සයීඩ් අන්වර්: පන්දු යවන්නන්ට 'නපුරු සිහිනයක්' වූ ආරම්භක පිතිකරුවා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සාමි චෞද්‍රි
- Role, ක්‍රිකට් විශ්ලේෂක
1977 දී ඉරානය ගෝලීය ආර්ථික වෙනස්කම් සහ අභ්‍යන්තර කැළඹීම් හේතුවෙන් විප්ලවයක් කරා ගමන් කරන විට, කරච්චි සිට ටෙහෙරානයට ගිය ඉංජිනේරු අන්වර් අහමඩ් නැවත පදිංචියේ වෙනසක් කිරීමට සිතුවේය. නමුත් මෙවර ඔහුම සෞදි අරාබියට යන අතරවාරයේ සිය නව හැවිරිදි පුතා කරච්චියේ පිහිටි තමාගේ පාරම්පරික නිවසට යැවීය.
ටෙහෙරානයේ වීදිවල පාපන්දු ක්‍රීඩා කරන මෙම ළමයා අන් ඉරාන ජාතිකයින්ට වඩා වැඩි දෙයක් ක්‍රිකට් ගැන දැන සිටියේ නැත. නමුත් හරියටම වසර 11කට පසු ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ කඩුල්ලේ සීමාවේ සිටගෙන සිටි එම පිරිමි ළමයා සිය මැණික් කටුවේ ආධාරයෙන් වසීම් අක්‍රම්ගේ හිසට කෙළින් හයේ පහරක් එල්ල කළේය.
එක්දින තරගවල ආරම්භක පිතිකරණ සංකල්පය වෙනස් කළ ආකර්ශනීය වමත් ආරම්භක පිතිකරු සයීඩ් අන්වර් වූයේ එම දරුවායි. මයිකල් ස්ලේටර්, රොමේෂ් කළුවිතාරණ, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන් පසුකාලීනව ආක්‍රමණශීලී ආරම්භක පිතිකරුවන් බවට පත්වෙද්දී පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ සයීඩ් අන්වර් තරම් සාර්ථක වූ කිසිවෙක් නොමැත.
'ඔහුගේ යුගයේ හොඳින්ම කල් මැන්න පිතිකරුවා'
පකිස්තානයේ හිටපු පුහුණුකරු හරූන් රෂීඩ් පළමු වරට සයීඩ් අන්වර් කෙරෙහි අවධානය යොමු කරන විට දේශීය ක්‍රිකට්වල UBL හි පුහුණුකරු විය. 'ඔබ ක්‍රීඩකයා තුළ උද්යෝගයක් දකිනවා, මම ඔහු තුළත් ඒ උද්යෝගය දැක්කා.'
බීබීසී උර්දු වෙත අදහස් දක්වමින් හරූන් රෂීඩ් කියා සිටියේ සහීඩ් අන්වර් එවකට කරච්චි සංගමයේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සිටි බවයි.
"ඒ 1987 කාලයේ වෙන්න ඇති, අවුරුදු 19න් පහළ තරගාවලියක් තිබ්බා අපි අවසන් තරගය ක්‍රීඩා කළා, ඒකෙදි ඔහු අපට එරෙහිව පන්දුවට පහර දුන් ආකාරයෙන් මට එවෙලේම කියන්න පුළුවන් මේ කොල්ලාට දක්ෂතා තිබුණා. ඔහු කට් පහර හොදින් එල්ල කළා, ඒ වගේම මිඩ් විකට් කලාපයේ හොදින් ක්‍රීඩා කළා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉම්රාන් ඛාන් සෑම විටම ඔහුව විස්තර කළේ බ්‍රයන් ලාරාගේ සම වයසේ මිතුරෙකු ලෙසයි, ඔහුගේ පැහැදිලි කිරීමේදී සයීඩ් අන්වර්ගේ සුවිශේෂීතා හැකියා පිළිබඳ සඳහන් කළේය.
