අඛණ්ඩව හයේ පහර 8ක් එල්ල කළ ඉන්දීය ක්‍රීඩකයෙක් ක්‍රිකට් වාර්තා අලුත් කරයි

Stock image of cricket bat and ball

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආකාෂ් කුමාර් චෞද්රි ඉන්දියාවේ දේශීය තරගයකදී ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ, අඛණ්ඩව හයේ පහර අටක් එල්ල කරමින් පළමු පන්තියේ තරගයකදී රැස් කළ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කරමිනි.

මෙම විශිෂ්ට පිතිකරණයේ දක්ෂතාව යනු, එක ම පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීම පමණක් නොව, ඔහු මුහුණ දුන් ඊළඟ පන්දු දෙකේදී ද තවත් හයේ පහර දෙකක් එල්ල කරමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සර්ව කාලීන ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකුගේ දස්කම් අභිබවා යාම ය.

පළමු පන්තියේ ක්‍රිකට් තරගයකදී අඛණ්ඩව හයේ පහර අටක් එල්ල කළ පළමු ක්‍රීඩකයා බවට ආකාෂ් පත්වූ අතර ඔහුගේ වාර්තාගත අර්ධ ශතකය පන්දු 11කින් රැස් කළේ ය.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හිදී මේඝාලයා සහ අරුණාචල් ප්‍රදේශ් අතර පැවති රංජි කුසලාන පළිහ කාණ්ඩයේ තරගයක දෙවන දිනයේදී මෙම විස්මයජනක ඉනිම වාර්තා විය.

මේඝාලයා කණ්ඩායම ලකුණු 576-6ක් ලෙස පසුවෙද්දී අට වන පිතිකරු ලෙස පිටියට පැමිණි, ආකාෂ් නිලකුණු පන්දුවක් සහ එක් ලකුණ බැගින් පහර දෙකක් සමගින් ඉනිම ආරම්භ කළ අතර, පසුව වමත් දඟ පන්දු යවන ලිමාර් ඩබිට අඛණ්ඩව හයේ පහර හයක් එල්ල කළේ ය.

1968 දී බටහිර ඉන්දීය කොදෙව් විශිෂ්ටයෙකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සහ 1985 දී හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවි ශාස්ත්‍රිගෙන් පසුව, පළමු පෙළ තරගයකදී පන්දු වාරයකදී 6 පහර 6ක් එල්ල කිරීමේ දක්ෂතාව දැක්වූ තුන්වන ක්‍රීඩකයා බවට ඔහු පත්විය.

25 හැවිරිදි ඔහු ඊට පසුව පිට දඟ පන්දු යවන ටී.එන්.ආර්. මෝහිත්ගේ ඊළඟ පන්දුවාරයේදී අඛණ්ඩව හයේ පහර දෙකක් එල්ල කරමින් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

පන්දු 11කදී ලකුණු 50ක් රැස් කිරීම මගින්, 2012 දී එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ලෙස්ටර්ෂයර් කණ්ඩායම වෙනුවෙන් වේන් වයිට් පන්දු 12කදී අර්ධ ශතකයක් රැස් කිරීමේ වාර්තාව බිඳ දැමීය.

මේඝාලයා කණ්ඩායම ලකුණු 629-8ක් ලෙස ඉනිම අත්හිටුවූ අතර, ඒ වන විට ආකාෂ් පන්දු 14කදී නොදැවී ලකුණු 50ක් රැස් කර සිටියේ ය.

එපමණක් නොව, ආකාෂ් පන්දුවෙන් ද දස්කම් දක්වමින් මේඝාලයා කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට මග පෑදුවේ ය.

එහිදී ඔහු ඉනිම දෙකේදී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය.