ශ්‍රී ලංකා ක්‍රිකට්: පාලක මණ්ඩලය ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාව සම්මත වීම දක්වා සිදුවුයේ කුමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙනතුරු පවත්වාගෙන යෑම සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගනු ලැබුවේ මෙම පසුබිම තුළය.

ඡායාරූප මූලාශ්‍රය, News 1st

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද ( නොවැම්බර් 9 වැනිදා ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කෙරුණි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු දූෂිත නිලධාරීන් ඉවත් කිරීම” යන මැයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ අද දිනය පුරා විවාදයක් පැවැත්වුණේය.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු එම යෝජනාවට ඒකමතිකව සහය දුන් නිසා ඡන්ද විමසීමක් නොපැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කිරීමේ විවාදයේ ඡන්ද විමසීම වැළැක්වූ බවට ප්‍රධාන විපක්ෂ පක්ෂය වන සමගි ජනබල වේගය කථානායක මහින්ද යාපා අබේවර්ධනට චෝදනා කළේය.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පහරක්. බරපතල දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සඳහා වන විවාදයේදී බෙදීමක් (නම අනුව ඡන්දය) ඉල්ලා නැවත නැවතත් කළ ඉල්ලීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ආණ්‌ඩුවේ ප්‍රධාන බෙදීම වසන් කිරීමට ඡන්දයකින් තොරව යෝජනාවක්‌ සම්මත කර ගත්තා” මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය X ගිණුමේ සඳහන් කර තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ශ්‍රී ලංකා ක්‍රිකට් ඩොලර් මිලියන 2ක් මාරු කරන්න උත්සහ කළා ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් මාරු කිරීමට දැරූ උත්සහයක් ගැන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමෙන්තුවේදී අනාවරණයක් කළේය.

ඔහු සඳහන් කළේ එම උත්සහය වැළැක්වීමට කටයුතු කළ යුතු බවය.

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මට දැන් පණිවුඩයක් ලැබෙනවා ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් ගන්න හදනවා කියලා.'

ශ්‍රී ලංකා ක්‍රිකට් මොකද කියන්නේ ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ගිණුම්වලින් තෙවන පාර්ශ්ව ගිණුම් වෙත මුදල් මාරු කර ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මාරු කිරීමට තැත් කිරීම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලන ආයතනය ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබෙන අරමුදල් සහ අමෙරිකානු ඩොලර් වලින් ලැබෙන අනුග්‍රාහක ආදයම්, විනිමය අනුපාත උච්චාවචනයන් පාලනය කිරීම උදෙසා තම ඩොලර් (USD) ගිණුම්වල තබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කෙසේ වෙතත්, තමන්ට ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සිදු කිරීමටත්, සැපයුම්කරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට මූල්‍ය වගකීම් නිතිපතා ඉටු කිරීමටත් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම වියදම් වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ඩොලර් (USD) ගිණුමෙන් තම දේශීය රුපියල් (LKR) ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමේ පුරුද්දක් අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය මුදලින් සැලකිය යුතු ආදායමක් නොලබන බැවින් මෙය දිගුකාලීන ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

මෙම අරමුදල් මාරු කිරීම්, මෙහෙයුම් අරමුණු සඳහා පමණක් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගැනීමේ කිසිදු උත්සාහයක් පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගිණුම්වලින් මුදල් මාරු කිරීමට උත්සාහ කරන බවට ප්‍රකාශ කරන ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය වන අතර සත්‍ය වශයෙන්ම වැරදි බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අනවශ්‍ය මහජන නොසන්සුන්තාවක් ඇති කිරීම අරමුණු කරගනිමින් යටි අරමුණු ඇතිව මෙවැනි ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වන බවද එහි දැක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වන්නේ එහි ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වන අතර එමඟින් රු. 10,000/- වැඩි ගෙවීම් මුදලින් ගෙවීම තහනම් වන බවත්, ක්‍රිකට් ආයතනයට සේවා සැපයූ සැපයුම්කරුවන්, පාර්ශ්වකරුවන් සහ තෙවන පාර්ශ්ව වෙත චෙක්පත් නිකුත් කර ඇති කාලසටහනක් පාර්ලිමේන්තුවට සහ පොරොත්තු ගෙවීම් අමාත්‍යාංශයට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

