'වලාකුළු එන විදිහට කියන්න පුළුවන් දැන් වැස්සක් වැටෙන්න පුලුවන්ද නැද්ද කියලා'-ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්

දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ පැසසුම් ලබමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ පැසසුම් ලබමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්

2023 ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ආරම්භ කිරීමට ඇත්තේ තවත් පැය දෙකකටත් අඩු කාලයකි.

අද තරගයතටත් මුල් තරගවලදී මෙන්ම වර්ෂාවෙන් බාධාවක් වෙයිද? ඒ පිළිබඳ ක්‍රිකට් ලෝලීන් තුළ ඇත්තේ චකිතයකි.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 17 වැනිදා) දහවල් (12ට) නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර පළාතට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඒම අනාවැකිය කෙසේවෙතත්, කාලගුණය ගැන වඩාත් අවධානයෙන් පසුවන තවත් පිරිසක් සමග කතා බහ කිරීමට බීබීසී සිංහල වෙත හැකිවිය.

ඒ, දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ පැසසුම් ලබමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින්ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළට අප ඇතුලු වන අවස්ථාවේදීත් ඔවුන් සිය දෛනික රාජකාරි කටයුතු ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබුණි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

“අපි හැම වෙලාවෙම ලෑස්ති පිට ඉන්නේ”

ඕනෑම අවස්ථාවක වර්ෂාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා තමන් ඇතුළු ක්‍රීඩාංගණයේ සේවකයින් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව ක්‍රීඩාංගණ සේවකයෙකු වන හේරත් දිසානායක බීබීසි සිංහල වෙත පැවසුවේය.

ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවය කරනු ලබන්නේ 2007 වසරේ සිටය.

ක්‍රිකට් තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වන්නේද යන්න පිළිබඳ ක්‍රීඩාංගණයේ සියලුම සේවකයින් කාලගුණය පිළිබඳව මනා අවධානයෙන් පසුවන බව ඔහු පැවසුවේය.

" සාමාන්‍යයෙන් අපිට අහසේ වලාකුළු එන විදිහට කියන්න පුළුවන් දැන් වැස්සක් වැටෙන්න පුලුවන්ද නැද්ද කියලා. ඒ ගැන අපි හොඳ අවධානයකින් ඉන්නේ."

"වැස්සක් ඒවි කියලා හිතුන ගමන් අපේ ක්‍රීඩාංගණයේ ඉන්න සේවකයෝ කොටස් හතරකට බෙදිලා ඒ ඒ තැන් වලට යනවා."

"වැස්ස පටන් ගන්නවත් එක්කම අපි කවර්ස් අරන් ඇවිත් විකට් එක කවර් කරනවා. ඒක අපි බොහොම ඉක්මනට කරනවා." යනුවෙන් ඔහු පැවසීය.

ඕනෑම අවස්ථාවක වර්ෂාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා තමන් ඇතුළු ක්‍රීඩාංගණයේ සේවකයින් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව ක්‍රීඩාංගණ සේවකයෙකු වන හේරත් දිසානායක බීබීසි සිංහල වෙත පැවසුවේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕනෑම අවස්ථාවක වර්ෂාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා තමන් ඇතුළු ක්‍රීඩාංගණයේ සේවකයින් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව ක්‍රීඩාංගණ සේවකයෙකු වන හේරත් දිසානායක බීබීසි සිංහල වෙත පැවසුවේය.

"බවුන්ඩ්‍රිය ඇතුළේ වතුර හිටින්න දෙන්නේ නැහැ "

වර්ෂාව ඇද හැලීමෙන් පසු ක්‍රීඩාංගණයේ ආවරණ මත රැඳී ඇති ජලය ඉවත් කිරීම සිදුකරන්නේ සැලැස්මකට අනුව බව ද ඔහු සඳහන් කළේය.

