිසිදු විමර්ෂණයක් සිදු නොවුයේ හුදෙක් එය සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවූ චෝදනා හේතුවෙන්ය.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවූ ජේ ෂා
එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ද අවස්ථා කිහිපයකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ගේ නම කියැවුණි.
ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ විරසක තත්ත්වයේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විගණන වාර්තා තමන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ට සහ ICC යට යැවු බවයි. මෙරට ක්‍රිකට් පාලකයින් ජේ ෂා ට මුවාවී තම වංචාවන් වසා ගැනීමට කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතර පසුගිය වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පැන වූ ක්‍රිකට් තහනමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සමග දුරකථන සංවාදයක් පැවැත්වූ බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
"ඊයේ දවසේ ජනාධිපතිවරයා ජේ ෂා කියන ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කළා දුරකථනයෙන්."
"ඒකට හේතුව අද මේක ඩිප්ලෝමැටික් ප්‍රශ්නයකට පත් වෙලා"
"ජේ ෂා ගේ තාත්තා තමයි අම්රිත් ෂා. මෝදී අගමැතිගේ දකුණු අත කියලයි කියන්නේ. මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමේ ජාත්‍යන්තර අර්බුදයකට, ක්‍රිකට් අර්බුදයකට එහා ගියා මේක." හරීන් ප්‍රනාන්දු එහිදී පැවසුවේය.














