ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා: 42 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් මොනවා ද?

Sri Lanka vs Australia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 7 වන වෝන් - මුරලි ටෙස්ට් තරගාවලිය හෙට (ජනවාරි 29) වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායකත්වය උසුලන ස්ට්වි ස්මිත්ට සිය ටෙස්ට් තරග දිවියේ 10,000 වන ලකුණ රැස් කිරීමට තවත් එක් ලකුණක් පමණක් අවශ්‍යව ඇති අතර, ගාල්ල ටෙස්ට් තරගයේදී ඔහුට එම කඩඉම පසුකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය 1983 වසරේ අප්‍රේල් මස 22 වැනිදා මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වසර 42ක අතීතයකට දිවෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග ඉතිහාසයේ මේ දක්වා තරගාවලි 14ක් පවත්වා ඇති අතර එහිදී ටෙස්ට් තරග 33 කදී තරග 20ක ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව ද තරග 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව ද ලබා ඇත.

දෙරට අතර පැවති ටෙස්ට් තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගවලදී මෙතෙක් වාර්තා වූ සුවිශේෂී සිදුවීම් මොනවාද ?

පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගයකදී වාර්තා වූ පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කෙප්ලර් වෙසල්ස් සමත් විය.

දෙරට අතර 1983 වසරේදී පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔහු එම දස්කම දැක්වීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කෙප්ලර් වෙසල්ස්, පන්දු 188 කදී ලකුණු 141ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 21ක් ඇතුළත් විය.

වසර 4ක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු කෙප්ලර් වෙසල්ස් නැවත සිය මව් රට වූ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වු අතර එරට වෙනුවෙන් ටෙස්ට් නායකත්වයද ඉසිලීය.

කෙප්ලර් වෙසල්ස්ට අමතරව ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් හුක්ස් නොදැවී ලකුණු 143ක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කෙප්ලර් වෙසල්ස්, පන්දු 188 කදී ලකුණු 141ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 21ක් ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි කෙප්ලර් වෙසල්ස්, පන්දු 188 කදී ලකුණු 141ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 21ක් ඇතුළත් විය

පළමු කඩුලු 5 දවා ගත් පන්දු යවන්නා

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියකදී පළමු වරට කඩුලු 5ක් දවා ගනු ලැබූ පන්දු යවන්නා බවට පත්වුයේ බෲස් යාර්ඩ්ලිය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේදී බෲස් යාර්ඩ්ලි පන්දු වාර 25කදී ලකුණු 88කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

එහිදී ඔහු දුලිප් මෙන්ඩිස්, රන්ජන් මඩුගල්ල, සෝමචන්ද්‍ර ද සිල්වා, ගයි ද සිල්වා සහ අර්ජුන රණතුංගගේ කඩුලු දවා ගැනීමට සමත්ව තිබිණි.

Aravinda de Silva

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ලාංකික පිතිකරුවා වූයේ අරවින්ද ද සිල්වා ය

බ්‍රිස්බෙන් පිටියේදී ක්‍රියාත්මක වූ අරවින්දගේ පිත්ත

ඔස්ට්‍රේලියාව සමග 1989 වසරේදී ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නුවරදී පැවති ටෙස්ට් තරගයේදී අරවින්ද ද සිල්වා ශතකයක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතකයක් වාර්තා කළ පළමු ලාංකික පිතිකරුවා වූයේ අරවින්ද ද සිල්වා ය.

එම ටෙස්ට් තරගයේදී අරවින්ද ද සිල්වා පන්දු 361 කදී ලකුණු 167ක් වාර්තා කිරීමට සමත් වූ අතර මිනිත්තු 491ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 17ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

අරවින්ද ද සිල්වාගේ එම ඉනිම හේතුවෙන් දෙරට අතර පළමුවරට ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර එම තරගාවලියේදී ලකුණු 314ක් සහ කඩුලු 03ක් දවා ගනු ලැබූ ඔහු තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලබා ගත්තේ ය.

අනුනවයෙන් මග හැරුණු අවස්ථාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අවස්ථාව 1992 වසරේදී අහිමි වූයේ ඉතා කෙටි ලකුණු සංඛ්‍යාවකින් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති අතර පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 256ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 කට ලකුණු 547ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට සමත් විය. එහිදී අසංක ගුරුසිංහ (137), අර්ජුන රණතුංග (127) සහ රොමේෂ් කළුවිතාරණ (නොදැවී ලකුණු 132) ශතක රැස් කිරීමට සමත් වූහ.