"මම සයීඩ් අන්වර්, ටෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා එක සමානව සලකනවා, මන්ද ඔහු ඔහුගේ යුගයේ කල් මැනීමේ දක්ෂතමයා වූ බැවින්."
'මැණික් කටුව පරීක්ෂාවට ලක් කළ ස්කොෂ් සහ ටේබල් ටෙනිස්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වයස අවුරුදු නවයේදී නැවත කරච්චියට පැමිණි සයීඩ් අන්වර් ආපසු පැමිණි වහාම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු නොවීය. කුඩා කාලයේ ඔහුගේ ප්‍රියතම මලල ක්‍රීඩකයා වූයේ ස්කොෂ් ක්‍රීඩක ජහන්ගීර් ඛාන්, ඔහු හොඳින් ස්කොෂ් ක්‍රීඩා කිරීමට පෙළඹවූයේය.
නමුත් ස්කොෂ් ක්‍රීඩාවෙන් පසුව වුවද ක්‍රිකට් ඔහුගේ දෙවන ප්‍රියතම ක්‍රීඩාව නොවීය. ඔහු වැඩිපුරම කාලය ගත කළේ මේස පන්දු ක්‍රීඩාවට ය.
මෙම සිදුවීම් මාලාව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී තරුවක් වීමට හේතුවක් වූ අතර, ක්‍රීඩා දෙකම ස්වභාවිකවම ඔහුගේ මැණික් කටුවලට ඉදිරි වසරවල ක්‍රිකට් පිටියේ අරුමයක් මැවීමට අවශ්‍ය ශක්තිය සහ නම්‍යශීලී බව ලබා දුන්නේය.
සඛ්ලෙන් මුෂ්ටාක් ද මෙම අදහසට සහාය දැක්විය.
"සයීඩ් භායි සමහර වෙලාවට කියනවා, 'මිත්‍රයා, ස්කොෂ් සහ මේස පන්දු ක්‍රීඩා කරලා මගේ මැණික් කටුව ගොඩක් ශක්තිමත් වෙලා, දැන් මට කිසිම පන්දුවක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.'
"ඔහුට ඉතා හොඳ ඇසක් තිබුණා. සමහර පිතිකරුවන් පන්දුව ගුවනේදී තෝරා ගන්නවා, සමහරු එය තණතීරුවේ සිට කරනවා. සයීඩ් භායි පන්දු යවන්නාගේ අතේ සිටම පන්දුව නිරීක්ෂණය කළා."
ඔහුගේ ආකර්ෂණීය විලාසය සඳහා අඩිතාලම සකස් කළේ ස්කොෂ් සහ මේස පන්දු පුහුණුවීම්වල මුල් අවධිය වන අතර, සියලු මූලික පුහුණු අත්පොත් ඉක්මවා ගිය ආක්‍රමණශීලීත්වය මවිතය දනවන්නක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'අපි හීනෙන් දැකපු පහර තමයි ඔහු ක්‍රීඩා කළේ'
සයීඩ් අන්වර් සිය ගරාජයේ මිතුරන් සමඟ ටේප් බෝල් ක්‍රීඩා කරන අතරතුර ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු තුළ ඇති නැඹුරුව වර්ධනය විය. ඔහු මුලින් පිතිකරුවෙකු ලෙස මලීර් ජිම්කානා කණ්ඩායමට එක්නොවූ අතර, ඒ වෙනුවට වමත් දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට පටන් ගෙන අංක අටේ හෝ නවයේ පිතිකරු ලෙස පන්දුවට පහර දුන්නේය.
ඒ වන විට ඔහු කරච්චි නුවර විශ්වවිද්‍යාලයක පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය හදාරමින් සිටි අයෙකි.
ඔහුගේ මිතුරා වන රෂීඩ් ලතීෆ් ටෙනිස් පන්දුවක් ටේප් පටියකින් ඔතා ඔහුට පන්දු යැවීමට පටන් ගැනීමත් සමඟ සයීඩ් අන්වර්ට පිතිකරණය ගැන උනන්දුවක් ඇති වූයේ මලීර් ජිම්කානා හි පුහුණු දැල් තුළදීය.
ඉන්සමාම්-උල්-හක් සිය යූ ටියුබ් නාලිකාවේ පවසන්නේ සයීඩ් අන්වර් ක්‍රීඩා කිරීම නැරඹීමෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඔහුට ඉතා පහසු එකක් වූ බවයි.
"අපි රෑට හීනෙන් දැකපු පහර, සයීඩ් අන්වර් උදේට ක්‍රීඩා කරනවා... එයා බැට් කරනකොට ක්‍රිකට් හරිම ලේසියි, පන්දුව වදින බවක්වත්, තණතීරුවේ කිසිම දෙයක් වෙන බවක්වත් පෙනුණේ නැහැ."
'ඇමෙරිකාවට වඩා ක්‍රිකට් වැදගත් වුණා'
සිය අනෙකුත් මිතුරන් මෙන්ම සයීඩ් අන්වර්ට ද උපාධියෙන් පසු ශාස්ත්‍රපති උපාධිය සඳහා ඇමෙරිකාවට යාමට අවශ්‍ය වූ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති කැපවීම නිසා ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට ඇමෙරිකාවට යාමේ අදහස අතහැර දමා අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.
හරූන් රෂීඩ් ඔහුව තෝරා UBL වෙත ගෙන එන විට ඔහුට එහි වඩා හොඳ තරගකාරී පරිසරයක් හමු විය.
"අපිට එතන ජාත්‍යන්තර මට්ටමේ පරිසරයක් තිබුණා, අපි ශාරීරික යෝග්‍යතාව, පුහුණුව, තාක්‍ෂණය සඳහා මහන්සි වුණා. ඔහු එහිදී ගොඩක් මහන්සි වුණා."
සයීඩ් අන්වර් පුහුණුවීම් වලදී දැඩි විනයකට යටත්ව සිටි බව 'දූස්රා' පන්දුවේ නිර්මාතෘ, ජනප්‍රිය දඟ පන්දු යවන ක්‍රීඩක සක්ලේන් මුෂ්ටාක් ද බීබීසී උර්දු වෙත පැවසීය.
"දක්ෂතාවය පැහැදිලියි, ඔහු දෙවියන් වහන්සේ දුන් කෙනෙක්, නමුත් ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළා. ඔහු ඉතා අභියෝගාත්මක ලෙස පුහුණුවීම් කළා. පුහුණුවීම්වලදී පහසු ලෙස ක්‍රීඩා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මම තරගයට සූදානම් විය යුතුයි" කියා ඔහු නිතරම පැවසුවා.''
'මේ අලුත් කොල්ලා කරන දේ ක්‍රිකට් නෙවෙයි'
ක්‍රීඩා ලෝකයේ සංඛ්‍යාලේඛනවල ඇති වැදගත්කම ප්‍රතික්ෂේප කළ නොහැකි වුවද, ක්‍රිකට් සම්ප්‍රදාය තුළ අලංකාරවත් බවට ද හිමි තැන් තිබේ.ප්‍රවීණත්වය සම්බන්ධයෙන් ගත් කළ, සයීඩ් අන්වර් ගේ නම යුග නිර්මාණයක් වූ බ්‍රයන් ලාරාට සමීප ය.
එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ පළමු ඉනිම කිහිපයේ තිබු ආක්‍රමණශීලීභාවය නිසා ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්ට කියන්නට සිදුවූයේ "මේ අලුත් කොල්ලා කරන්නේ ක්‍රිකට් නෙවෙයි, වෙන දෙයක්" යනුවෙනි.
ඕවල් පිටියේදී එංගලන්තයට එරෙහිව ලකුණු 176ක ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ විට ජෙෆ්රි බෝයිකොට් ඔහුව හැඳින්වූයේ පන්දු යවන්නන්ට නපුරු සිහිනයක් ලෙසය. එම වසරේම, විස්ඩන්, ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා අතරට ඔහුව ඇතුළත් කරන අතරේ, ඕවල් හි එම ඉනිම වසරේ දර්ශනීය ඉනිම ලෙසද හැඳින්වීය.
'ඔයා මගේ විශ්වාසය නැති කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුගේ සමකාලීනයන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට හේතුව කුමක්දැයි අප සක්ලේන් මුෂ්ටාක්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඔහු කිසිවිටෙක යටහත් පහත් ආකාරයෙන් ක්‍රීඩා නොකළ බවයි.
"ඔහුගේ පෞරුෂය කෙතරම්ද යත්, රැස්වීමක් තිබුණත්, සාකච්ඡාවක් පැවතුණත්, ක්‍රිකට් ගැන කතා කළත්, විහිළුවක් තිබුණත්, ඔහු සෑම තැනකම සිටියා."
සයීඩ් අන්වර්ගේ මේ පෞරුෂය ඔහුගේ ක්‍රිකට් ජීවිතය තුළින්ද පිළිබිඹු වුණා. ඉදිරියෙන් එන පන්දු යවන්නා ග්ලෙන් මැග්‍රාත්, මුරලිදරන් හෝ ෂේන් වෝන් වේවා, ඔහු සෑම විටම පීඩනය ආපස්සට හැරවීය.
සක්ලේන් මුෂ්ටාක් බීබීසී උර්දු වෙත පැවසුවේ බොහෝ විට තනිවම පුහුණුවීම් කරන නිසා සහ පන්දු යැවීම එපාකරවන සුළු නිසා තමන් දැල් සැසියේදී පවා සයීඩ් අන්වර් වෙත පන්දු යැවීමෙන් වැළකී සිටීමට පටන් ගත් බවයි.
"ඔවුන් මට කිව්වා, 'ඔයා දඟ කැව්වොත්, මම දඟ පන්දුවලට එරෙහිව ක්‍රීඩා කරනවා, ඔබ එය ඉදිරි පාදයෙන් කළොත්, මම පසුපාදයේ ක්‍රීඩා කරනවා, ඔබ එය පසුපස පාදයෙන් කළොත්, මම ඉදිරියට ඇවිල්ලා ප්ලේ කරනවා. මම ක්‍රීස් එකේ ඉදන් ක්‍රීඩා කරන්නේ නැහැ, මම මගේ පාදයෙන් ඕෆ්සයිඩ් එකෙත් සෙල්ලම් කරන්නම්.''
"සයීඩ් බායි, ඔයා මගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් එක වගේම විශ්වාසය, විනාශ කරනවා කියලා මම කිව්වා" සක්ලේන් මුෂ්ටාක් සිනාසෙමින් සිහිපත් කරයි.
ඔහු ෂේන් වෝන් සහ මුරලිදරන්ගේ පන්දු යැවීමට පුරුදුව සිටියා
සිය ක්‍රිකට් දිවියේ වේගවත්ම කඩුලු 200 දවාගත් පන්දු යවන්නා ලෙස වාර්තාව පිහිටුවූ සක්ලෙන් මුෂ්ටාක් ට අනුව, සයීඩ් අන්වර් පිට දඟ පන්දුවලට එරෙහිව ක්‍රීඩා කරන හොඳම 'වමතින්' පිතිකරුවා විය.
"අපි මොනවා කළත්, ඔවුන් ක්‍රීඩා කරන්නේ කුමන පහරද කියලා වටහා ගන්න පුළුවන්, පන්දුව පන්දු රකින්නා වෙත යාමට හෝ ඔවුන් ස්ටම්ප් වීමට ඉඩ ඇති අවස්ථාවක් තියෙනවා."
