හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ගේ ගැසට්ටුව නව ක්‍රීඩා ඇමති හරීන් ර්වර්ස් කළේ ඇයි?

Harin Fernando being sworn in

ඡායාරූප මූලාශ්‍රය, Harin Fernando/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, හරීන් ප්‍රනාන්දු නොවැම්බර් 27 දා ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අද අත්සන් තැබූ බව සිය X ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා තමන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ද ලිඛිතව දැනුම් දී ඇති බවත් ඉදිරි ක්‍රියාමාර්ග සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගෙන ඇති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහි පණිවිඩයේ වැඩි දුරටත් සදහන් කොට තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 06 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පාලනය කිරීමට අතුරු කමිටුවක් පත් කරන ලදී.

එම අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත් නොවැම්බර් මස 11 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධිනව පවත්වාගෙන යෑමට ඉඩ නොලැබෙන බව පවසමිනි.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අධිකරණයට මීට පෙර දුන් ප්‍රතිඥාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා, එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නාබවට, නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගිය නොවැම්බර් 28 වනදා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය.

පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නේ ය.

ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත්, සේවාදායකයා වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන බව දන්වා සිටියේ ය.

එමෙන්ම මීළඟ නඩු දිනය තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේ තවදුරටත් පසුවන බව කියා සිටියේ ය.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම්දීමට නියමිත ය.