රොමේෂ් කළුවිතාරණ සිය පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීම මෙහිදී සුවිශේෂී කරුණක් විය.

දෙවන ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 471ක් රැස් කිරීමට සමත් වූ අතර තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍යව තිබුණේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකා දෙවන ඉනිමට, ආරම්භක පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 127ක් ලෙස දිස්වූ අතර ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 57ක් පමණි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්‍රේග් මැතිව්ස් සහ ෂේන් වෝන්ගේ දඟ පන්දුව හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 07 ලකුණු 37කට දැවී ගියේ එම තරගයෙන් සංචාරක කණ්ඩායමට ලකුණු 16ක ජයග්‍රහණයක් අත්කර දෙමින්ය.

1999 වසරේදී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 06ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චමින්ද වාස් විසින් ඔස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 03ක් දවා ගන්නා ලදී

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය වාර්තා කිරීමට වසර 16ක් බලා සිටීමට සිදුවිය.1999 වසරේදී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 188 කට සීමා කිරීමට මුත්තයියා මුරලිදරන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී මුරලිදරන් කඩුලු 4ක් ද චමින්ද වාස් සහ නුවන් සොයිසා කඩුලු 3 බැගින් ද දවා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 234ක් රැස් කිරීමට සමත් වූ අතර දෙවන ඉනිමට ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 140 කට සීමා විය.

ඒ අනුව ලකුණු 95ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පුර්ණ කර ගැනීමට සමත් විය.

ටෙස්ට් තරග 3කින් සමන්විත එම තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව තම පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විම ද විශේෂත්වයක් විය.

Shane Warne and Muralitharan

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 500 වැනි කඩුල්ල එකම තරගාවලියකදී දවා ගැනීම දෛවෝපගත සිදුවීමක් විය

එකම තරගාවලියේදී කඩුලු 500 සීමාව පසු කළ පන්දු යවන්නන් දෙදෙනා

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නන් දෙදෙනා වන මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 500 වැනි කඩුල්ල එකම තරගාවලියකදී දවා ගැනීම දෛවෝපගත සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

ෂේන් වෝන් 2004 වසරේ මාර්තු මස 12 වැනිදා සිය ටෙස්ට් දිවියේ 500 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුයේ ගාල්ල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීය. එහිදී වෝන් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ හෂාන් තිලකරත්න ය.

එම වසරේදීම මාර්තු මස 16 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් තරග දිවියේ 500 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් විය.

2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් හානියට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත නවීකරණය කිරීමට ෂේන් වෝන් ඇතුළු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඉදිරිපත් වීමද විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

කැන්ගරුවන් අසරණ කළ හේරත්

ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගනු ලැබූ පන්දු යවන්නා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් ය.

2016 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලියක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පළමු වරටය.

එම ටෙස්ට් තරග 3දී ලකුණු 106, ලකුණු 229 කින් සහ ලකුණු 163 කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 28ක් දවා ගැනීමට සමත් විය. එහිදී හේරත් ගේ හොඳම පන්දු යැවීම ලකුණු 64 කට කඩුලු 7ක් ලෙස සටහන් විය.

Rangana Herath

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 වසරේ පැවති ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 28ක් දවා ගැනීමට සමත් විය.

පිත්තෙන් සහ පන්දුවෙන් තැබූ වාර්තා මොනවා ද?

දෙරට අතර ටෙස්ට් තරග වලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා වන්නේ ඔස්ට්‍රේලියාවේ මයිකල් හසීය. ඔහු ටෙස්ට් තරග 8ක ඉනිම 13කදී ලකුණු 994ක් රැස් කර තිබේ. ඊට ශතක 5ක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත්ය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේ රංගන හේරත්ය. ඔහු ටෙස්ට් තරග 11ක ඉනිම් 19කදී කඩුලු 66ක් දවා ගෙන ඇති අතර ඊට කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 6 ක් ඇතුළත් වේ.

කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසට ඇඩම් ගිල්ක්‍රිස්ට් තරග 7කදී දවා ගැනීම් 37 කට දායකත්වය ලබාදී ඇති අතර ඊට උඩ පන්දු 32ක් සහ ස්ටම්ප් කිරීම් 05ක් ඇතුළත් වේ.

පන්දු රකින ක්‍රීඩකයෙක් ලෙස වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා වන්නේ මහේල ජයවර්ධන ය. ඔහු ටෙස්ට් තරග 16 කදී උඩ පන්දු 20ක් රැක ගැනීමට සමත්ව තිබේ.