එම ගෙවීම් ඇතුළත් කාලසටහන 2023 අගෝස්තු 17 සිට 2023 නොවැම්බර් 8 දක්වා කාලය ආවරණය කරන අතර බැංකුවට ඉදිරිපත් වන චෙක්පත් සඳහා ගෙවීම් ඉටු කිරීමට අවශ්‍ය අරමුදල් තම රුපියල් බැංකු (LKR) ගිණුමේ ඇති බව සහතික කරන බවද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මෙහෙයුම්වල විනිවිදභාවය සහ අඛණ්ඩතාව තහවුරු කිරීමට කැපවී සිටින බවත් සාවද්‍ය තොරතුරු නොසලකා හරින ලෙසත් නිවැරදි තොරතුරු සඳහා සත්‍ය මූලාශ්‍ර මත විශ්වාසය තබන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

‘ජනාධිපතිතුමාට පැහැදිලිව හරියට මේ ගමන යන්න අපි වැරැද්ද පෙන්වන්න ඕනේ’- ක්‍රීඩා අමාත්‍ය

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ (නොවැම්බර් 8 වැනිදා) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලියාපදිංචිය අවලංගු කර ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තමා ගත් තීරණය පිළිබඳ ඔහු එහිදී පැහැදිලිකර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් තමා එම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

“ජනතාව මාව විශ්වාස කරලා තමා ඡන්දය දුන්නේ. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය මම කවදාවත් කඩන්නේ නැහැ ගෙදර ගියත්. මම වැරැද්ද පෙන්වලා දීලා තියනේනේ. ජනාධිපතිතුමාට පැහැදිලිව හරියට මේ ගමන යන්න අපි වැරැද්ද පෙන්වන්න ඕනේ. එකට ඉන්නවා නම් මිනිහෙක් අමාරුවෙ වැටෙන කම් ඉදලා ලිස්සලා යන එක නෙමේ වගකීම. අන්න ඒ වගකීමයි මම ඉෂ්ට කරන්නේ මහජනතාව වෙනුවෙන්.” අමාත්‍යවරයා පැවසීය.

“මේක වෙනස් කරන්න මේ විදිහට බැහැ. මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා , මේ දුෂිත හොර තක්කඩි රැල. මේ රටේ ක්‍රිකට් කාබාසිනියා කරපු රැල, සූදු කාරයෝ විදිහට මේ රටේ සූදු ප්‍රවර්ධනය කරන රැල ගෙදර යවන්න මම ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආණ්ඩුව , කැබිනට් එක , විපක්ෂය, මේ 225, මේ රටේම සහයෝගය ඉල්ලා සිටිනවා.” යැයි, ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, "සූදු ශම්මිද රොෂාන් රණසිංහ ද කියලා ජනාධිපතිතුමා තීරණය කරන්න"

අමාත්‍යවරයා විසින් සිය ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක හෙලිදරව් රැසක් කරනු ලැබීය. ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන දුෂණ වංචා පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳවද ඔහු අනාවරණය කළේය.

ඊට අදාළව තමා සතු සියලු ලිපි ලේඛණ සභාගත කරන බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරයෙකු පිළිබඳව සහ ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු අතර ඥාති සබඳතාවක් පිළිබඳව ද අනාවරණයක් කළ අමාත්‍යවරයා ලබැඳියාවන් අතර ගැටුමක් ඇතැයි සඳහන් කර සිටියේය.

“මම අදත් බලාපොරොත්තු වෙනවා කතානායකතුමනි, දෙන්න පාර්ලිමේන්තුවෙන් නියෝගයක් විගණකාධිපතිතුමාට 2018 ඉඳලා 2023 දක්වා ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න කියලා. මේක මම ආයාචනා කරනවා මේ පාර්ලිමේන්තුවේ එකඟත්වය ඉල්ලනවා මම ඒකට.”

“එතකොට ඔය ගොඩාක් කතාකරන නීතීඥයින්ගෙයි ක්‍රිකට් එක රකින නීතීඥයින්ගෙයි රෙදි ගැලවෙනවා.”

