ආගම සහ ලිංගික අධ්‍යාපනය: 'ආහාර ගැන නොදැන කෑවා ම අපි ලෙඩ වෙනවා. ලිංගික අධ්‍යාපනයත් ඒ වගේ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
කලින් කලට ආගමික පූජ්‍ය පක්ෂයෙන් එල්ල වන විරෝධය හමුවේ පාසල් විෂය මාලාවට විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට පැවති සෑම රජයක් ම අපොහොසත් විය.
ලිංගික අධ්‍යාපනය සම්බන්ධව නැවතත් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙන්නේ, පෙබරවාරි 20 වන දා කොළඹදී පැවති සඟ සමුළුවේදී ලිංගික අධ්‍යාපනය ලබා දීම මෙරට දූ දරුවන්ට අනවශ්‍ය බවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් කරන ලද අනුශාසනාවත් සමග ය.
උන්වහන්සේගේ ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍යවල ද දැඩි කතිකාවක් නිර්මාණය වී තිබිණි.
'ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"පසුගිය දවස්වල අපේ රටට ලිංගික අධ්‍යාපනය ගේන්න ඕන යි කියලා ප්‍රකාශ කළා. ලිංගික අධ්‍යාපනය අපේ රටේ ජනතාවට අවශ්‍ය ද?, අපේ රටේ ජනතාවට ලිංගික අධ්‍යාපනයක් මම හිතන්නේ නැහැ අවශ්‍ය යි කියලා. අපේ රටේ ඒ කාලේ මිනිස්සු හොඳ විවාහ ජීවිත ගත කළා, දරුවෝ දහය පහළව ඇති කළා, බොහෝම සතුටින් ජීවත් වුණා, ඒවා අවශ්‍ය විදියට ඒ අයගේ ගුප්ත භාවය රැකගෙන, සංවරකම රැකගෙන ඒවා ඒගොල්ලෝ කර ගත්තා. මොන කෙහෙල්මලක් ද මේ ලිංගික අධ්‍යාපනය කියන්නේ. අවශ්‍ය ද ලිංගික අධ්‍යාපනයක් අපිට. ලිංගික අධ්‍යාපනයක් අපිට අවශ්‍ය නැහැ," උන්වහන්සේ වදාළ හ.
'ඇඳගෙන හිටිය රෙද්දෙන් මූණ වැහුවා ගෑනු දරුවන්ගේ'
අතීතයේ මෙරට තිබූ බව කියන 'ශික්ෂණය' ගැන උන්වහන්සේ පැවසූ අදහස් මෙසේ ය.
"ඒ කාලේ, මුලින් ම ලංකාවට දුම්රිය ගෙන්වපු වෙලාවේ මේ දුම්රිය දැක බලා ගන්න රේල් පාර දෙපැත්තේ ජනතාව පොර කකා හිටියා. මේ දුම්රිය එනකොට, මේ දුම්රිය එන්ජිමේ යම්කිසි අවයවයක් වැඩ කරන විදිය, ඒ පාර අයිනේ බලාගෙන හිටිය අම්මලා බලාගෙන හිටියා. පට ගාලා තමන් ළඟ ඉන්න දියණියගේ මුහුණ තමන් ඇඳගෙන ඉන්න රෙද්දෙන් වැහුවා කියලා තමයි කියන්නේ. මෙන්න අපේ ලිංගික අධ්‍යාපනය. තමන් ඇඳගෙන හිටිය රෙද්දෙන් මූණ වැහුවා ගෑනු දරුවන්ගේ. ඒ වැහුවේ මොකක්වත් ලිංගික කතාවක් නෙමෙයි. නමුත් ඒක අප්‍රසන්න දෙයක් වැඩිහිටියෝ දන්නවා එන්ජින් එකේ හැටි. මෙහෙමයි අපේ රටේ ලිංගිකත්වය. මේ ලිංගිකත්වය ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් ලිංගිකත්වය පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දෙන්න ගිහිල්ලා දැන් අස්සක් මුල්ලක් නෑර, මම හිතන්නේ ආයේ අධ්‍යාපනයට හඳුන්වලා දුන්නත් එකයි, නැතත් එකයි. අස්සක් මුල්ලක් නෑර මේ සංස්කෘතික පරිහානියට බලපාන ලිංගිකත්වය පිළිබඳ තොරතුරු දැන් සමාජගත කරලා ඉවරයි," මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සඳහන් කළහ.