"ප්‍රායෝගිකව ඔහු ක්‍රීඩා කළේ ඔහුගේ සුවපහසු කලාපයෙන් පිට, ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 194 ක් ලබා ගත්ත තරගයෙදී කුම්බ්ලේගේ ඕවරයකට විශාල පහරවල් එල්ල කළා. ඔහුට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. කිසිම දඟපන්දු යවන්නෙක් කිසිදා ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහු ෂේන් වෝන්ගේ සහ මුරලිදරන්ගේ පන්දු යැවීමට පුරුදුව සිටියා."
චෙන්නායි හි පැවති මෙම වාර්තාගත තරගයට සයීඩ් අන්වර් පැමිණියේ දිගු කාලයක් රෝගාතුර වීමෙන් පසු වන අතර, ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ගිය චෙපොක් ක්‍රීඩාංගනයේ සිටි ප්‍රේක්ෂකයින් නිහඬ කළ ආකාරය අදත් ඔවුන්ට මතක ය.
මෙම ඉනිමේදී සයීඩ් අන්වර් විසින් ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ දහතුන් වසරක් පැරණි ඉහළම පුද්ගලික ලකුණු වාර්තාව බිඳ දැමූ අතර, ඉදිරි වසර 13ක කාලය තුළ එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස ගෞරවය හිමිකර ගත්තේය.
'බය වෙන්න එපා මම වසීම් අක්‍රම්ටත් හයේ පහරක් ගහනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1990 දී ඉම්රාන් ඛාන් ඔහුව එක්දින කණ්ඩායමට ගෙන එන විට, පාකිස්තානයට ෂොයිබ් මුහම්මද් සහ අමීර් මලික් වැනි ආරම්භක පිතිකරුවන් සිටි අතර ඔවුන් ආරම්භක පිතිකරුවන් ලෙස ලකුණු රැස් කිරීමේ ප්‍රහාරාත්මක වේගය 50ක් ලෙස සටහන් විය. නමුත් සයිඩ් අන්වර්ට ආරම්භක පිතිකරුගේ ස්ථානය ලබාදුන් විට ඔහුගේ ඉනිමක ලකුණු රැස් කිරීමේ ප්‍රහාරාත්මක වේගය 90 ට වඩා ඉහළින් තිබිණි.
හරූන් රෂීඩ් පවසන්නේ සයීඩ් අන්වර්ට තම ශිල්පීය ක්‍රම පිළිබඳව පූර්ණ විශ්වාසයක් තිබූ බවයි.
"ඔහුගේ එක දෙයක් නම් කිසිසේත් කලබල නොවීමයි. එය විල්ස් කුසලානයේ අවසන් තරගයයි. වසීම් අක්‍රම්ගේ PIA කණ්ඩායම අපට ලකුණු 229 ක ඉලක්කයක් ලබා දුන්නා. අපට කඩුලු ඉතිරිව තිබුණත් අවශ්‍ය (ලකුණු) වේගය ඉහළ යමින් තිබුණා. මම කනස්සල්ලෙන් ක්‍රීඩා විවේකාගාරයේ ඇවිදිමින් සිටියා."
"එතකොට ඔහු අංක හය පිතිකරු ලෙස ක්‍රීඩා කළේ. එයා සැප පහසුවට පිටිපස්සෙ අසුනක ඉදගෙන සැහැල්ලුවෙන් හිටියා. එයා මට කිව්වා හරූන් භායි! මොකටද කලබල වෙන්නේ? මම කිව්වා, 'අප ලකුණු ගොඩක් පසු පසින් ඉන්නේ, වසීම්ට (අක්‍රම්) තවම ඉතුරු ඕවර පහක් තියෙනවා ඔහුට හයේ පහරවල් ගහන්නේ කවුද?'
"ඔහු කිව්වා, බය වෙන්න එපා, මේ මම, මම වසීම් අක්‍රම්ටත් හයේ පහරක් එල්ල කරනවා".