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය (නොවැම්බර් 7) අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කටයුතු වලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, අධිකරණ තීන්දුව වැරදි බව ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

මෙම අතුරු තහනම් නියෝග දින 14 ක කාලයකට බලපැවැත්වෙන බව එම නියෝගයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 05 වන ඉරිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව එම ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කළේය.

එම අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්, අයි.ඉමාම් , රෝහිනී මාරසිංහ, අයිරාංගනී පෙරේරා, අර්ජුන රණතුංග, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ සහ එම්. එච්. ජමාල්ඩීන් යන අය නම් කර තිබේ.

පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව කටයුතු කිරීමට අවකාශ සලසන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබුණා. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණා. බලපෑම් සිදු කළා. පසුගිය ඉරිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ගැසට් නිවේදන නිකුත් කළා.” යැයි කියා සිටියේය.

'ක්‍රීඩා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරලා'

“එම ගැසට් නිවේදනය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. එක් ගැසට් නිවේදනයක සඳහන් වෙනවා රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව අදාළ ආයතනය අත්හිටුවීම කටයුතු කළ බව. අනෙක් ගැසට් නිවේදනය සඳහන් වෙනවා අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය කිරීමේ අරමුණින් අදාළ අත්හිටුවීම සිදු කළ බව. මෙම කරුණු එකිනෙකට පරස්පරයි. මෙවැනි අත්හිටුවීමක් සිදු කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නොතිසි නිකුත් කොට ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කළ යුතුයි. එය තමයි ස්වභාවික යුක්ති ධර්මය. එසේ නොකොට යම් ආයතනයක් තහනම් කර ඊට අදාළ විමර්ශන සිදු කිරීම යුක්ති සහගත නැහැ. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළ මෙම ක්‍රියාව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය දැන සිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටු පත් කිරීමට කටයුතු කර තිබෙන්නේ.” ජනාධිපති නිතීඥවරයා සඳහන් කළේය.

“මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්ති වලට පටහැනියි" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම ක්‍රියාව තුළින් විෂයභාර අමාත්‍යවරයා තම බල සීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින 14ක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර මෙම පෙත්සම යළි ලබන 16 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නොතීසි නිකුත් කෙරිණි.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට (නොවැම්බර් 6 වැනිදා) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

මෙම කමිටුව පත්කරනු ලැබුවේ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමෙන් අනතුරුවය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ද වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පවරා තිබේ.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද අදහස් ලබාගනිමින් වත්මන් තත්ත්වය විමර්ශනය කිරීමට සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැබිනට් අනු කමිටුව කටයුතු කරනු ඇත.

මීට අමතරව, ජනාධිපති ලේකම්වරයා විසින් නම් කරන ලද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු, මෙම අනු කමිටුවේ ලේකම්/කැදවුම්කරු ලෙස කටයුතු කරනු ඇත. කමිටුවේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය සහ පහසු කිරීම ලේකම්/කැඳවුම්කරුවෙකු පත්කිරීමේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

තවද, මෙම කමිටුවේ සාකච්ඡා සඳහා අවශ්‍ය යැයි සලකන ඕනෑම නිලධාරියෙකුගේ හෝ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සේවය ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුකමිටුවට බලය පවරා ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රිකට් අතුරු කමිටුවක්

කාලයෙන් කාලයට පුවත් මවන ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේදිනවල රටේ ක්‍රීඩා ලෝලීන් අතර පවතින්නේ සුබවාදී ආකල්පයක් නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙනතුරු පවත්වාගෙන යෑම සඳහා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගනු ලැබුවේ මෙම පසුබිම තුළය.

ක්‍රිකට් එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙමින් සිටින අතර වාරයේදී දී ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.

මෙම ක්‍රිකට් අතුරු කමිටුවෙන් මෙරට ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන දිශාන්තියට ක්‍රිකට් ක්‍රීඩාව යොමු කිරීමට හැකියාව ලැබෙයිද ? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

ක්‍රිකට් අතුරු කමිටුව

අතුරු කමිටුවක් පත් කළේ ඇයි ?

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග නම් කර තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්‍රිකට් හදන අලුත් ඉනිම ගැන අර්ජුන කතා කරයි

අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන S.I. ඉමාම්, රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රඛිත රාජපක්ෂ සහ උපුල් ධර්මදාස නම් කර ඇත.

