ක්‍රිකට් නඩුව අවසන්;මෙතෙක් සිදුවුයේ කුමක්ද?

පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වූ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ධුරවලින් ඉවත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා අප කළ විමසීමකදී බීබීසී සිංහල වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket Live| Screenshot

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (දෙසැ 15) තීන්දු කළේ ය.

මෙම පෙත්සම අද (දෙසැ 15) නැවතත් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරුපාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර ගන්නා බව දන්වා ඔහුගේ සේවාදායකයා විසින් ඉකුත් 12 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන තාක්ෂණික දෝෂ නිවැරදි කර තිබෙන බව සඳහන් කළේ ය.

එසේ නිවැරදි කළ ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

මෙහිදී විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු සෝභිත රාජකරුණා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙම තත්ත්වය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේදැ යි විමසා සිටියේ ය.

එම අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අවශ්‍යතාවක් මතුවුවහොත් මෙම පෙත්සම යළි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට පෙත්සම්කරු එකඟවන බව සඳහන් කළේ ය.

ඒ අනුව නීතිමය අවශ්‍යතාවක් මතුවුවහොත් එම පෙත්සම යළි කැඳවීම සඳහා පෙත්සම්කරුගේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළේ ය.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් තිබේ ද? - විනිසුරු සෝභිත රාජකරුණා

පසුගිය නොවැම්බර් 22 වැනිදා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කළ දේශපාලන බලපෑම් හේතුවෙන් බවත්, එම තහනම පැනවීමට සිය සේවාදායකයින් මැදිහත් වූ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ගොනු කළ රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නොවැම්බර් 22 වැනිදා යළි සලකා බැලූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේය.

පෙත්සම යළි සළකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රීඩා පනතේ 32 වන වගන්තිය යටතේ ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීම සඳහා අමාත්‍යවරයා වෙත පැවරී තිබෙන බලය ඉතා සීමිත බව පෙන්වා දුන්නේය.

"ස්වාමීනි... ජාතික ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අත්හිටුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩා සංවිධානය වෙත නොතීසි ලබාදිය යුතුයි.නමුත් ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමට පෙර එම නීතිමය ප්‍රතිපාදනය අමාත්‍යවරයා අනුගමනය කර නෑ. වග උත්තරකරු ඉදිරිපත් කළ විරෝධතාවල සඳහන් කර තිබෙනවා ක්‍රිකට් ආයතනයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කළ බව. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. කුසලා සරෝජිනි වීරවර්ධන නමින් විනිසුරුවරියක් අප දන්නා තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියේ නෑ. මෙවැනි දෝෂ සහගත තොරතුරු තමා වග උත්තරකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

"පෙත්සම නිෂ්ප්‍රභ කළයුතුයි"

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ "ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා කමිටුවක් පත් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අමාත්‍යවරයා පත්කළ එම කමිටුව පිලිගත්තේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රාජ්‍ය හෝ දේශපාලනික මැදිහත්වීමක් සිදුවනවාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වුණේ නෑ. ඒ නිසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවැන්නක් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ලෙස කටයුතු කිරීම තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අපේක්ෂාව. එම කවුන්සිලය ක්‍රිකට් ආයතනයට සිදු කරන දේශපාලන මැදිහත්වීම් අනුමත කරන්නේ නෑ.”

“මේ ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අවස්ථා ගනනාවකදීම අනිසි මැදිහත් වීම සිදුකලා. එවැනි ක්‍රියා නොකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගටම අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළ අත්තනෝමතික මැදිහත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ප්‍රධාන හේතුවක් වුණා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට මේ වන විට අවසර ලැබී තිබෙනවා. " යැයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අනුමැතිය ලැබී නොමැති බව සඳහන් කළේය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනිමේ බලය පැවරී තිබෙන්නේ එහි විධායක කමිටුවට. එම කමිටුව විසින් සිදු කරනු ලබන යෝජනා සම්මතයකින් එහි තීරණය ගනු ලබනවා. එහෙත් මෙම පෙත්සම ගොනු කිරීම සඳහා ක්‍රිකට් විධායක කමිටුවේ යෝජනා සම්මතයකින් අනුමැතිය ලැබී නැහැ. එම කරුණ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් අධිකරණය හමුවේ වසන් කර තිබෙනවා. ඒ නිසා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පුද්ගලික පදනමකින් බව සඳහන් කළ යුතුයි. ඒ අනුව මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයාට කිසිදු නීතිමය හැකියාවක් නැහැ" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉගලහේවා මහතා මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්නා ගෙන යාමට නොහැකි බැවින් එය නිෂ්ප්‍රභ කළයුතු බවත් කියා සිටියේය.