සමාජ මාධ්‍යවල පළවූ අදහස්
උන්වහන්සේගේ අනුශාසනාව මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමග ම, ඒ සම්බන්ධව බොහෝ සටහන් සමාජ මාධ්‍ය තුළ පළව තිබෙනු දැකගත හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook
'ලිංගික අධ්‍යාපනය කියන්නේ ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනයක්'
ආගම සහ ලිංගික අධ්‍යාපනය පටලවා ගැනීම සුදුසු නොවන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මිණි රණවීර බීබීසි සිංහල වෙත කියා සිටියා ය.
"කෙනෙක් චරිතවත් කරන්න, කෙනෙක්ට හරියට ජීවත් වෙන්න, ආගමෙන් යමක් උගන්වනවා වගේ ම ඒක විතරක් ප්‍රමාණවත් කියන මතයේ ඉන්න මම සූදානම් නැහැ. අද කාලීන අවශ්‍යතාව එක්ක බලනකොට ලිංගික අධ්‍යාපනය කියන්නේ, අධ්‍යාපනයේ තවත් ලැබිය යුතු දෙයක් කියල යි මම විශ්වාස කරන්නේ. ඒකට ලිංගික කියන නම දාගෙන අපි වැරදි ඇහැකින් බලන්න නෙමෙයි ඕනේ. ඒ අධ්‍යාපනය මොන වයසේ ද දෙන්න ඕනේ?, ලිංගික අධ්‍යාපනය කියන්නේ ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනයක් කියන එක මම මූලිකව පිළිගන්නවා."
ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ඇයි?
ආහාර ගැනීම පිළිබඳව නිසි ආකාරයට ඉගෙනුමක් ලබනවා මෙන් ම ලිංගික අධ්‍යාපනය ද විධිමත් ලෙස ලබා දිය යුත්තේ ඇයි ද යන්න ඇය පැහැදිලි කළේ මෙසේ ය.
"අපි ආහාර ගැනීම ගැන හරියට ඉගෙන ගත්තේ නැතිනම් වැරදි ආහාර අරගෙන බෝ නොවන රෝග ගොන්නක් හදා ගන්නවා. ආහාර ගැනීම පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේ ම ආහාර තෝර ගන්න එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධය අවශ්‍ය වෙන්නේ අපි නොමග යන්නේ නැති වෙන්න සහ නිවැරදි දේ කිරීම සඳහා ඒ අධ්‍යාපනය අවශ්‍ය යි. ලිංගික අධ්‍යාපනය කියන්නෙත් ඒ වගේ එකක්."
ලිංගික අධ්‍යාපනය තමන්ට හරි දේ තෝරා ගැනීම සහ නිවැරදිව ජීවත් වීමට අවශ්‍ය දෙයක් බව ද අධ්‍යාපනඥ පද්මිණි රණවීර අවධාරණය කළා ය.
"තරුණ ගෑනු ළමයෙක් වැඩිවියට පත් වුණාට පස්සේ ගැබ් ගැනීමක් සිද්ධ වුණොත් නොදැනුවත්වකම නිසා, ඒක හදන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි නේ. ඒක කොතනින් ද කෙළවර වෙන්නේ? ඒක නොවෙන්න අධ්‍යාපනයක් දීම අවශ්‍ය ම යි."
ලිංගික අධ්‍යාපනයෙන් උගන්වන්නේ මොනවා ද?
දේශපාලන හෝ ආගම පටලවා නොගනිමින් ලිංගික අධ්‍යාපන ලබා දිය යුතු ආකාරය සෞඛ්‍ය විශේෂඥයන් සහ අධ්‍යාපනඥයන් එක්ව තීරණය කළ යුතු බවත් ඇය පැවසුවා ය.
ලිංගික අධ්‍යාපන යනු ලිංගික ක්‍රියාවලියේ යෙදීම ඉගැන්වීම නොවන බව ද අධ්‍යාපනඥ පද්මිණි රණවීර අවධාරණය කළා ය.
"ලිංගික අධ්‍යාපනය වෙන්න ඕනේ, ඒක තමන්ගේ ශරීරයේ තවත් කොටසක්. තමන්ට ඒ ගැන අවබෝධයක් නැතිනම් වැරදි දේවල්වලට යනවා. වැරදි දේවල්වලට ගියා ම ආපහු හැරෙන්න බැරි තැනකට යනවා. ඒ නිසා ජීවිතය විනාශ කර ගන්නේ නැතුව, වගකීමක් සහිතව තීරණ ගැනීම සහ වගකීමක් සහිතව ජීවිතයට මුහුණ දීම. වගකීම් සහිත කියන්නේ, තමන් වගකීම දරන්න මම දන්නවා ඒක ගැන. ඒ නිසා මම වගකීම් සහිත යි. කවුරුවත් කිව්වාට කොහොවත් යන්නේ නැහැ, කවුරුත් යෝජනා කළාට ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ දැනුවත්භාවය අත්‍යවශ්‍ය යි."
