දිමුත් කරුණාරත්න: තරග ශතකයෙන් සමුදෙන ආරම්භක පිතිකරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් හිටපු නායකයා මෙන්ම වත්මන් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න අද (පෙබරවාරි 06) සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කරනු ලබන 100 වන මෙන්ම ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වීමද විශේෂත්වයකි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කළ දිමුත් කරුණාරත්නට උපහාර පිදීම සඳහා ගාල්ල ක්‍රීඩා පිටියේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබු අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම දිමුත් ගේ පවුලේ ඥාතින් ද එක්ව සිටියහ.
පන්දුවට පහරදීමට දිමුත් කරුණාරත්න පිටියට පැමිණෙන අවස්ථාවේදී පාසැල් ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එක්වී ඔහුට සුබ පැතුම් එක් කරන ලදී.
පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 87ක් රැස් කර සිටිති.
පළමු පෙළ ක්‍රීඩා දිවිය
1988 වසරේදී උපත ලැබූ ෆ්‍රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න, 2012 වසරේදී පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ තම අවසන් තරගය ක්‍රීඩා කරනු ලබන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි.
කොළඹ සාන්ත ජෝසෆ් විදුහලේ ආදි සිසුවෙකු වන දිමුත් කරුණාරත්න, 2008 වසරේදී පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා SSC ක්‍රීඩා සමාජයට එක්විය.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැක්වූ දක්ෂතා හේතුවෙන් කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමි විය.
ක්‍රීඩා දිවියේ පළමු වසරේදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස එතරම් ලකුණු අතරට පැමිණීමට නොහැකි වුව ද, 2009 වසරේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලැබීමෙන් අනතුරුව සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට දිමුත්ට හැකි විය.
සිය පළමු පෙළ තරග දිවියේ පළමු ශතකය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව රැස් කළ දිමුත්, එම තරග වාරයේදී ලකුණු 1,186ක් රැස් කළේ, ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 56.54ක් ලෙස තබා ගනිමිනි.
මෙම දක්ෂතාව නිසා ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්වීමට දිමුත් කරුණාරත්නට අවස්ථාව හිමි වූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි වර්නන් ෆිලෙන්ඩර් වැනි ප්‍රබල පන්දු යවන්නන්ගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී ලකුණු 184ක් රැස් කිරීමට ඔහු සමත් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
එක්දින කණ්ඩායමට ලද කැඳවීම
දිමුත් කරුණාරත්නට පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි වූයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2011 වසරේ ජූලි මස 09 වන දා මැන්චෙස්ටර්හිදී පැවති එක්දින තරගයට ලද කැඳවීමත් සමග යි. එම තරගයේදී ඔහුට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණි.
එතැන් සිට දිමුත් මේ දක්වා එක්දින තරග 50කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ඉනිම් 46කදී ලකුණු 1,316ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 17ක් ඇතුළත්ව තිබේ.
ටෙස්ට් කණ්ඩායම දක්වා පැමිණි ගමන් මග
2012 වසරේදී දිමුත් කරුණාරත්නට ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවූයේ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී ය. පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියත් ඔහු දෙවන ඉනිමේදී ලකුණු 60ක් රැස් කිරීමට සමත් විය.
2014 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවති ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න සිය පළමු ටෙස්ට් ශතකය (ලකුණු 152) රැස් කිරීමට සමත් විය.
ටෙස්ට් තරග 99කදී ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් සමගින් ලකුණු 7,172ක් රැස් කර ඇති දිමුත් කරුණාරත්න ටෙස්ට් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ, 2021 වසරේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 221යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිමුත්ගේ නායකත්වය සහ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය
දිමුත් කරුණාරත්න 2019 සිට 2024 දක්වා ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකාව මෙහෙයවී ය. එහිදී ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 12ක් ජයග්‍රහණය කරනු ලැබුවේ තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.
2019 වසරේදී දිමුත්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම එරටදී ම පරාජය කරමින් ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු රට ලෙස ය.
2021 වසරේදී දිමුත් කරුණාරත්න ICC වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය සඳහා නම් කෙරිණි. එමෙන් ම, එම වසරේදී තුන් වන වැඩි ම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙසින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක ටෙස්ට් කණ්ඩායමට ද ඇතුළත් කරන ලදී.
එම වසරේදී දිමුත් කරුණාරත්න ශතක 04ක් සමගින් ලකුණු 902ක් රැස් කළේ, පිතිකරණ සාමාන්‍යය 69.38ක පවත්වා ගනිමිනි.
2024 සැප්තැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව ඔහු රැස් කළ අර්ධ ශතකයෙන් පසුව දිමුත් කරුණාරත්න සිය අවසන් ටෙස්ට් තරග හතේදී රැස් කළේ ලකුණු 182ක් පමණි.