"ගැසට් නිවේදනය තුළින් සිදූවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණයි"

මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා මතු කළ ප්‍රශ්ණයකට පිලිතුරු දුන් ජනාධිපති නීතිඥ ඉගලහේවා "ස්වාමීනි.... මෙම නඩුවේ වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට අධිකරණ ගනු ලැබූ පියවර සම්පූර්ණයෙන්ම නීතියට පටහැණියි. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් තමා මෙම නඩුවට අදාළ නොතීසි නිකුත් කර තිබෙන්නේ." යනුවෙන් කියා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඉකුත් 05 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් සිදූවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවීම පමණක් බව සඳහන් කළේය.

විනිසුරු සෝභිත රාජකරුණා විමසා සිටියේ - ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටවූ පසු අතුරු පාලක කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබේද? යන්න පිළිබඳවය.

ජනාධිපති නීතිඥ ඉගලහේවා - “ස්වාමීනි... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ජාතික සංවිධානයක්. එය සාමාන්‍ය ක්‍රීඩා සංගමයක් නොවෙයි. ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා ලියාපදිංචිය අත්හිටුවීමට අමාත්‍යවරයාට බලය තිබෙනවා. එසේ අත් හිටවූ පසු නැවත නිලවරණය ක් පවත්වන තුරු හෝ නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත් කළා. එය අමාත්‍යවරයා විසින් සිදුකළ අයුතු මැදිහත් වීමක් නොවේ." ඒ අනුව ලියාපදිංචිය අත්හිටවූ පසු ක්‍රීඩා පනත යටතේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට පූර්ණ බලයක් තිබෙනවා”.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගනකාධිපති වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳව විමර්ශන සිදු කිරීම, ඊට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීම, එම විමර්ශන සම්පූර්ණ කරන තුරු ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යාම සහ අනාගතයේ දී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම යනාදී කටයුතු ඉටුකිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කළ බව අනාවරණය කළේය.

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රිකට් ආයතනය විසින් සිදු කළ අවිධිමත් ක්‍රියා සම්බන්ධයෙන් විගනකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ පිළිබඳව පෙත්සම්කරු විසින් අධිකරණය හමුවේ කරුණු වසන් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. රජයේ විගණකාධිපති වාර්තාවේ සඳහන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ දූෂණ අක්‍රමිකතා සිද්ධි මාලාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පවතින අසීමිත දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් එහි පාලකයින් ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුව පවා ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම පිළිබඳව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙසේ කරුණු දක්වා සිටියේය. "ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇෆ්ගනිස්ථානය පූර්ණ සාමාජිකයෙකු ලෙස පිළිගෙන තිබෙනවා. ඒ තුළින් ඔවුන් තලේබාන් නීතිය පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපගේ නීතිය ප්‍රශ්නගත වී තිබෙනවා. මෙය තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආකල්පය" යනුවෙන් සඳහන් කර සිටියේය.

වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබුණි.

ක්‍රිකට් අතුරු කමිටු නඩුවෙන් තුන්වන විනිසුරුවරයාත් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනුකරන ලද පෙත්සම සලකා බැලීම සඳහා ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මීට පෙර කැඳවනු ලැබුණි.

එහිදී විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතු මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවය.

ඉන් අනතුරුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යලි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකෙරේ

ඉන් අනතුරුව අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබුණි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි... මෙම නඩුකරයට අදාළව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.

එම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විසින් ඊට දැඩි විරෝධය පළ කරනු ලැබීය.

"ස්වාමිනි... මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නෑ. දැන් මේ පෙත්සම් කැදවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නෑ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත් හැක්කේ" යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බැවින් මෙම අවස්ථාවේදී මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය යන කරුණ පමණක් සැලකිල්ලට ගෙන පෙත්සම සලකා බැලීමට නියමිත (22 වැනිදා ) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබා දෙන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කියා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සදහන් කර සිටියේ නව විනිසුරු මඩුල්ලට දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැදවීමට නියම කෙරුණි.

ක්‍රිකට් අතුරු කමිටුව එරෙහි පෙත්සම් විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න (නොවැම්බර් 14 වැනිදා) ඉවත් වුණි.

මෙම පෙත්සමට අදාළව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනුකළ මෝසම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ (නොවැම්බර් 14 වැනිදා) කැඳවනු ලැබුණි.

එහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බව දැනුම් දුන්නේය.

එහිදී සභාපති විනිසුරු කරුණාරත්න ප්‍රශ්නයක් යොමු කරමින් "ඔබේ සේවාදායකයා විරුද්ධ වන්නේ මටද? එසේත් නැත්නම් මේ විනිසුරු මඩුල්ලට ද?" යනුවෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා "ඔබ තුමා මෙම පෙත්සම විමසීම සම්බන්ධයෙන් තමයි මගේ සේවාදායකයා විරුද්ධ වන්නේ " යනුවෙන් සඳහන් කළේය.

ඉන් අනතුරුව සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ "පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මා සම්බන්ධයෙන් අසාධාරණ ලෙස විවේචන එල්ල කලා. එම නිසා මේ පෙත්සම් විභාගයෙන් මා ඉවත් වීමට තීරණය කළා." යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ විනිසුරු විකුම් කළුආරච්චි සඳහන් කළේ තමාට මෙය තවත් සාමාන්‍ය නඩුවක් පමණක් බවයි.

වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදී තිබෙන බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන් මෙම අතුරු නියෝගය නිකුත් කිරීමට එකඟ වූ බව විනිසුරුවරයා පැවසීය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට සභාපති විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ධම්මික ගනේපොල සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරිම වෙනුවෙන් එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න වෙත යළි යොමු කෙරුණි.

එහිදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර තිබෙන තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර ඇති බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් බවත් මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට ඔහුට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සඳහන් කළේ තම සේවාදායකයා දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ගොනු කර ඇති බවය.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේය.

ඒ අනුව, මෙම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම (නොවැම්බර් 16 වැනිදා) යළි කැඳවනු ලැබුණි.

පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීමට බලයක් තිබේද?

පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වූ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ධුරවලින් ඉවත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා අප කළ විමසීමකදී බීබීසී සිංහල වෙත පැවසීය.

ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා සඳහන් කළේ,“අපේ නීතියේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා යම් යම් නිලධාරීන් ඉවත් කර ගන්නා ක්‍රමවේදය.උදාහරහණයක් විදියට ගත්තොත් අපි අග්‍රවිනිශ්චයකාරවරයෙකු ඉවත් කිරීම ගැන ඊට අදාළ කටයුතු අපිට හිතුමතේ කරන්න බැහැ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවකින් සමන්විතව පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය පාර්ලිමේන්තුවට දැනුම් දීලා පාර්ලිමේන්තුව තුළින් බහුතර කැමැත්ත අනුව තමයි එවැනි ඉවත් කිරීමක් සිදුවන්නේ.”

“එහෙම තමයි විශ්වාසය නැති කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය. ඒකට නීතිමය ප්‍රතිපාදන සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම උසස් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධව වෙනම පනතක් තිබෙනවා. ඒකෙත් පාර්ලිමේන්තුව තමයි අවසානයට නිගමනය කරන්නේ මෙයාව තියාගන්නවාද නැද්ද කියලා.” ජනාධිපති නීතිඥවරයා පැවසීය.

“ඒවා තියෙන්නේ ඒ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ආවට ගියාට නැතුව ආරක්ෂා කර ගැනීම සඳහා. ඒක හොඳ ක්‍රියාවලියක්.නමුත් එතනදී පාර්ලිමේන්තුවට හිතුමතේ යෝජනා සම්මතයක් කරන්න බෑ.”

“ඒක කරන්න කලින් පාර්ලිමේන්තුව සියලුදෙනාට සවන් දෙන්න ඕනේ ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එහෙම සවන් දීලා ඔහුගේ පැහැදිලි කිරීම සිදු කිරීමෙන් අනතුරුව තමයි අවසාන නිගමනයට පාර්ලිමේන්තුව එළඹෙන්නේ.”

“මෙතනදී එහෙම දේකුත් වෙලා නෑ. එහෙම කරන්න බලයකුත් පාර්ලිමේන්තුවට නැහැ.පාර්ලිමේන්තුව කළේ ඉතා නිවැරදි දෙයක්. ජනතාවගේ මතය ලොවට ප්‍රකාශ කළා.”