"හිතනවා නම් ලිංගික අධ්‍යාපනය දීම නිසා රට විනාශ වෙනවා කියලා, මම නම් ඒක පිළිගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ," ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය පැවසුවා ය.
ලිංගික අධ්‍යාපනය සහ සංස්කෘතිය
රටේ සංස්කෘතිය සලකා බලමින් ඊට ගැලපෙන ලෙසින් ලිංගික අධ්‍යාපනය අනිවාර්යෙන් ම ලබා දිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ, සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා බීබීසි සිංහල වෙත කියා සිටියේ ය.
"එක කට්ටියක් සංස්කෘතික යි කියලා සම්පුර්ණයෙන් ම ලිංගික අධ්‍යාපනය ඕනේ නැහැ කියලා කියනවා. ලිංගික අධ්‍යාපන අවශ්‍ය යි කියන අය, ලිංගික අධ්‍යාපනය සංස්කෘතිය එක්ක සම්බන්ධ කරන්න ඕනේ නෑ ඒක අනිවාර්යෙන් ගේන්න ඕනේ කියලා කියනවා. මම කියන්නේ මේ අදහස් දෙක ම වැදගත්. මේ අදහස් දෙකේ ම සංකලනයක්, ඒ කියන්නේ සංස්කෘතික වශයෙන් යම්කිසි විදියකට කන්සර්න්, ඒ ගැන අවබෝධයක් ඇතිව ලිංගික අධ්‍යාපනය දෙන්න පටන් ගන්න එක ඉතා ම වැදගත්."
ලිංගිකත්වය විද්‍යාවක් බව පෙන්වා දුන් මහාචාර්යවරයා එම විද්‍යාව නොදැන ගමන් කිරීම හරහා සමාජයක් වශයෙන් අතරමං විය හැකි බව ද පැවසීය.
ලිංගික අධ්‍යාපනය වයස් බේදයකින් තොරව ලබා දිය යුතු බව ද සමාජ විද්‍යාඥ මහාචාර්ය ප්‍රේමකුමර් ද සිල්වා අවධාරණය කළේය.
'ආගමික අධ්‍යාපනය ඇතුළටත් මේක ගේන්න පුළුවන්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ලිංගිකත්වය මනුෂ්‍ය ස්වාභාවය බැවින් එය තේරුම් ගැනීම වැදගත් බවත් ලිංගික අධ්‍යාපනය තහංචියක් හෝ ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු දෙයක් යැයි කීම ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් නොමැතිකමින් කරන ප්‍රකාශ බව මහාචාර්යවරයා කියා සිටියේ ය.
"ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය ස්වාභාවය. බුද්ධාගමේ හරි වෙනත් ආගම්වලත් කතා කරන්නේ මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගන්න එක. යම් දෙයක් හටගන්න විදිය ගැන විශ්ලේෂණ තියෙනවා. ආගම්වලත් තියෙනවා ඒ විශ්ලේෂණ. මම හිතන්නේ ඒ අධ්‍යාපනය තමයි දෙන්න ඕනේ. ආගමික අධ්‍යාපනය ඇතුළටත් මේක ගේන්න පුළුවන්. ඒ කියන්නේ ආගමික වශයෙන් කොහොම ද ලිංගිකත්වය තේරුම් අරන් තියෙන්නේ, ඒක ඇතුළේ කොහොම ද විස්තර කරලා තියෙන්නේ. ඒක හින්දා ලිංගික අධ්‍යාපනය කියන එක මම හිතන්නේ තහංචියක් හැටියට හෝ එහෙම නැතිනම් අපි ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු දෙයක්, ඒක අපේ මහජන අවකාශයට ගේන්න ඕනේ නැහැ, ඒක පෞද්ගලික අවකාශයේ විසඳගත යුතු ප්‍රශ්නයක් කියන එක ඒ ප්‍රශ්නය පිළිබඳ පුළුල් අවබෝධයක් නැතිව කරන ප්‍රකාශ හැටියට යි, මම දකින්නේ."
මහාචාර්ය ප්‍රේමකුමර් ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පාසල් සිසුන්ට මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ට ද ලිංගික අධ්‍යාපනය ලබා දීම ඉතා වැදගත් බව ය.


