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හි දේශීය තරගාවලිය වන Wills Cup තරගාවලියේ අවසන් මහා තරගයේදී පන්දුවට පහර දීම සඳහා සයිඩ් අන්වර් පිටියට පැමිණෙන විට පන්දු ඕවරයට ලබාගත යුතු අවශ්‍ය ලකුණු වේගය 12 ට වඩා ඉහළට යමින් තිබිණි. එහිදී ඔහුගේ උපරිම වේගයෙන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා මග පෑදුවේ වසීම් අක්‍රම්ට හතරේ සහ හයේ පහරවල් එල්ල කරමින්ය.
ඩර්බන්හි වාසනාවන්ත ශතයක සහ ඊඩ්ඩ්න් ගාර්ඩ්න් හි පිතිකරණය
"ෆයිසලාබාද්හිදී කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ ඉයන් බිෂොප්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සයීඩ් අන්වර්ගේ මංගල ටෙස්ට් තරගය අසීරු විය. කෙසේ වෙතත් වසර තුනකට පසු ඔහුට දෙවැනි අවස්ථාවක් ලැබුණු විට ඔහු ආපසු හැරී බැලුවේ නැත."
"ඔහුගේ කෙටි ක්‍රිකට් දිවිය තුළ ඔහු ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 55ක් පමණක් වුවද, ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පිළිබිඹු නොවුණද, ඔහුගේ පිතිකරණ සාමාන්‍යය රටවල් හතරකට (දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව) එරෙහිව 40ට ආසන්න වීමෙන් දක්ෂතාවය පෙන්නුම් කරයි."
සිම්බාබ්වේ කණ්ඩායම හැරුණු විට, සයීඩ් අන්වර් ඔහුගේ සියලුම විදේශ සංචාරවලදී ටෙස්ට් ශතක රැස් කළා පමණක් නොව, ඒවායින් බොහොමයක් පාකිස්තානයේ අමතක නොවන ජයග්‍රහණවල කොටස් විය. දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදී ඔහුගේ ලකුණු 118 ඉනිම පාකිස්තානයේ දකුණු අප්‍රිකාවේ පළමු ටෙස්ට් ජයග්‍රහණයට පදනම වූවා සේම, ඔහුගේ හොඳම පුද්ගලික ටෙස්ට් ලකුණු සහ 1999 දී ඊඩ්න් ගාඩ්න්හිදී ඉන්දියාවට එරෙහිව 'පිති රැගෙන යාමේ' දුර්ලභ වාර්තාව පකිස්ථානයේ ජයග්‍රහණයට හේතු විය.
'මිත්‍රයා! ඇයි ඔයා පැනලා යන්නේ?'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හරූන් රෂීඩ් පවසන්නේ සයීඩ් අන්වර් බොහෝ ප්‍රමාද වී පන්දුවට පහර දුන් බව ය.
"මජීඩ් ඛාන් වගේ සමහර ක්‍රීඩකයන් මෙන් ඉතා ප්‍රමාද වෙලා පන්දුවට පහර දෙන්නේ. (සයීඩ් අන්වර්) පාද හැසිරවීම මත වැඩි විශ්වාසයක් නොතැබූ නමුත් ඔහුගේ දක්‍ෂතාව වූයේ ඔහු ඉදිරි පාදයේ මෙන්ම පසුපස පාදයේ ද හොඳින් ක්‍රීඩා කිරීම. ඔහුට විශේෂ හැකියාවක් තිබුණා, ඔහු පන්දුව වැටෙන තැන අනුව ඉතා ඉක්මනින් (තමන්ව) සකස් කර ගන්නවා."
සක්ලේන් මුෂ්ටාක් පවසන්නේ තමන්ට කෙතරම් දක්ෂතා තිබුණත් සහීඩ් අන්වර් සෑම පන්දුවකටම දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවයි.
"සයීඩ් භායි වැනි ශ්‍රේෂ්ඨ පිතිකරුවන්ට පන්දු යවන්නාගේ අතින් පන්දුව වැටෙන ආකාරයෙන් දැනගන්න පුළුවන් ඒක මොනවගේ පන්දුවක් ද කියලා. ඔවුන්ගේ දක්ෂතාවය වූයේ පන්දුව කියවා ඊට දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම."