එම ගැසට් නිවේදනය අනුව මුලික වගකීම් තුනක් නව අතුරු කමිටුවට පවරා තිබේ. එම වගකීම් නම්,

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා පිළිබඳ සිදුකළ විගණන වාර්තාව මගින් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
  • අදාළ විමර්ශන කටයුතු සිදුකිරීම ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව විශ්වාසනීය ලෙස සිදුකරනු ලැබීය යුතු බැවින්, ඒ සඳහා අවකාශය ලබාදීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම ක්‍රියාත්මක කාල පරිච්ජේදය තුළ සහ අන්තර්වාර පාලක මණ්ඩලය විසින් සිදුකරන විමර්ශන කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
  • එමෙන්ම අදාළ විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ කිරීමට හා ක්‍රියාමාර්ග සැකසීම වේ.

මේ අතර නව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මාධ්‍ය අමතමින් පැවසුවේ තමන්ගේ මුලික පරමාර්ථය රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායමක් ගොඩනැගීම බවයි.

" මගේ පළමු කාර්ය වෙන්නේ රටට ආදරය කරන, රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් හදන එක. ඒ වගේම පහුගිය කාලේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ විනාශය ගැන සොයා බලන්න වෙනම කටයුතු කරනවා. මම ඉල්ලා සිටිනවා සියලුම පැරණි ක්‍රීඩකයින්ට එකතු වෙන්න කියලා රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න එක්වෙන්න කියලා."

"විනය හදලා, රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් හදන්න බලාපොරොත්තු වෙනවා. මිලියන 22ක් වන රටේ ජනතාවට ආදරය කරන පවුලක් වගේ කණ්ඩායමක් හදන්න බලාපොරොත්තු වනවා." ඔහු පැවසුවේය.

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග නම් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Sports

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග නම් කර තිබේ.

සතර දෙසින් එල්ලවන විරෝධය

දිගින් දිගටම සිදුවන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධව ක්‍රීඩා ලෝලීන් ඇතුළු පාර්ශව රැසකින් මේ වන විට විවේචන එල්ල වෙමින් පවතියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ක්‍රීඩා ලෝලීන් ඇතුළු පිරිස් විරෝධතා සහ සත්‍යග්‍රහ පවා ආරම්භ කර ඇත්තේ වත්මන් ක්‍රිකට් පරිපාලකයින් ඉවත්විය යුතු බව පවසමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සෙනසුරාදා ( නොවැම්බර් 5 වැනිදා) භාර දෙනු ලැබේ එම පසුබිම තුළය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දැක්වූ දක්ෂතා මොනවාද ?

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයද ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේ මේ දක්වා ක්‍රීඩා කර ඇති සමස්ත එක්දින තරග සංඛ්‍යාව 29කි.

එම එක්දින තරග 29 යෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 16ක් පමණක් වන අතර තරග 13ක් පරාජයට පත්ව තිබේ.

එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණ වාර්තා කළ ප්‍රතිවාදී කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය, ඕමානය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පකිස්ථානය, සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යි.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය සහ නවසීලන්තය යන කණ්ඩායම් සමග පැවැති තරගවලදී ශ්‍රී ලංකාව මෙම වසරේදී පරාජයට පත්ව තිබේ.

1975 වර්ෂයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 907ක් ක්‍රීඩා කර තිබෙන අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 415ක් පමණි.

පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 448කි.

තරග පහක් ලකුණු සමවීමෙන් ද, තරග 39ක් තීරණයක් නොමැතිව ද අවසන් වී ඇත.

එක්දින තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ලැබීමේ ප්‍රතිශතය සියයට 45.75 ක් වන අතර පරාජය ලැබීමේ ප්‍රතිශතය සීයයට 49.39ක් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වැනි ස්ථානයේය.

“මේක ස්විච් එකක් දානවා වගේ වැඩක් නෙමෙයි”

පවතින තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ ගැනීමට නම් අලුතින් සැලසුම් සකස් කළ යුතුව ඇති බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ, බීබීසී සිංහල සමග අදහස් දක්වමින් පවසා සිටියේය.

"මේක ගොඩනගන්න නිකම් ස්විච් එකක් දානවා වගේ දෙයක් නෙමෙයි. නැවත මුල ඉදන් සැලසුම් සකස් කරන්න අවශ්‍ය වෙනවා."

"ඉන්දියාවත් එක්ක ලකුණු 55ට අවුට් වුණා කියලා ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියලා මම කියන්නේ නැහැ. අපි තරග දිනලා තියෙනවා. ආසියාවේ විස්සයි 20 ශුරයින්, ඒ වගේම ආසියාවේ පන්දු වාර 50 තරගාවලියේ අනුශුරයින්. අපි මේ කියන විදිහට සම්පුර්ණයෙන්ම අඩියට වැටිලා නැහැ. එහෙම නම් අපිට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්නත් බැහැ. හැබැයි එහෙම කියලා මේ ක්‍රීඩා කරපු විදිහෙන් අපේ ක්‍රිකට් හොඳ තැනක තියනවා කියන්න බැහැ" යැයි ඔහු පැවසීය.

“වැරදුණේ කොතැනදැයි සොයන්න අවශ්‍යයි”

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ වර්තමානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැරදුණේ කොතනදැයි සොයා බැලීමට වහාම කටයුතු කළ යුතු බවයි.

ඊට ක්‍රිකට් පරිපාලනය විසින් ඉක්මණින් අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු පැවසීය.

"අපි මේ ප්‍රශ්නය ගැන බලන්න ඕන. ඊට මුලික තැන දීලා මේ ප්‍රශ්නය ඇතිවුනේ කොහොමද, කොතැනද අපට වැරදුණේ කියන එක ගැන සොයන්න දැන්වත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන් පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යයි."

"මේක පුහුණුවීමේ වරදක්ද, ක්‍රීඩකයින්ගේ වරදක්ද, එහෙමත් නැත්නම් අපේ ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථානයේ වරදක් ද කියන එක. එළියෙන් ඉදලා අපිට පේන දේ තමයි අපි කියන්නේ. නමුත් ඊට වඩා ගැඹුරට හොයලා අපේ වැරදුණු තැන මොකක්ද කියලා හොයා බලන්න අවශ්‍යයි."

"අපේ දේශීය තරග පවත්වන ආකාරය, අවුරුදු 19න් පහළ වගේම පාසැල් ක්‍රිකට් පද්ධතිය ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. ක්‍රීඩකයින් ඉදිරියට එන ආකාරය ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි මගේ අදහස." ඔහු පැවසුවේය.

“ඉදිරිය ගැන අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය පිළිබඳ පැහැදිලි සැලැස්මක් දැන් සිට පැවතිය යුතු බවද මෙහිදී ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2027 ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා දැන් සිටම අපට සැලසුමක් අවශ්‍ය බවයි.

"මේ අවුරුද්දේ වර්ල්ඩ් කප් එක ඉවරයි. පැහැදිලි සැලැස්මක් තියෙන්නේ ඕන 2027 ලෝක කුසලානයේ දී අපි කොතැනද ඉන්න යන්නේ කියන එක ගැන."

"මේ වගේ ඉලක්ක අප පැහදිලිවම හඳුනාගෙන ඒවා වෙනුවෙන් අවශ්‍ය මොනවාද ? ඒවා අපි සකස් කර ගන්න අවශ්‍යයි."

"ඉන්දියාවත් එක්ක මැච් එකක් ලකුණු 55 කට අවුට් වුනාම මුළු රටටම රිදෙනවා. ඒක ලැජ්ජාවක්. මිනිස්සු හැසිරෙන විදිහ සාධාරණයි."

"අපේ ක්‍රිකට් තියන්නේ අඩියේ නෙමෙයි, නමුත් වර්ධනයක් තිබිය යුතුයි. අපි පරණ හිටපු තත්ත්වයට එන්න ඕන. ඒකයි මම හිතන විදිහ." ඔහු පැවසුවේය.

"පුහුණුකරුවන්ට චෝදනා කිරීම පදනම් විරහිතයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරුවන්, ඔවුන් ක්‍රීඩා කර ඇති තරග සහ ලබා ඇති අත්දැකීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ එල්ලවන චෝදනා හා ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් ද බීබීසී සිංහල රොෂාන් අබේසිංහගෙන් විමසා සිටියේය.

