නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට පහසු ජයක්: කමිඳුට අහිමි වූ වාර්තාව කුමක් ද?

SL cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ, තෙවන ස්ථානයේ සිටි නවසීලන්තය සිව් වන ස්ථානයට පසු බස්සවමිනි.

නවසීලන්තය සමග ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 63ක ජයක් හිමි විය.

ලකුණු පුවරුව

කාසියේ වාසිය හිමි කරගෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 305ක් රැස් කළේ ය.

එහිදී, කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් කළේ ය.

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක විලියම් ඕ’රෝක් කඩුලු 5ක් බිඳ හෙළීය.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 340ක් රැස් කිරීමට සමත් විය.

ටොම් ලෙතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක්, ඩැරිල් මිෂෙල් ලකුණු 57ක් සහ ග්ලෙන් ෆිලිප්ස් නොදැවී ලකුණු 49ක් රැස් කළහ.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් බිඳ හෙළීය.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 309ක් රැස් කළ අතර, තරග කිහිපයකදී ම අසාර්ථක වී සිටි දිමුත් කරුණාරත්න ලකුණු 83ක් රැස් කළේ ය.

ඊට අමතරව, දිනේෂ් චන්දිමාල් (61) සහ ඇන්ජලෝ මැතිව්ස් (50) අර්ධ ශතක රැස් කළහ.

නවසීලන්තය වෙනුවෙන් අජාස් පටෙල් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායමට දෙවන ඉනිමේදී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 211ක් පමණි.

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ එක ම පිතිකරුවා වූ රචින් රවීන්ද්‍ර ලකුණු 92කට දැවී ගියේ ය.

එහිදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්‍රභාත් ජයසූරිය නම් කෙරිණි.

විශේෂ සිද්ධි

කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ පළමු දිනයේදී සිය සිව් වන ශතකය වාර්තා කළේ ය.

දෙවන ඉනිමේදී ද ශතකයක් රැස් කිරීමට සමත් වූවා නම් එය ලෝක වාර්තාව සම කිරීමක් වීමට තිබිණි.

සිය පළමු ටෙස්ට් තරග හතේදී ම ශතක පහක් ලබාගෙන ඇත්තේ, ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි - ඒ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වූ ජෝර්ජ් හෙඩ්ලි සහ එවර්ටන් වීක්ස් ය.

ඔහුට මේ වන විට ඔහුගේ පළමු ටෙස්ට් තරග හතේදී ශතක හතරක් සහ ඉනිම් 12 තුළ ලකුණු 50 හෝ ඊට වැඩි ලකුණු රැස් කළ අවස්ථා 8ක් තිබේ.

කමිඳු මෙන්ඩිස් දෙවන ඉනිමේදී ලකුණු 50ක් හෝ ඊට වැඩි ගණනක් රැස් කළහොත් ඔහු ඉන්දීය සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර්ගේ වාර්තාව සම කරමින් අඛණ්ඩ අර්ධ ශතක 9ක් රැස් කළ පිතිකරුවා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ, දෙවන ඉනිමේදී ලකුණු 13කට දැවී යාම හේතුවෙනි.

ඊට අමතරව, තරග කිහිපයකදී ම අසාර්ථක වී සිටි හිටපු නායක දිමුත් කරුණාරත්න මෙම තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 83ක් රැස් කිරීම විශේෂත්වයක් විය.

දෙවන තරගය

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සැප්තැම්බර් 26 වන දා ආරම්භ වේ.

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් 4ක් ජයගෙන 4ක් පරාජයට පත්ව තිබේ.