"ටොප් ස්පින්, ඕෆ් ස්ප්‍රින් ඇතුළුව මම සියලුම පන්දු යැවීමේ වෙනස්කම් භාවිත කළා පුහුණු සැසිවලදී. නමුත් සයීඩ් භායි ඒ සියල්ල හැසිරවීමට දක්ෂයි. ඔහු සෑම විටම පාහේ පන්දු යවන්නාගේ අත දුටු පමණින් පන්දුවේ දිග නිවැරදිව අනුමාන කරනවා. එය අපට ඉතා අසීරුයි. මට පැනලා යන්න පුළුවන් වුණොත් එයා අහනවා, 'ඇයි මනුස්සයෝ පැනලා යන්නේ' කියලා.''
'විශ්මකර්ම මැණික් කටුව කැඩිලා'
බ්‍රයන් ලාරා සහ සචින් තෙන්ඩුල්කාර් අතර ශතක තරගය ආරම්භ වීමට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙස්මන්ඩ් හේන්ස්ගේ වාර්තාව බිඳ දැමීමට සයීඩ් අන්වර් සමත් විය. එහෙත් ඔහුගේ කෙට්ටු සිරුර කිසිවිටෙක ආබාධවලින් තොර නොවීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Arab News සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ ආබාධ සෑම විටම ඔහුගේ වෘත්තියට බලපා ඇති බවයි.
"මට 1999 දී දණහිසේ ආබාධයක් තිබුණා, නමුත් මම අවුරුද්දක් ක්‍රීඩා කළා."
"අපිට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව තරම් ආදේශකයින් නැහැ. (ආබාධයක් සහිතව) ක්‍රීඩා කිරීම ප්‍රශ්නය කොතරම් දරුණු වුණාද කියනවා නම් මට ඊළඟ අවුරුද්දේ ශල්‍යකර්මයක් කරන්න සිදු වුණා."
ශල්‍යකර්මයෙන් පසු සයීඩ් අන්වර් නැවත පැමිණෙන විට ඔහු ඔහුගේ ප්‍රියතම ස්ථානය වන සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලකුණු 60ක ඉනිමක් ක්‍රීඩා කළේය. අවාසනාවකට මෙන්, මෙම ඉනිම අතරතුර, ඔහුගේ දස්කම් ගැන ලොවම උමතු කළ මැණික් කටුව කැඩී ගියේය.
තුවාල සහ අසනීප හේතුවෙන් සයීඩ් අන්වර්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් බාධාවක් එල්ල වී ඇත්ද යත්, 1991 සහ 1993 අතර කාලයේදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක්දින තරග පහකට පමණි. නමුත් 1993 දී නැවත ප්‍රබල ආගමනයත් සමඟ ඔහු සහීර් අබ්බාස්ට පසුව පිට පිට ශතක තුනක් රැස් කළ දෙවැනි පකිස්ථාන පිතිකරුවා බවට පත්විය.
' සයිඩ් අන්වර් කියන්නේ කවුද?'
බංගලාදේශයට එරෙහි මුල්තාන් ටෙස්ට් තරගයේදී පාකිස්තාන පිතිකරුවන් ඉතිහාසගත වාර්තා තබමින් සිටියදී හදිසියේම සයීඩ් අන්වර්ගේ ක්‍රිකට් දිවිය වෙනස් කළ දුක්මුසු පුවතක් ලැබිණි.
