ටෙස්ට් ලකුණු 400 ලෝක වාර්තාව 'අභිබවා නොගිය' වියාන් මුල්ඩර්ට බ්‍රයන් ලාරා දුරකතනයෙන් කී කතාව

Brian Lara

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

පසුගිය සතියේදී වියාන් මුල්ඩර් යන නාමය ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන්නන් අතර අතිශයින් කතාබහට ලක්වූයේ, ටෙස්ට් ඉනිමක වැඩි ම ලකුණු සංඛ්‍යාව වන බ්‍රයන් ලාරාගේ ලකුණු 400 වාර්තාව අභිබවා යාම ප්‍රතික්ෂේප කළ බව පැවසීම හේතුවෙනි.

වසර 21ක් පැරණි එම වාර්තාව අභිබවා යාම ප්‍රතික්ෂේප කරමින් ඔහු නොදැවී ලකුණු 367ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය.

මේ පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවූ අතර, ඇතැමෙකු එය අගය කර තිබූ අතර, තවත් බොහෝ පිරිසක් එය විවේචනය කළහ.

මේ අතර, ලෝක වාර්තාවේ හිමිකරු වන බ්‍රයන් ලාරා ද මේ සම්බන්ධයෙන් ඔහුට දුරකතනය ඔස්සේ අදහස් දක්වා තිබේ.

බ්‍රයන් ලාරා මුල්ඩර්ට දුරකතනයෙන් පැවසුවේ කුමක් ද?

බ්‍රයන් ලාරා සතු වාර්තාවට අත නොතැබීමට තමා ගත් තීරණය නිවැරදි බව මුල්ඩර් තවමත් විශ්වාස කරන අතර, මුල්ඩර් පවසන්නේ, ලකුණු 400 සීමාව අභිබවා යාමට උත්සහ කළ යුතුව තිබූ බව බ්‍රයන් ලාරා තමන්ට පැවසූ බව ය.

"දැන් තත්ත්වය ටිකක් සමථයකට පත්වෙලා තියෙන නිසා, මම බ්‍රයන් ලාරා එක්ක ටිකක් කතා කළා," මුල්ඩර් සුපර්ස්පෝර්ට් නාලිකාවට පවසා තිබිණි.

"ඔහු මට කිව්වා ඒකට යන්න තිබුණා කියලා. ඔහු කිව්වා වාර්තා බිඳ දැමිය යුතු යි කියලා, මම නැවත කවදා හෝ එම ස්ථානයේ සිටියොත්, මම ඇත්තට ම ගොස් ඔහුට වඩා ලකුණු ලබා ගැනීමට කැමති යි කියලා."

"ඒක ඔහුගේ පැත්තෙන් සිත්ගන්නාසුලු අදහසක්. ඒත්, මම තවමත් විශ්වාස කරනවා මම කරපු දේ හරි කියලා. මට වැදගත් වන්නේ ක්‍රීඩාවට ගරු කිරීම යි," මුල්ඩර් පවසා ඇත.

Wiaan Mulder batting for South Africa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වියාන් මුල්ඩර් නොදැවී රැස් කළ ලකුණු 367 ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී රැස් කළ පස් වන වැඩි ම ලකුණු සංඛ්‍යාව යි

වසර 21ක් තිස්සේ කිසිදු පිතිකරුවෙකුට බිඳ හෙළීමට තබා සමීප වීමට පවා නොහැකි වූ ඉනිමකදී රැස් කළ වැඩි ම ටෙස්ට් ලකුණු වාර්තාව ඊයේ දිනයේ අභිබවා යනු ඇතැයි ලෝකයේ සියලු ක්‍රිකට් ලෝලීහු බලාපොරොත්තුසහගතව සිටියහ.

එහෙත්, ඒ බලාපොරොත්තු බිඳ හෙළමින්, දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් නායක වියාන් මුල්ඩර්, ක්‍රිකට් ලෝලීන් මවිත කරවනසුලු තීරණයක් ගෙන තිබිණි.

ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 626ක් රැස් කර සිටි අතර, බ්‍රයන් ලාරාගේ වාර්තාව බිඳ හෙළීමට වියාන් මුල්ඩර්ට අවශ්‍යව තිබුණේ, ලකුණු තවත් ලකුණු 33ක් පමණි.

නොදැවී ලකුණු 367ක් රැස් කර සිටි වියාන් මුල්ඩර් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ය.

මෙම තීරණය ඇසූ ක්‍රීඩා ලෝලීන්, විස්තර විචාරකයින් පුදුමයට පත්ව සිටි අතර, තරගයෙන් පසුව අදහස් දක්වමින්, තමන් වාර්තාව බිඳ නොහෙළීමට තීරණය කළේ මන්දැයි යන්න වියාන් මුල්ඩර් පැහැදිලි කළේ ය.