ඊට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ඒක හරිම වැරදි දෙයක්. ක්‍රීඩා කර තියෙන තරග වලින් ඔවුන්ගේ දැනුම, හැකියාව මනින්න බැහැ."

"නවීඩ් නවාස් ගත්තම එයාගේ කාලයේ හිටපු හොඳම පිතිකරුවෙක්. නමුත් අවාසනාවට ඒ කාලේ ක්‍රීඩා කරපු ජාතික කණ්ඩායමත් එක්ක බැලුවම එයාට ඇතුල්වෙන්න බැරි වුණා ටීම් එකට. ඒක එයාගේ වරදක් නෙමෙයි. එයාට හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ වගේමයි පියල් විජේතුංගත්."

"මෙතන ඉන්න අය ක්‍රීඩා කරපු තරග දිහා බලලා ඔවුන්ගේ පුහුණු කිරීමේ හැකියාව තීරණය කරන්න බැහැ."

"එහෙම නම් මයික් හෙසන් නවසිලන්ත කණ්ඩායම පුහුණු කළා. ඔහු එකම ජාත්‍යන්තර තරගයක්වත් ක්‍රීඩා කරලා නැහැ. ඒ වගේම ජෝන් බියු කැනන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පුහුණු කළා. ඔහු පළමු පෙළ එකම තරගයයි ක්‍රීඩා කරලා තියෙන්නේ. නමුත් ඔවුන් සාර්ථක පුහුණුකරුවන්."

"පුහුණුකරුවෙක් සාර්ථක වෙන්නේ ඔහුගේ කණ්ඩායම සහ එහි ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන විදිහෙන්. පුහුණුකරුවෙකුට කරන්න පුළුවන් යම් දෙයක් විතරයි. ඔහුට මැද්දට ගිහින් බැට් කරන්න බැහැ. අපි පුහුණුකරුවන්ට චෝදනා කරනවා."

"නමුත් අපි සොයා බැලිය යුතුයි පුහුණුකරුවන්ට වැරදුණේ කොහේද? තාක්ෂණයෙන් ද වැරදුණේ, මානසික පැත්තෙන් ද වැරදුණේ කියලා. නමුත් පිතිකරුවන්ගේ සාර්ථකත්වයට වගේම කණ්ඩායමේ සාර්ථකත්වයට පුහුණුකරුවන්ගේ ද යම් ආකාරයේ වගකීමක් තිබෙනවා.”

"හැම ක්‍රීඩකයෙක්ටම නියමවූ වගකීමක් තියෙනවා. හැම තරගයක් වෙනුවෙන්ම සැලසුමක් තියෙනවා. ඒ සැලසුම වැරදියට දීලා තියෙනවද කියන එක අප හොයන්න ඕන."

"අපි කවුරු හරි හොයනවා වරද පටලවන්න. නමුත් මේ වගේ ප්‍රශ්නයකදී අපි හරි පිළිවෙතක් අනුගමනය කරන්න ඕන හරියටම වැරදුණේ කොතැනද කියලා හොයා බලන්න" ඔහු පැවසුවේය.

මේක ඉන්දියානු භීතිකාවක් ද ?

ඉන්දියානු කණ්ඩායම සමග මෙම වසරේ පැවති තරග දෙකකදී ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පවතින මානසිකත්වය ද, එසේත් නොමැතිනම් ඉන්දියාවත් සමග තරගයක දී තිබෙන ප්‍රශ්නයක් ද කියා සොයා බැලිය යුතු බවද ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය.

ඉන්දීය කණ්ඩායම හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ද ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෙසු තරගවලදී දක්ෂතා දැක්වූ බව රොෂාන් අබේසිංහ පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී අනෙක් කණ්ඩායම් සමග පැවති තරගවලදී හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවත් සමග ක්‍රීඩා කිරීමේදී යම් භීතියක් ඇත්දැයි සොයා බැලිය යුතු බවය.

