ශුබ්මන් ගිල්: නව ටෙස්ට් නායකයා යටතේ ඉන්දියාවේ ක්‍රිකට් අනාගතය කෙබඳු වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අයස් මේමන්
- Role, ක්‍රිකට් වාර්තාකරු
රෝහිත් ෂර්මා හදිසියේ ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් සති තුනකට පමණ පසු, ඔහුගෙන් පසු නායකත්වයට පත්කරන්නේ කවුද? යන්න පිළිබඳ අනුමාන කිරීම්වලට තිත තබමින් එළඹෙන ජූනි මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලිය සඳහා නව ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස ශුබ්මන් ගිල් නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ ය.
25 වන වියේ පසුවන ශුබ්මන් ගිල්, ඉන්දියාවේ 37 වන ටෙස්ට් නායකයා වන අතර මන්සූර් අලි ඛාන් පතාවුදි, සචින් තෙන්දුල්කාර්, කපිල් දේව් සහ රවී ශාස්ත්‍රීගෙන් පසුව පත්වූ ළාබාලතම ඉන්දීය ටෙස්ට් නායකයා යි.
ඔහුගේ පත්කිරීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. ඔහු නායකත්වය දෙන සංචිතයට විශිෂ්ට පිතිකරුවන් වන රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි හා මාස හයකට පෙර විශ්‍රාම ගිය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙන් ම, යෝග්‍යතා ගැටලු හේතුවෙන් ඉවත් කරන ලද වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ඇතුළත්ව නොමැත.
කණ්ඩායමේ පිතිකරණ දක්ෂතාවලින් පොහොසත් තරුණ පිතිකරුවන් සිටින නමුත් කෝලි සහ ෂර්මාගේ අත්දැකීම් ඔවුන්ට මෙවර අහිමි වනු ඇත. ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් වැනි පන්දු යවන්නන් සිටිය ද, ඔවුන්ගේ පන්දු යැවීමේ විශිෂ්ට මට්ටමක් දැකිය නොහැකි ය.
ඉන්දියාව 2007 සිට එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති අතර එය ගිල්ට ඇති අභියෝග අතරට තවත් එකතු වීමක් ලෙස සැලකේ.
තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාකාර් සහ පුහුණුකරු ගෞතම් ගම්භීර් අතර පැවති බැරෑරුම් සාකච්ඡාවලින් සහ අනෙකුත් ක්‍රීඩකයින් සමග තිරයෙන් පිටුපස පැවති සාකච්ඡාවලින් අනතුරුව ගිල් තෝරා ගන්නා ලදී.
බුම්රා ඔස්ට්‍රේලියා තරගාවලියේදී උපනායකයා වූ බැවින් ඔහු මීළඟ නායකත්වය සඳහා පැහැදිලි තේරීමක් ලෙස පෙනුණ ද, ටෙස්ට් තරග 5ක අභියෝගයන්ට උර දීමට ඔහුට ඇති හැකියාව පිළිබඳ වූ අවිනිශ්චිතභාවය, නායකත්වය සඳහා ගිල් පත් කිරීමට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පන්ජාබ් ප්‍රාන්තයෙන් පැමිණි දක්ෂ ක්‍රීඩකයෙකු වන ගිල්, දිගු කලක් තිස්සේ ඉහළ අපේක්ෂාවන් දරා ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2014දී පන්ජාබ් අන්තර් දිස්ත්‍රික් එම්එල් මාර්කන් කුසලානය අතරතුර නිර්මාල් සිං සමග වාර්තාගත ලකුණු 587ක ආරම්භක සම්බන්ධතාවකදී ලකුණු 351ක් රැස් කරමින් ගිල් ප්‍රසිද්ධියට පත්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 සපිරී තිබුණේ ද නැත. මෙම දක්ෂතාවයෙන් අනතුරුව වඩා හොඳ පුහුණුවක් සඳහා ඔහුව යොමු කිරීම සඳහා ඔහුගේ පවුලේ අය ඔවුන් ජීවත් වූ දේශසීමා ආශ්‍රිත ගම්මානයක් වූ චක් ඛෙරේවාලා සිට මොහාලි වෙත යාමට ගත් තීරණය නිවැරදි එකක් බව සනාථ විය.
කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඔහු අඛණ්ඩව ලකුණු ලබා ගැනීම ගිල් ඉක්මනින් 19න් පහළ කණ්ඩායමට ඇතුළත් වීමට බලපෑ මුලික හේතුව විය.
2017-18 අවුරුදු-19න් පහළ ලෝක කුසලානයට ක්‍රීඩා කළ කණ්ඩායමේ උපනායකයා වූ ඔහු, ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ලකුණු රැස් කරන්නා ලෙස කැපී පෙනුණු අතර, අවසන් පූර්ව තරගයේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ පකිස්ථානයට එරෙහිව දක්ෂ ලෙස, නොදැවී ලකුණු 102ක් ලබා ගැනීමෙන් එය ඉස්මතු විය. ඉන්දියාව ඔස්ට්‍රේලියාව පරාජය කළ අවසන් තරගයේදී ගිල් දක්ෂ ලෙස ලකුණු 31ක් රැස් කළේ ය.
එම අවස්ථාව වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ, තෙන්ඩුල්කාර් සමග සංසන්දනය කළ මුම්බායි පාසල් ක්‍රීඩකයන් අතර 19න් පහළ කණ්ඩායමේ නායකයා වන ප්‍රිත්වි ෂෝ දෙසට ය. ඔහුගේ නැගී ඒම අතිවිශිෂ්ට වූ අතර මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමත්, ඉන් කෙටි කලකට පසුව තවත් ශතකයක් රැස් කිරීමටත් ෂෝ සමත් විය. නමුත් 2020 වන විට ඔහුගේ වෘත්තීය ජීවිතයේ පිරිහීම ආරම්භ විය.
