'මාස්ටර් බ්ලාස්ටර්': කලින් කලට පුවත් මවන සනත් ජයසූරියගේ අලුත් ම අභියෝගය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් වූ සනත් ජයසූරිය ගැන නැවත වරක් ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුව තිබේ. ඒ, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස පත් කිරීමත් සමග ය.
ඔහුගේ එම පත්වීම 2026 වසරේ මාර්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඔහුගේ රාජකාරී කාල සීමාව තුළ පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන් ම ක්‍රිකට් නායකයෙකු ද වූ සනත් ජයසූරිය, ඉකුත් ජූලි මාසයේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සනත් ජයසූරිය කියන්නේ කවුද ?
1969 වසරේ ජූනි මස 30 වන දා මාතරදී උපත ලැබූ සනත් ටෙරාන් ජයසූරිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන් ම තුන් ඉරියව්වෙන් ම දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නමක් දිනා ගත් ක්‍රීඩකයෙකි.
1989 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට ක්‍රීඩා කළේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයකට ය. 1991 වසරේදී නවසීලන්ත කණ්ඩායම සමග හැමිල්ටන්හිදී පැවති ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් දිනා ගත් ජයසූරිය එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 35ක් රැස් කිරීමට සමත් විය.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූයේ, වමතින් පාදඟ පන්දු යවන පසුපෙළ පිතිකරුවෙකු ලෙස ය.
පසුව, එවකට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේව් වට්මෝර්ගේ උපදෙස් මත ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දීම ආරම්භ කළේ ය.
එම අත්හදාබැලීම සාර්ථක වූ අතර, 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමට ඔහුගෙන් ලැබුණු දායකත්වය අතිමහත් විය.
ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කරමින් ශතක 14ක්, අර්ධ ශතක 31ක් සමගින් ලකුණු 6,973ක් රැස් කරගනු ලද ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුලු 98ක් දවා ගෙන තිබේ.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව කඩුලු 06 කට ලකුණු 952ක් රැස් කිරීමට සමත්වූ අතර එම තරගයේදී සනත් ජයසූරිය ලකුණු 340ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්දින පිතිකරණ රටාව වෙනස් කළ 'මාස්ටර් බ්ලාස්ටර්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1995 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී එක්දින තරග රටාවේ පිතිකරණ රටාව වෙනසක් කිරීමට සනත් ජයසූරිය - රොමේෂ් කළුවිතාරණ යුගලය සමත් විය.
එක්දින තරගවල පළමු පන්දු වාර 15දී වේගයෙන් ලකුණු රැස් කිරීමට පුරෝගාමී පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය හැඳින්වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක ටෝනි ග්‍රේග් විසින් සනත් ජයසූරියව හඳුන්වනු ලැබුවේ 'මාස්ටර් බ්ලාස්ටර්' යන අන්වර්ථ නාමයෙනි.
1996 වසරේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ICC ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වීරයා ලෙස සම්මානය හිමි කර ගැනීමට ද සනත් ජයසූරිය සමත් විය. එමෙන් ම, ඔහු 2007 වසරේ පැවති ICC ලෝක කුසලාන තරගාවලියේ අනුශුරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙක් විය.
1989 වසරේ සිට 2011 වසර දක්වා වසර 22ක් එක්දින තරග පිටිය නියෝජනය කළ සනත්, තරග 445කදී ලකුණු 13,430ක් රැස් කිරීමට සමත් විය. එහිදී ඔහු ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් වාර්තා කළ අතර පන්දු යැවීමෙන් කඩුලු 323ක් දවා ගත්තේය.
ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවන් ලැයිස්තුවේ 05 වන ස්ථානයේ පසුවන්නේ සනත් ජයසූරිය යි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්න ද සනත් ජයසූරිය, ඉන්දීය ප්‍රීමියර් ලීග්, ලෙජන්ඩ්ස් ලීග්, චැම්පියන්ස් ලීග් සහ බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් වැනි ක්‍රිකට් තරගාවලි නියෝජනය කළේ ය.
ඊට අමතරව ඔහු කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසට ද කටයුතු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක කුසලානයට පාර පෙන්වූ තේරීම් කමිටු සභාපති
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සනත්, 2011 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ ය.
ගතවූ දශකයක කාලය තුළ ඔහු අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.
2013 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ මාර්තු මාසය දක්වා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සනත් ජයසූරිය කටයුතු කළ කාල සීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට 2014 වසරේ පැවති විස්සයි 20 ලෝක ශුරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය.
බංග්ලාදේශයේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජයට පත් කරමින් ලෝක ශුරයින් බවට පත් විය.
සනත් ජයසූරිය නැවතත් 2016 වසරේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.
'මට ෆේවරිට්ස්ලා නෑ. මම ස්වාධීන යි'
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ඉකුත් ජූලි මාසයේ සිට කටයුතු ආරම්භ කළ සනත් ජයසූරිය, එම කාල සීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගවලින් යම් ප්‍රගතියක් කරා ගෙන ඒමට සමත් විය.
ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, වසර 10කට පසුව එංගලන්තයට එරෙහිව එරට තුළදී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට මෙන් ම පසුගිය දා නවසීලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරග මාලාව 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එමෙන් ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද ජයසූරියගේ විශේෂ අවදානයක් යොමු වීම පිළිබඳව ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍යයේ ද කතා බහට ලක්විය. එහිදී ක්‍රීඩකයින්ගේ කොණ්ඩා විලාසිතාවන් මෙන්ම කරාඹු පැළදීම වැනි දේවල් සීමා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් පාලනයක් ගෙන ඒමට ඔහු කටයුතු කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩයමේ නිත්‍ය පුහුණුකරු ලෙස පත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නැගු පැනයකට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය පැවසුවේ, දේශීය පුහුණුකරුවෙකු සමග කටයුතු කිරීමේදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අදහස් හුවමාරු කර ගැනීමට පහසුවක් පවතින බව ය.