"ඉන්දියාවත් එක්ක ලකුණු 55 කට දැවී ගියපු මේ කණ්ඩායමම තමයි වර්ල්ඩ් කප් එකේදී එංගලන්තය පරාජය කලේ. ඒ වගේම දකුණු අප්‍රිකාවත් එක්ක මැච් එක පැරදුනත් ලකුණු 320ක් ගැහුවේ. ඒ වගේම පකිස්ථාන මැච් එකේදී ලකුණු 340ක් රැස් කළේ."

"අනිත් කණ්ඩායම්වලට මේ විදිහට ගහලා එක කණ්ඩායමක් හමුවේ මේ විදිහට සෙල්ලම් කරන එක ගැන හොයා බලන්න ඕන මොකක්ද මේ තියෙන ප්‍රශ්නය කියලා."

"ඉන්දියානු භීතිකාවක් තියෙනවද කියලා. ඉන්දියානු භීතිකාවක් තියෙනව නම් ඒක ගැන සොයා බලන්න ඕන. ඒකට මනෝ උපදේශකවරුන් ඉන්නවා. ඒ අයගේ උදව් අරන් ඒ ගැටළු තියෙන තැන් හොයලා අවශ්‍ය කටයුතු කරන්න ඕන."

"මේක බැට් එකයි බෝලෙයි අතර කරන සෙල්ලමක් නේ. එහෙම නැතුව පෞද්ගලිකව ආර්ථික හානි එන්නේ නැහැ. ඒ වගේ දේවල් මේ වගේ ක්‍රීඩකයින්ට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන. මානසික උදව්වක් අවශ්‍යනම් එය ලබා දිය යුතුයි."

"මම දකින්නේ මෙතන ගොඩක් තියෙන්නේ ඉන්දියානු පීඩනයක් මිසක් වෙන පීඩනයක් නෙමෙයි. මොකද මේ වර්ල්ඩ් කප් එකේදී අනෙක් කණ්ඩායම් එක්ක හොදින් සෙල්ලම් කළා." ඔහු කියා සිටියේය.

මේ අතර දිගින් දිගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම සම්බන්ධයෙන් ද රොෂාන් අබේසිංහ අදහස් දැක්විය.

ඔහු පැවසුවේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම සම්බන්ධයෙන් පිළිතුරු දිය යුත්තේ ඔවුන් සමග කටයුතු කරන පුහුණුකරුවන් , භෞතික චිකිත්සකවරුන් සහ වෛද්‍යවරුන් බවයි.

මීට වසර 20 කට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට, ඒ පිළිබඳ සොයා බැලීමට පුහුණුකරුවන් සහ වෛද්‍ය කණ්ඩායමක් සිටින බව ද ඔහු පැවසුවේය.

ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වූ විට එම වගකීම් දරන පුද්ගලයින්ට ඉන් ගැලවිය නොහැකි බව ද ඔහු පැවසුවේය.

"ඔවුන්ට වගකීමක් තියෙනවා කොතැනද වැරදුණේ කියලා ඉදිරියට ඇවිල්ලා කියන්න. උදාහරණයක් වශයෙන් වනිදු හසරංග ගැන කතාවක් ගියා. එයා හොදට ෆිට් වේගන ආවා. නමුත් පුහුණුවීම් වලදී ආපහු එයා ඉන්ජර්ඩ් වුණා කියලා. එහෙම කොහොමද වුනේ කියලා පැහැදිලි කරන්න අවශ්‍යයි."

"ඒ වගේම දුෂ්මන්ත චමීරට ෆිට්නස් වෙන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියලා කියන්න ඕන. ඔවුන් මේ ප්‍රශ්න වලට උත්තර දිය යුතුයි."

"දුෂ්මන්ත චමීරගේ ෆිට්නස් ලෙවල් එක LPL සෙල්ලම් කරන්න බැරිනම් මේ ෆිට්නස් බලන අය කියන්න ඕන ක්‍රිකට් බෝඩ් එකට. එහෙම සෙල්ලම් කලොත් ඔහුට ආසියානු කුසලානය වගේම වර්ල්ඩ් කප් එකට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ කියලා."

"LPL එකට ක්‍රීඩා නොකිරීමෙන් ඔහුට වෙන ආර්ථික පාඩුවක් වෙනවා නම් ක්‍රිකට් බෝඩ් එක තීරණයක් ගන්න ඕන ඒක ඔහුට ලබා දෙන්න. ඒ වගේමයි වනිදු හසරංග ගැන වුනත්. ඒ වගේ වැදගත් දේවල් ගැන තීරණයක් ගන්න ඕන."