කුඩා වියේදීම තම එකම දියණිය හදිසියේ මියයාම සයිඩ් අන්වර්ගේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වෙනස් කළ කම්පනයක් විය. ඔහු මාස ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වී සිටි අතර අවසානයේ ඔහු ආපසු පැමිණි විට ඔහුගේ 'බලකොටුව' වන සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරක්ෂකයින්ට සයීඩ් අන්වර් හඳුනා ගැනීමට නොහැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම තණතීරුවේ සිය මැණික් කටුවේ ආධාරයෙන් ලකුණු 2000කට වඩා රැස් කළ මැජික්කාරයා තමා බව එම ආරක්ෂකයන්ට ඒත්තු ගැන්වීමට සයීඩ් අන්වර් සමත් විය, නමුත් ඉන් පසුව, ඔහුගේ විවේචකයින් ඔහුගේ සෑම අසාර්ථකත්වයක්ම සඳහා ඔහුගේ නව ආගමික ප්‍රවණතා සමඟ සම්බන්ධ කිරීමට පටන් ගත්හ.
ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පකිස්ථානය වෙනුවෙන් වැඩිපුර ක්‍රීඩා කිරීමට අවශ්‍ය නමුත් එය නොසලකා හැරීම ගැන කණගාටු විය. "මට තව අවුරුදු දෙකක් පහසුවෙන් ක්‍රීඩා කළ හැකිව තිබුණා, නමුත් මාව තවදුරටත් ඔවුන්ට අවශ්‍ය නැති බව මට හැඟුණා."
'ඉම්රාන් ඛාන් වගේ මම ක්‍රිකට් පිටියෙන් සමුගන්න කැමතියි'
Arab News සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සයිඩ් අන්වර් පවසා තිබුණේ විශ්‍රාම ගැනීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීමට තමන් කැමති බවයි. 'ඉස්සර මගේ අභිප්‍රාය වුණේ විශ්‍රාම ගියාට පස්සේ විස්තර විචාරයක් පටන් ගන්නයි. නමුත් දැන් නොවේ. දැන් මම කැමතියි ඉම්රාන් ඛාන් වගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න... සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න.'
2010 කුප්‍රකට ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු පකිස්තානයේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති ඉක්බාල් කාසිම් ඉල්ලා අස් වූ විට, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉජාස් බට් සයීඩ් අන්වර්ට එම තනතුර පිරිනැමීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් සයීඩ් අන්වර් සමාව අයැද සිටියේ මෙම තනතුරට සාධාරණයක් ඉටු කිරීමට තමාට හැකියාවක් නොමැති බව ඔහු සලකනු ලැබූ බැවිණි.
ඔහුගේ අවසන් අමතක නොවන ඉනිම වූයේ 2003 ලෝක කුසලානයේදී ඔහුගේ පැරණි ගැටුම් නැවත ඇති වූ ඉන්දියාවට එරෙහිව අසාර්ථක තරගයකදී ශතකයක් ලබා ගැනීම ය. එහෙත් තවත් බොහෝ වෘත්තීන් අවසන් වීමට නියමිතව තිබූ එම ලෝක කුසලාන තරගයෙන් පසු සහීඩ් අන්වර් ද කිසිදු හේතුවක් නොමැතිව රැල්ලට ගසාගෙන ගියේය.
2003 ලෝක කුසලානයේ මේ අමිහිරි හමුවීමෙන් පසු සෙන්චූරියන් පිටියෙන් කලකිරී ආපසු පැමිණි බොහෝ දෙනාගේ විශිෂ්ඨ ක්‍රීඩා දිවිය හිටි හැටියේ නිමා වූ නමුත් ඔවුන් සියල්ලෝම තවමත් ක්‍රිකට් ලෝලීන්ගේ නෙත් සමඟ යම් ආකාරයකට සම්බන්ධ වී සිටිති.
කෙසේ වෙතත්, සයීඩ් අන්වර් තම ස්ථාවරයේම සිටි අතර, ඉම්රාන් ඛාන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වූ අතර, අද වන විට ඔහුව හඳුනා ගැනීමට ප්‍රේක්ෂකයන්ට සයිම් අයුබ් කෙරෙහි විශ්වාසය තැබීමට සිදුව තිබේ.