කෙටි විවේකයකින් පසු, රංජි කුසලාන මංගල තරගයේදී ම ගිල් අර්ධ ශතකයක් සහ පසුව ශතකයක් ලබා ගනිමින් බොහෝ දෙනා විශ්මයට පත් කළේ ය. යුවරාජ් සිං ඔහුගේ උපදේශකයා ලෙස කටයුතු කිරීමත් සමග, ඔහු තම පිතිකරණය සහ ක්‍රීඩාව පිළිබඳ අවබෝධය යන දෙක ම වැඩිදියුණු කර ගත්තේ ය.
අඛණ්ඩව ලකුණු රැස් කිරීම හේතුවෙන් තේරීම් කමිටුව ගිල්, ෂෝගේ ආදේශකයා ලෙස සලකා බැලීමට පෙළඹිණි. ඔහු 2020 දෙසැම්බර් මාසයේදී මෙල්බර්න්හිදී ටෙස්ට් පිටියට පිවිසියේ ඉන්දියාවේ අමතක නොවන තරග මාලා ජයග්‍රහණයක් අතරතුරදී ය.
උසින් හා ආකර්ෂණයෙන් යුත් ගිල් එල්ල කරන තාක්ෂණයෙන් පිරිපුන් පිති ප්‍රහාර නිසා ඔහු දක්ෂතාවන්ගෙන් පිරුණු තරුණ පිතිකරුවෙකු ලෙස හැඳින්විණි. පවුලේ අය ඔහුට 'කුමාරයා' යන අනවර්ථ නාමය තැබූ අතර එය ඉක්මනින් ඔහුගේ ක්‍රිකට් අනන්‍යතාව බවට පත්විය. ඔහු තම පරම්පරාවේ දක්ෂතම පිතිකරුවා ලෙස විරාත් කෝලිගේ අඩි පාරේ ගමන් කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති.
එම පොරොන්දුව තවමත් ඔහු ඔප්පු කර නොමැත. කෝලි මෙන් ම, ගිල් ද සියලු ආකෘතියේ තරග සඳහා ක්‍රීඩා කරන නමුත් කෝලි මුල් කාලයේ දැක්වූ දස්කම් මෙන්, ගිල් තවමත් එම හැකියාව සහ තරග ජයග්‍රහණය කිරීමට තමන්ගෙන් වන බලපෑම ප්‍රදර්ශනය කර නොමැත. විශේෂයෙන් ටෙස්ට් තරගවලදී, ඔහු තරග 32කදී ලබා ගත් ලකුණු 1,893 ශක්තිමත් නමුත් කැපී පෙනෙන දක්ෂතාවක් නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
සිය මංගල ටෙස්ට් තරගයෙන් වසර පහකටත් අඩු කාලයකට පසු, ගිල්ගේ පළමු නායකත්වය ඔහුගේ වෘත්තීය ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකදී සිදු විය.
තම පිතිකරණය හොඳ තත්ත්වයේ සිට විශිෂ්ට තත්ත්වයට ඔසවා තැබීමට ප්‍රමාණවත් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ඔහු, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ එංගලන්ත කණ්ඩායමේ බේස්බෝල් ක්‍රීඩා විලාසය හමුවේ දැඩි පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත. මෙහිදී ලබන සාර්ථකත්වය ඉහළ ම ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ස්ථාවරත්වයට ප්‍රබල තල්ලුවක් වනු ඇත.
නමුත් ශුබ්මන් ගිල්ට වඩාත් දුෂ්කර අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ කණ්ඩායමේ නායකයා ලෙස ය.
එංගලන්ත තරගාවලිය ඉන්දියාවේ නව ලෝක ටෙස්ට් ශූරතාවයේ ආරම්භය සනිටුහන් කරයි. ලෝක ටෙස්ට් ශුරතාවලි දෙකක අවසන් තරගයට පැමිණි නමුත් ඉන්දියාවේ මෑත කාලයේ දුර්වල ටෙස්ට් තරග ක්‍රීඩා විලාසය හේතුවෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව හමුවේ තරගාවලි පරාජයන්ට ද මුහුණ දී තිබේ.
ඉන්දියාව නැවත ගොඩනැගීමට නම්, ගිල් පිත්තෙන් පමණක් නොව නායකයා ලෙසට ද නව මුහුණුවරකින් යුතුව කණ්ඩායම මෙහෙයවිය යුතු ය. ඔහුට කණ්ඩායමේ විවේකාගාරයේ සංස්කෘතිය සහ ගතිකත්වය තේරුම් ගැනීමට සහ නැවත ඒවා සකස් කිරීමට ද අවශ්‍ය වනු ඇත.
"ගිල් තරුණයෙක්, අපි එක් තරගාවලියක් සඳහා පමණක් නෙවෙයි, ඉදිරි වසර පහ-හය සඳහා ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා මේ ආයෝජනය කරනවා," තේරීම් කමිටු සභාපති අජිත් අගාකාර් පැවසීය.
මෙහිදී නව නායකයා තුළ දැඩි විශ්වාසයක් ඇති කළ යුතු ය. ඔහුගේ භූමිකාව විශාල පීඩනයක් ගෙන දෙන නමුත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ උරුමය නිර්මාණය කිරීමට විශාල බලාපොරොත්තුවක් සහ අවස්ථාවක් සලසනු ඇත.