"ලෝකයේ අනෙක් රටවල ක්‍රීඩකයෝත් ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරනවා. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වාගේ ක්‍රීඩකයෝ අපේ ක්‍රීඩකයින්ට වඩා ලීග් තරගාවලිවලට සෙල්ලම් කරනවා. ඇයි ඔවුන් ආබාධයන්ට ලක්වෙන්නේ නැත්තේ ? ප්‍රශ්නේ තියෙන්නේ ලීග් තරගාවලිවල නෙමෙයි ක්‍රීඩකයින් මැනේජ් කරන විදිහයි මෙඩිකල් වශයෙන්." ඔහු කියා සිටියේය.

මේ අතර මෙරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් වැනි තරග වලින් ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් සොයා ගැනීමට අවස්ථාව උදාවූ බවද ඔහු පැවසුවේය.

" මම විශ්වාස කරනවා LPL තරගාවලිය උපකාරී වුනා ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානයේ විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කරන්න. ඒ වගේ තත්ත්වයක් බලද්දී ලීග් එකේ වැරැද්දක් නැහැ." ඔහු කියා සිටියේය.

අපිට නැවත ගොඩ එන්න පුළුවන් ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින ස්ථානයෙන් ගොඩඒමට අවස්ථාවක් තිබේද යන්න ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන් අප විමසුවෙමු.

ඔහු පැවසුවේ 1996 වසරේ ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 1999 වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී අන්ත පරාජයක් ලැබූ බවයි. එලෙස දරුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව නැවත නැගී සිටිය බව ඔහු පෙන්වා දුන්නේය.

"මේ රට කවදාවත් පල්ලෙහාට තියන්න බැහැ. මේ රටේ සහජ හැකියාවන්ගෙන් පිරුණු ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ නිසයි අපිට ඩිල්ෂාන් මධුෂංක, මතිෂ පතිරණ, පැතුම් නිස්සංක වගේ ක්‍රීඩකයෙක් දකින්න හැකියාව ලැබුණේ. ඉන්දියාවත් එක්ක ලකුණු 55 කට අවුට් වුණා කියලා මේ රටේ ක්‍රිකට් අවසන් වෙන්නේ නැහැ."

"බංග්ලාදේශය සහ නවසීලන්තය එක්ක තියෙන මැච් දෙක අපි ගැහුවම ඔය පැරදුණු ඒවා අමතක වෙනවා. එහෙම කියන්නේ අපි ගොඩ ආවා කියන එක නෙමෙයි. මැච් දින්නා කියලා අපේ ක්‍රිකට් හොඳ තැනකට ඇවිල්ලා කියන එක නෙමෙයි."

"අපි හැමදාම මහන්සි වෙලා වැඩකරන්න ඕන අඩියෙන් අඩිය ඉස්සරහට යන්න. ඒක හැමදාම අභියෝගයක්."

"කාටවත් කියන්න බැහැ අපි තමයි හොඳම කණ්ඩායම කියලා. බලන්න එංගලන්ත කණ්ඩායමට සිදුවෙලා තියන දේ. ගිය පාර ඕවර් 50 ලෝක ශුරයින්ට මේ පාර ඇපත් නැහැ."

"ක්‍රීඩකයෝ මහන්සිවෙලා වැඩ කරන්න ඕන. අලුත් සැලසුම් ඕන. මේ ක්‍රීඩාව දවසින් දවස වැඩිදියුණු වෙනවා. ඒ අනුව අපි වෙනස් වෙමින්, සැලසුමක් අනුව ඉදිරියට යන්න අවශ්‍යයි. එතකොට අපි ගොඩ එයි."

"ක්‍රිකට් කියන්නේ තරගකාරී ක්‍රීඩාවක් නිසා හැමදාම පළමු තැනේ රැඳිලා ඉන්න බෑ. මේක තරගකාරී වාතාවරණයක්. ඒ දේට මුහුණ දෙන්න කන්ඩායමක් විදිහට අපි සුදානම් වෙන්න අවශ්‍යයි." ඔහු පැවසීය.