වියාන් මුල්ඩර්ගේ පැහැදිලි කිරීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දකුණු අප්‍රිකාවේ වියාන් මුල්ඩර් පැවසුවේ, ටෙස්ට් ඉනිමක වැඩි ම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් බ්‍රයන් ලාරාගේ වාර්තාව තවදුරටත් ආරක්ෂා කිරීම "හරියට ම සිදුවිය යුත්තක්" බව ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය පළමු වරට භාර ගත් මුල්ඩර්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහි පැවති දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරයෙන් පසු 367ක් නොදැවී ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

ඒ වන විට, 2004 වසරේදී ඇන්ටිගාහිදී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා නොදැවී රැස් කළ ලකුණු 400ට වඩා ඔහු ලකුණු 33ක් පිටුපසින් සිටියේ ය.

27 හැවිරිදි ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී වාර්තාවක් අබියස සිටියදී දකුණු අප්‍රිකාවේ පළමු ඉනිම 626-5ක්ව තිබියදී අත්හිටවූ අතර, එය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් නොව ලාරාගේ කීර්තිමත් ක්‍රිකට් දිවියට ගරු කිරීමට වෙනුවෙන් ද ගත් තීරණයක් බව ඔහු පැවසීය.

"මුලින් ම මම හිතුවේ අපි දැන් බැට් කළා ඇති. දැන් පන්දු යවන්න ඕන කියලා," මුල්ඩර් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විකාශන සමාගමක් වන සුපර්ස්පෝර්ට් වෙත පැවසීය.

"දෙවනුව, බ්‍රයන් ලාරා කියන්නේ ශ්‍රේෂ්ඨයෙක්. අපි ඇත්තට මුහුණ දෙන්න ඕනෙ. ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 400ක් ලබා ගත්තා, ඒ වගේ ඉහළ මට්ටමේ කෙනෙකුට ඒ වාර්තාව ආරක්ෂා කර දීම විශේෂ යි."

"මට ආයෙත් අවස්ථාවක් ලැබුණොත් මමත් ඒ දේ කරනවා. මම අපේ පුහුණුකරු ශුක්රි කොන්රඩ් එක්ක කතා කළා, ඔහු මට කිව්වා, 'අහන්න, ශ්‍රේෂ්ඨයින් ඇත්තට ම ලකුණු වාර්තාව තියාගන්න දෙන්න' කියලා."

"මගේ ඉරණම මොකක් ද කියලා, ඒක ඔයා හඳුන්වන්නේ කොහොම ද කියලා, මට මොකක් වෙයි ද කියලා ඔයා කවදාවත් දන්නේ නැහැ. නමුත් ඒ වාර්තාව බ්‍රයන් ලාරා ළඟ තියෙන්න ඕන කියලා මම හිතනවා."

මුල්ඩර් රැස් කළ ලකුණු 367 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පස් වන ඉහළ ම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වන අතර දකුණු අප්‍රිකානුවෙකු විසින් ඉනිමකදී වාර්තා කරන ලද ඉහළ ම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව විය.

වසර 21කට පෙර ඇන්ටිගාහිදී ලාරා පිහිටවූ වැඩි ම ලකුණු වාර්තාව ඔහු විසින් ම බිඳ දමනු ලැබූ දෙවන අවස්ථාව යි. ඔහු 1994 වසරේදී එංගලන්තයට එරෙහිව ලකුණු 375ක් රැස් කළේ ය. 2003 දී පර්ත්හිදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 380ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් එම වාර්තාව පසු කිරීමට සමත් විය. බ්‍රයන් ලාරා යළිත් එංගලන්තයට ම එරෙහිව නොදැවී ලකුණු 400ක් රැස් කළේ 2004 වසරේදී ය.

මුල්ඩර්ට වඩා ඉදිරියෙන් ඇති අනෙක් ලකුණු සංඛ්‍යාව වන්නේ, 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 374 යි.

ටෙම්බා බවුමා සහ කේෂව් මහරාජ් ආබාධවලට ලක්වීමෙන් පසු, දකුණු අප්‍රිකාවේ මෑතකදී නායකත්වයට පත්වූ තුන් වැන්නා වියාන් මුල්ඩර් ය.

ටෙස්ට් ඉනිමකදී වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවෝ

400* - බ්‍රයන් ලාරා, එංගලන්තයට එරෙහිව, ඇන්ටිගා - 2004

380 - මැතිව් හේඩ්න්, සිම්බාබ්වේට එරෙහිව, පර්ත් - 2003

375 - බ්‍රයන් ලාරා, එංගලන්තයට එරෙහිව, ඇන්ටිගා - 1994

374 - මහේල ජයවර්ධන, දකුණු අප්‍රිකාවට එරෙහිව, කොළඹ - 2006

367* - වියාන් මුල්ඩර්, සිම්බාබ්වේට එරෙහිව, බුලවායෝ - 2025