"ක්‍රීඩකයොත් එක්ක අදහස් බෙදාගන්න ලේසි යි. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තිබෙනවා නම් මාත් එක්ක කතා කරන්න කිසි ම බාධාවක් නැහැ. ඒ ආත්ම විශ්වාසය තියෙන්න ඕන. ඒ අය දන්නවා මම මොන වගේ ක්‍රිකට් එකක් ද ගහලා තියෙන්නේ කියලා. ඒ වටිනාකම දන්නවා. ඒකත් එක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතිව ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්.''
''දේශීය පුහුණුකරුවෙකු ලෙස මම මතක තියාගන්න ඕන මට ෆේවරිට්ස්ලා නෑ. මම ස්වාධීන යි. මම හොඳ ම කණ්ඩායම ක්‍රීඩා කරවන්න ඕන. ටීම් එකට හොඳ ඒක යි, රටට හොඳ ඒක යි. මේක ලොකු අභියෝගයක්. නැත්නම් මේ ජොබ් එක මගෙන් පස්සේ නැවත දේශීය කෙනෙකුට කරන්න ලැබෙන්නේ නෑ. මට ලොකු වගකීමක් තියෙනවා ඒ පැත්තෙන්," සනත් ජයසූරිය පැවසීය.
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම පසුබෑමක් පෙන්නුම් කළ ද ඉදිරියේදී එම තත්ත්වය මගහරවා දස්කම් අතරට ගෙන ඒමට උත්සහ කරන බව ද නව පුහුණුකරු පැවසීය.
"මම හිතන්නේ කාලයක් අපි එක්දින හා විස්සයි20 තරගවල පසුබෑමක හිටියා. පසුගිය මාස එක හමාර ම ටෙස්ට් මැච් පහක් ගහපු නිසා අපේ ප්‍රේක්ෂකයෝ දකින්නේ ටෙස්ට් ක්‍රිකට් එක තම යි. මම ක්‍රීඩකයින්ට හැම වෙලාවෙ ම කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ගැන තමයි මුළු ලෝකය ම බලන්නේ.''
''මේ ගහන හැම ලකුණක් ම ඔයාලා ක්‍රිකට් නවත්වපු දවසට අහනවා මොනව ද ටෙස්ට් ක්‍රිකට්වල කරලා තියෙන්නේ කියලා. එංගලන්ත තරගාවලියේදී ක්‍රීඩකයින්ට තේරුණා ටෙස්ට් ක්‍රිකට්වල වටිනාකම. මේ හැම දෙයක් ම කරගෙන මම හිතන්නේ ටෙස්ට් කණ්ඩායම ඉන්න තැනට ම එක්දින කණ්ඩායම යි, විස්සයි20 කණ්ඩායම යි ගේන්න පුළුවන්. හෙමිහිට අපි ඒ තැනට තමයි යන්නේ. අපි ඉවසීමෙන් ඒ ළමයින්ට ඒ සහයෝගය දුන්න නම්, මේ ළමයි රටට තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරලා දෙයි," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජයසූරියගේ දේශපාලනය
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජනප්‍රිය වූ සනත් ජයසූරිය දේශපාලනයට පිවිසියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2010 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරග කරමිනි. එහිදී ඔහු මනාප ඡන්ද 74,352ක් ලබා ගැනීමට සමත් විය.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ සනත් ජයසූරිය, 2015 වසරේදී දේශපාලනයෙන් සමුගන්නා වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරය දරමින් සිටියේ ය.
ICC යෙන් පැනවූ තහනම
2017 වසරේදී තරග පාවාදීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විමර්ශනයකට අදාළව සහයෝගය ලබා නොදීම සහ සාක්ෂි විනාශ කිරීමට කටයුතු කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් සනත් ජයසූරියට එරෙහිව දෙවසරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ ය.
තමන් පරීක්ෂණයට අදාළව සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වූ බවට මෙන්ම ඊට අදාළ "සාක්ෂි සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම" යන චෝදනා පිළිගන්නා බව සනත් ජයසූරිය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබිණි.
ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතට අදාළ වගන්තිදෙකක් කඩ කළ බව පිළිගැනීම හේතුවෙන් සනත් ජයසූරියට 2019 වසරේදී ICCය විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව දෙවසරක තහනමක් පැනවීමට කටයුතු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෞද්ගලික තොරතුරු
සනත් ජයසූරිය 1998 වසරේදී පළමු වරට විවාහ දිවියට එළඹිණි.
එවකට අතිශය ජනප්‍රිය වී සිටි සනත් ජයසූරියගේ විවාහය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වී තිබිණි.
කෙසේ වුව ද වසරකට පසු ඔහු සිය පළමු බිරිඳගෙන් වෙන්විය.
නැවතත් දෙවන වරට 2000 වසරේදී විවාහ දිවියට එළඹුණු ජයසූරියට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටිති.
මේ අතර, සනත් ජයසූරියගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ විවිධ අන්දමේ ආන්දෝලනාත්මක සිදුවීම් සමාජ මාධ්‍ය තුළ වරින්වර කතාබහට ලක් වී තිබේ.