" වැස්ස නතර වෙනවාත් එක්ක අපි කරන්නේ ග්‍රවුන්ඩ් එකේ තියෙන කවර්ස් පිළිවෙලට පෙරලගෙන එන එකයි. එහෙම පෙරලගෙන එන්නේ අර කවර්ස් වලට එකතු වෙලා තියෙන කිසිම වතුර බින්දුවක්වත් ග්‍රවුන්ඩ් එකේ බවුන්ඩ්‍රී ලයින් එක ( හතරේ සීමාව තුල වූ කොටසේ) ඇතුළේ වැටෙන්න දෙන්නේ නැතුව."

"ඒ කවර්ස් වල එකතු වෙන වැහි ජලය ඔක්කොම අපි ග්‍රවුන්ඩ් එක ඇතුලේ තියන කාණු පද්ධතියට බැහැර කරනවා."

"ඊට පස්සේ අපි දිග ලණුවකට ගෝනි බැඳලා තියෙනවා. ඒක මැෂින් එකට හයි කරලා ග්‍රවුන්ඩ් එක වටේ ඇද ගෙන ගිහිල්ලා පින්න කඩනවා."

"ඒ එක්කම පිච් එක චෙක් කරනවා, කරලා ඒකෙ තෙතමනය වගේ තිබෙනවා නම් ඒකට අපේ ක්‍රීඩාංගණය භාර නිලධාරිතුමන්ලාගේ උපදෙස් අනුව වේලීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා." යනුවෙන් ඔහු පැවසුවේය.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා සේවය කිරීමට වෙනත් ක්‍රිඩාංගණවල සේවය කරන සේවකයින්ද කැඳවා තිබෙන අයුරු දක්නට ලැබුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා සේවය කිරීමට වෙනත් ක්‍රිඩාංගණවල සේවය කරන සේවකයින්ද කැඳවා තිබෙන අයුරු දක්නට ලැබුණි.

“වැස්ස නිසා ලොකු අභියෝගයක් එල්ල වුණා”

මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා සේවය කිරීමට වෙනත් ක්‍රිඩාංගණවල සේවය කරන සේවකයින්ද කැඳවා තිබෙන අයුරු දක්නට ලැබුණි.

එලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පැමිණ සිටි මංජුල පුෂ්පකුමාර බීබීසි සිංහල වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවූ බවය.

"මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී වැස්ස නිසා අපිට ලොකු අභියෝගයක් එල්ල වුණා. නමුත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වගේම ගාල්ලේ ඉදලා ආව අපි ඔක්කොම එකතු වෙලා හැකි උපරිමයෙන් වැඩ කරලා නැවත තරගය පවත්වන්න අවශ්‍ය වටපිටාව සකස් කරලා දුන්නා." යනුවෙන් ඔහු පැවසීය.

 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රීඩාංගණවල ප්‍රධාන තණනිලි සකසන්නා වන ගොඩ්ෆ්‍රී දාබරේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රීඩාංගණවල ප්‍රධාන තණනිලි සකසන්නා වන ගොඩ්ෆ්‍රී දාබරේ

“හැම ටීම් එකක්ම ඇවිත් අපිට කතා කරලා ගියා”

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා එල්ල වුවද නැවත තරග ආරම්භ කිරීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් සෑම කණ්ඩායමකම පාහේ ක්‍රීඩකයින්, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට ස්තුතිය පුදකළ බව එහි සේවයේ නියුතු හේරත් දිසානායක පැවසුවේය.

" ගොඩක් වෙලාවට ක්‍රිඩාංගණයේ ඉන්නකොට අපේ කණ්ඩායමේ අය පමණක් නෙමෙයි අනෙක් කණ්ඩායම්වල ක්‍රීඩකයින් අපිත් එක්ක කතා කරනවා. ඒක ලොකු දෙයක්."

"ඒ වගේම ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි වගේ ක්‍රීඩකයින් අපේ ටෙම්පරි ස්ටාෆ් එකේ අය එක්ක කතා කරලා ගිහින් තියෙනවා."