"ICC ය වේවා ක්‍රිකට් මණ්ඩලය වේවා, ඒ හැම තැනටම කිව්වේ 225 ක් වන අපි ජනතාවගේ නියෝජිතයෝ. ජනතාව ආදරය කරන ක්‍රීඩාවට මෙවැනි ව්‍යවසනයක් වෙන වෙලාවේදී මේ ඉන්න බලධාරීන් සමග තවදුරටත් කටයුතු කිරීම සුදුසු නොමැති බව තමයි ඔවුන් ප්‍රකාශ කලේ.” ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් නිල වශයෙන් ඉවත් කළ හැකි පටිපාටිය කුමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කරන නිලධාරි මණ්ඩලය ඉවත් කළ යුතු නම් ඒ සඳහා නීතිමය වශයෙන් ඇති ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න ගැනද ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා පැහැදිලි කර සිටියේය.

“ඉවත් කිරීම සිදු කරන්න නම් මේ පනතේ හැටියට අමාත්‍යවරයාට පුළුවන් ඒක ඉවත් කරලා ඔය කරපු ක්‍රමය අනුගමනය කරන්න.”

“ඒ තමයි පාලක සභාව විසුරුවා හැරලා අතුරු කමිටුවක් පත් කර ගන්නවා නැවත ඡන්ද විමසීමක් සිදු කරන තුරු. ඒක තමයි මේ පියවර නීතියට අනුව කටයුතු කළේ. ඒවත් ඇවිල්ලා තාවකාලිකව විසඳුම් හින්දා මේ පිළිබඳ මෙතෙක් කල් උනන්දු වුණේ නෑ පියවර ගන්න.”

“හරි විදිහට කරනවා නම් පනතකින් තමයි ඒ අයව ඉවත් කිරීමට හැකියාව තියෙන්නෙ. නව පනතක් ගෙන ඒම සඳහා කටයුතු කරන අවස්ථාවක් තමයි මේක.”

“අපි දැක්කා මේ පිළිබඳ ජනාධිපතිතුමා විසින් විශේෂයෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු වන කේ. ටී චිත්‍රසිරි විනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරල ඒ කමිටුවට මේ වාර්තාව දැනටමත් අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ කැබිනට් අනු කමිටුවට භාර දීලා තිබෙනවා.”

“අන්න ඒකේ හැටියට හිතුමතේ මිනිස්සුන්ට පත් වෙන්න බැහැ.සම්පූර්ණයෙන් ලංකාව වටේ ඉන්න ක්‍රීඩා සංගම්වල නියෝජිතයින් එකතු වෙලා මුදල් මත හෝ වෙනත් විදිහකින් ක්‍රියාපටිපාටියක් මත හිතුන කෙනාව පත් කර ගන්න බෑ.”

“18 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් තමයි ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙන්නේ. 18 දෙනාගෙන් 08 දෙනෙක් පත් කරන්න සිද්ධ වෙන්නේ විද්වත් මණ්ඩලයකට. ඒ පිළිබඳ පලපුරුද්ද තියෙන අයව තෝරලා පත් කිරීමක් තමයි කරන්නේ. ඡන්දයෙන් පත් වෙන්න පුළුවන් 10 දෙනාටයි. ඒ දහදෙනත් පත් විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලිව ඒකේ සඳහන් වෙලා තියෙනවා.”

“මේ පනත දැනටමත් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන බවටයි දැන ගන්නට ලැබෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉන්න අයට මේ ගැන තාම උනන්දුවක් තියෙන නිසා කල් නොයවා මේක ඉක්මනින් සම්මත කරලා ඒ පිළිබඳ ක්‍රියාත්මක වන දිනය කතානායකතුමා අත්සන් කළහම එතකොට නව පාලක මණ්ඩලයකට අවස්ථාව සැලසෙන පරිදි ක්‍රියාත්මක වෙනවා." ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම හා ශුරයින්ගේ කුසලානයෙන් ඉවතට

කෙසේ වෙතත් නොවැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය නිවේදනය කරමින් ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයාද, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද (නොවැම්බර් 11) සවස් වරුවේ මාධ්‍ය සාකාච්ජා දෙකක් පවත්මින් එකිනෙකා වෙත දොස් පවරමින් ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම, ලෝක කුසාලනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පසුබෑම, චෝදනා එල්ල වෙන වංචා දුෂණ සම්බන්ධයෙන් තම අදහස් පළ කළහ.

මේ අතර ශ්‍රී ලංකාව සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශුරයින්ගේ කුසලානයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී ගොස් තිබේ.

ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැදීම නිසාය.