"ඒ හැමෝම මේ වැස්සේ මැච් එක නැවත සෙල්ලම් කරන්න අවස්ථාව උදාකරල දුන්නට අපිට ස්තුතියි කළා. ඒ ගැන අපිට හරිම සතුටුයි." ඔහු එලෙස පැවසුවේය.

මේ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල සේවයේ නිරතවන සේවකයින් ලොව හොඳම ක්‍රීඩාංගණ සේවකයින් බවට සමාජ මාධ්‍යයන් හි පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ එවැනි ඇගයීමක් ලැබීම ගැන සියලුම සේවකයින් තුළ ඇත්තේ නිහතමානි සතුටක් බවයි.

ක්‍රීඩාංගණ සේවකයින්ට ලැබෙන පහසුකම් මොනවාද ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තරග පැවැත්වෙන සෑම දිනයකම සේවකයින් සඳහා දෛනිකව ගෙවන රුපියල් 3,000ක වැටුපක් සහ වේල් 03 කින් යුත් ආහාර පහසුකම්වලට අමතරව අතුරු ආහාර වේල් දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන බවද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කළමනාකරු සහ මෙරට ජාතික ක්‍රීඩාංගණවල ප්‍රධාන තණනිලි සකසන්නා වන ගොඩ්ෆ්‍රී දාබරේ බීබීසි සිංහල වෙත පවසා සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නිත්‍ය සේවකයින් 35 දෙනෙකු සිටින බවත් වර්ෂාව නොමැති දිනයකදී ජාත්‍යන්තර තරගයක් සඳහා සේවකයින් 60ක් අවශ්‍ය වන බවත් වර්ෂාව පවතින කාල සීමාවක ජාත්‍යන්තර තරගයක් පවත්වන්නේ නම් සේවකයින් 100ක් හෝ 140ක් අවශ්‍ය වන බවත් ඔහු පැවසුවේය.

"අපේ ක්‍රීඩාංගණයේ සේවය කරන්න බොහෝ වෙලාවට ගාල්ල සහ හම්බන්තොට ක්‍රිඩාංගණවල සේවය කරන අය කැඳවනවා. ඔවුන් ඔක්කොම පුහුණුවීම් ලබපු අය."

"ඒ වගේම වැස්ස දවසක් නම් අපි සේවකයින් 100ක් හෝ 140ක් සුදානම් කර ගන්නවා. ඒ වෙලාවට සේවකයින් 40ක වගේ පිරිසක් අපි පිටින් ගන්නවා. ඒ අය ගේන්නෙත් මේ ග්‍රවුන්ඩ් එකේ සේවය කරන අයමයි. ඔවුන්ටත් පුහුණුවක් ලැබිලා තියෙන්නේ."

"ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් වල වැඩ කරන අයගේ ජොබ් එක පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. ඒ නිසා මේ රස්සාවේ දැන ගත යුතු දේවල් ඒ ඒ විදිහට හැම කෙනෙක්ම දැනගෙන ඉන්නේ."

"ඒ වගේම පිටින් සේවය කරන්න කැඳවලා සිටින සේවකයින් වගේම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්න සේවකයින් ගේ සුබ සාධනයට අවශ්‍ය සෑම දෙයක්ම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් වගේම ක්‍රීඩාංගණයේ කළමනාකරු වශයෙන් නිතිපතා සොයා බැලීමක් කරනවා."

"ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ අවශ්‍ය සියළු දේ සපයා තිබෙනවා. ඒ වගේම ඔවුන් මේ දක්වා කර තිබෙන සේවය ගැන සතුටු වනවා. මොකද හැම වැස්සකට පස්සේ හොඳ තරගයක් සෙල්ලම් කරන්න අවශ්‍ය ලෙස පිටිය සකස් කර දීම පහසු කටයුත්තක් නොවන නීසා." ඔහු බීබීසී සිංහල වෙත පැවසුවේය.